3) ශාපලත් රැයක්

කටුක හුළං වගේම හිම පතනය හමුවේ හතරදෙනාම හෙමින්, සීමාවක් පේන්න නැති මාර්ගය දිගේ ගමන් කළා. ඔවුන් කොහොමහරි මාර්ගයේදී කිසිම අවාසනාවන්ත දෙයකට හෝ අමුතු සිද්ධීන්ට මූණ දුන්නේ නැහැ, ඔවුන් ආරක්ෂිතව තමන්ගේ නවාතැන්පලට නැවත ආවා.

කොහොම වුණත්, ඔවුන් නැවත නිවසට ආවට පස්සේ, කාමරය ඇතුළේ වාතාවරණය ඒ තරම් හොඳ නැති බවක් පේන්න තිබුණා. විසිත්ත කාමරයේ කීප දෙනෙක් වාඩිවෙලා හිටියා; ඔවුන්ගේ මූණු සුදුමැලි වෙලා ගිහින්, ඔවුන් හෙල්ලුනේවත් නැහැ. මාරාන්තික නිහඬබවක් අවකාශය පුරාම පැතිරිලා ගියා,හැමෝම මෙහේට ආව පළවෙනි අවස්ථාවටත් වඩා මේ වෙලාවේ වාතාවරණය වඩා බරපතල බවක් පේන්න තිබුණා.

ලින් ජියුෂ' මේ කාමරය ඇතුලේ හිටිය අනික් අය අතරේ තමන්ගේ ඇස් යවන අතරතුරේ මිනිස්සු කීයක් ඉන්නවද කියලා ගණන් කළා. පිරිසෙන් කිසිම කෙනෙක් අඩුවෙලා නැති බව තහවුරු කරගත්තට පස්සේ ඔහු සැනසුම් සුසුමක් හෙළුවා.

"මොකක්ද වුණේ?" ෂියොං චි ඇහුවා.

වාඩි වෙලා හිටපු මිනිහෙක් තද බල විදියට වෙව්ලමින් පිළිතුරු දුන්නා, "උඩ තට්ටුවේ..., උඩ තට්ටුවේ තිබුණ මල මිනී අතුරුදහන් වෙලා ගිහින්."

"සමහර මළ මිනී අතුරුදහන් වෙලා? එච්චරද?" ෂියොං චි තරහින් පුපුරන්න වුණා, "ඔයාල හැමෝම අළුත් අයද? මළමිනී අතුරුදහන් වෙන එක ගැන ඔච්චර බය වෙන්නේ ඇයි? "

"කාලා." තරුණියක් පසෙකින් බෙරිහන් දුන්නා, ඇගේ කම්මුල් දිගේ කඳුලු නිමාවක් නැතුවම ගලාගෙන ගියා. "හැමතැනම ලේ..."

ෂියො චි, ෂියාඕ ක' මූණට මූණ බලාගත්තා,ඔවුන්ට තේරුණා මේ මිනිස්සුන්ගෙ කටවල් වලින් කිසිම වැදගත් තොරතුරක් ගන්න හම්බෙන්නේ නැති බව. ඊට පස්සේ හතර දෙනාම තුන්වෙනි මහලට ගිහින් තත්වය නිරීක්ෂණය කරන්න තීරණය කළා.

ඔවුන් පඩිපෙළ නගින්න පටන් ගත්තා. දෙවනි මහලට ළඟා වුණ වහාම, යමක් වැරදිලා තියෙන බව ලින් ජියුෂ' හොයා ගත්තා- දෙවනි මහලේ බිත්තිත් ලේ වලින් පිරිලා තිබ්බා.

නිවස ලීයෙන් හදලා තිබුණ නිසා, බිත්ති වල තද රතු දුඹුරු පාටක් තිබුණේ. ලින් ජියුෂ' මේ බිත්ති වල කළු පාට ලප කීපයක් දැක්කා, හරියට මොනවා හරි විසිරිලා ගිහින් වගේ.

"පරිස්සම් වෙන්න, ඒක භයානක වෙන්න පුළුවන්," ඉස්සරහින් ගිය ෂියොං චි අනතුරු ඇඟෙව්වා.

අවසානෙදි ඔවුන් තුන්වෙනි මහලට ළඟා වුණා, 'කාලා' කියන එකෙන් අනික් අය අදහස් කරේ මොකක්ද කියලා ලින් ජියුෂ' ට පැහැදිලි වුණා.

කලින් එතැන තිබුණු මළ සිරුරු දෙක සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා ගිහින්. ඒත් සියල්ලම නෙවෙයි; මළ සිරුරු අතුරුදහන් වුණත්,ඒවා වෙනුවට වෙන දෙයක් එතන තිබුණා. කිසියම් දෙයක් දරුණු විදිහට ඔවුන්ව ඉරලා, පොඩි කෑලි වලට හපලා දාලා වගේ මුළු බිමම ඇටකටු වගේම මස් වලින් වැහිලා ගිහින් තිබුණේ, හඳුනාගන්න බැරි සුන් බුන් ඇරෙන්න වෙන කිසිදෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.

ඒ දර්ශනයෙන් ලින් ජියුෂ' ගේ මූණ සම්පූර්ණයෙන් සුදුමැලි වෙලා ගිහින් බඩ දඟලන්න පටන් ගත්තා.

"ඒවා ඇටකටු වෙනකන්ම ඔක්කොම කාලා දාලා." ෂියාඕ ක' ට මේක අමුතු දෙයක් නෙවෙයි. "මේ මොකක්ද කියලා නම් මට අදහසක් නෑ."

"හහ්." ෂියොං චි සුසුමක් හෙලුවා. "ඉක්මන් කරන්න. තුන්වෙනි තට්ටුවට අගුළු දාන්න.අපි අද ඉඳන් දෙවෙනි තට්ටුවේ ඉන්න පටන් ගමු."

"හරි ." ෂියාඕ ක' මිමිණුවා. "මම අනිත් අයගෙන් විස්තර අහන්නම්."

ඔවුන් නැවත පළවෙනි මහලට ගිහින් තමන් පිටවෙලා ගියාට පස්සේ මොකද වුණේ කියලා හැමෝගෙන්ම ප්‍රශ්න කළා.

පහළ මාලයේ අය නිවස ඇතුළේ සිද්ධ වුණ දෙය ඔවුන්ට පැහැදිලි කළා.

ෂියොං චි ඇතුළු පිරිස පිට වෙලා ගියාට පස්සේ , කණ්ඩායම මුළු ගොඩනැගිල්ලම පරීක්ෂා කරන්න පටන් අරන් තිබුණා. දෙවෙනි මහල සෝදිසි කරන අතරතුරේදි, තුන්වෙනි මහලෙන් අසාමාන්‍ය අමුතු සද්දයක් ඇහුණා; ඒක කවුරු හරි කෙනෙක් යම් දෙයක් හපමින් කෑදර විදියට ගිලලා දානවා වගේ.

එසැනින්ම මිනිස්සු ගාන ගණන් කරලා ඔවුන්ගෙන් කිසිකෙනෙක් තුන්වෙනි මහලේ නැතිබව තහවුරු කරගත්තට පස්සේ, ඔවුන්ට හීන් දාඩිය දැම්මා.

උඩුමහලට ගිහින් බලන්න තරම් කිසිකෙනෙක් නිර්භීත වුනේ නැහැ.; ඔවුන් සියළුදෙනාම දැඩිව හිටගෙන දෙවෙනි මහලේ ඉඳන් තත්වය බලාගෙන හිටියා. හපන හඬ නැති වුණාට පස්සේ තමයි ඔවුන්ට තුන්වෙනි මහලට ගිහින් පරීක්ෂා කරන්න තරම් ධෛර්‍යයක් ආවේ - ඒත් ඔවුන් දැක්කේ ඇඹරිලා ගිය මස් කෑලි වගේම කුඩු වුණ ඇටකටු විතරයි.

"මේක භයානකයි." කණ්ඩායමේ හිටපු වයසක කාන්තාවක් ඒ වෙන කොටත් තරමක් අප්‍රාණික විදිහට බලාගෙන හිටියා. ඇය ඉකි බිඳිමින් ඇඬුවා, "මම මේ දොරවල් වලට ඇතුළ් වෙන තුන්වෙනි වතාව. මේවගේ ලෝකයක් මට හම්බවුණේ කොහොමද? අපිට පණපිටින් එලියටවත් යන්න පුලුවන් වෙයිද? මොන මගුලක්ද ඒ දේ..."

ඇගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න එක්කෙනෙක්ටවත් හැකියාවක් තිබුණේ නැහැ; කාමරය නිහඬ වුණා.

ෂියොං චි යන්තමින් සුසුම් හෙළමින් තමන්ට බඩගිනි බව කිව්වා. ඔහුට අවශ්‍ය වුණේ කෑමට යමක් හොයාගන්න, ඔහු තමන් සමඟ මුළුතැන්ගෙට වෙන කවුරුහරි එනවද කියලා ඇහුවා.

ලින් ජියුෂ', "මම ඔයා එක්ක යන්න එන්නම්" කියලා කිව්වා.

ලින් ජියුෂ' ළඟ වාඩි වෙලා හිටපු රුන් බයිජිඒ සියුම් විදියට මැසිවිලි නැගුවා, "ජියුෂ', මටත් බඩගිනියි. මට නූඩ්ල්ස් කන්න ඕන."

ලින් ජියුෂ': "මම බලන්නම් ඒවා තියෙනවද කියලා. තියෙනවා නම් ඔයාට ඒවා පිඟානක් හදන්නම්"

"හොඳයි." රුඅන් බයිජිඒ ගේ ඇස් රවුම්‍ වුණා, ඇය සුකුමාල විදියට ලින් ජියුෂ' දිහා බැලුවා. "ඔයාගේ පරිස්සම ගැන අවධානය දෙන්න, හරිද."

ලින් ජියුෂ' ඔලුව වැනුවා.

මුළුතැන්ගෙය තිබුණේ විසිත්ත කාමරයට වම් පැත්තෙන්. එහි දහන වායූන් තිබුණේ නැහැ,ස්වභාවික දර විතරයි තිබුණේ.

ෂියොං චි වගේම ලින් ජියුෂ' දෙන්නාම යන මග දිගට වචනයක්වත් කතා කලේ නැහැ. මුළුතැන් ගෙයට ගියාට පස්සේ, ෂියොං චි ගිනි අවුලවන්න හිස පහත් කරමින් මෙහෙම කිව්වා, "මම එයාලට හැමදේම කියන්න ලෑස්ති නෑ"

"ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?" ලින් ජියුෂ' පුදුමයෙන් වගේ ඇස් පිය ගැහුවා.

ෂියොං චි නිහඬව දොරදිහා බලලා කවුරුත් එළියේ නැති බව දැනගත්තට පස්සේ රහසින් මෙහෙම කිව්වා, "අපේ කණ්ඩායමේ ඉන්න හැමෝම මිනිස්සු කියලා මම හිතන්නේ නෑ."

මේක ඇහුවම ලින් ජියුෂ' ගේ ඇඟේ හිරිගඬු පිපුණා.

"මේවගේ දෙයක් මීට කලින් වුණා." ෂියොං චි කිව්වා. "කණ්ඩායමේ කියලා අපි හිතපු සමහර අය ඇත්තටම එහෙම අය නෙවෙයි; ඒ වෙනුවට එයාලා ඒවගේ දේවල් වුණා."

ලින් ජියුෂ' පුදුම වුණා, "ඇයි ඔයා මාව විශ්වාස කරන්නේ? මාත් ඒ දේවල් වලින් කෙනෙක් වුණොත්?"

ෂියොං චි ඔහු දෙස බැලුවා. "ඔයා එහෙම නෑ වගේ."

ලින් ජියුෂ': "..."

"ඒ විතරක් නෙවෙයි, ඒ අය සාමාන්‍යයෙන් මේවගේ දේවල් කීපවතාවක් අත්විඳලා තියනවා වගේ හැසිරෙන්නේ නෑ. එයාල ගොඩක් දුරට ලේසියෙන්ම කලබල වෙලා බය වෙනවා, ඔයලාටත් වඩා " ෂියොං චි තවත් කියාගෙන ගියා.

ඔහුගේ ප්‍රශංසාව ගැන ලින් ජියුෂ' ට පොඩි ලැජ්ජාවක් ඇති වුණේ. "ඇත්තම කිව්වොත් මමත් ටිකක් බයයි."

මේ වචන වලට ෂියොං චි ගෙන් පිටවුණේ ස්වයං-නිග්‍රහාත්මක හිනාවක්, "ඔයා බය වෙන්නේ මොකටද?මම මේ දොරවල් ඇතුළට පළවෙනි සැරේට ඇතුල් වුණාම මට එක රැයකදී කලිසමේ තුන් වතාවක් චූ ගියා"

ලින් ජියුෂ' හිතුවේ ඊයේ රෑ හමුවුණ ඒ බිහිසුණු කාන්තාව ගැන, ඔහු වචනයක්වත් කතා නොකර තමන්ගේ ලින්ගේන්ද්‍රිය දිහා බැලුවේ ඒක අල්ලාගෙන ඉන්න තරම් තමන් වාසනාවන්ත වුණා කියලා හිතන ගමන්.

ෂියොං චි: "මම ඔයාට යෝජනා කරන්නේ හැමදේම නිකරුණේ කියවන්නේ නැතුව, කාටවත් නොකියන හෝඩුවාවල් ටිකකුත් තියාගන්න කියලා."

ලින් ජියුෂ' ඔලුව වැනුවා. "මට ඒක තේරුණා. මතක් කළාට ස්තූතියි. මට අහන්න පුළුවන්ද ඔයා කී පාරක් මෙහෙට ආවාද කියලා?"

ෂියොං චි : "හය වතාවක්."

"ඔහ්..." ලින් ජියුෂ', ෂියොං චි විසින් තමන්ට ලබා දුන්න දොරවල් ගැන, කණ්ඩායම ගැන වගේ අනික් සැඟවුණ හෝඩුවාවල් ගැන තොරතුරු ධාරණය කරගන්න උත්සාහ කරමින් හිටියේ.

"ඔච්චර හිතලා වැඩක් නෑ. පණ පිටින් එළියට යන්න ඔයාගෙ උපරිමය කරන්න." ෂියොං චි සමච්චල් කරමින් තමන්ටම හිනා වුණා. "කොහොම වුණත්, මට පුද්ගලිකව හිතෙන හැටියට මේ ලෝකය මරණයට නියම වෙලා තියන්නේ."

ලිපේ ගින්දර පත්තු වෙලා යකඩ මුට්ටියේ තිබුණ වතුර උනු වෙලා තිබුණේ.

ලින් ජියූෂ' තමන්ට එහා පැත්තෙන් කෑම සහ වෙන අමුද්‍රව්‍ය සහිත කූඩයක් හොයාගත්තා; ඒක ඇතුළේ නූඩ්ල්ස්, බිත්තර වගේම කොළ පාට එළවළු කීපයක් තිබුණා. ඔහු නූඩ්ල්ස් තම්බලා බිත්තරයක් බැද්දා; ආහාර වල සුවඳ මුළුතැන් ගෙය පුරාම පැතිරිලා ගියේ වාතයේ තිබුණ බය වගේම නිෂේධාත්මක බව දුරු කරන ගමන්. මේක දැකපු ෂියොං චි, "ඔයා හොඳට උයනවා" කියලා කිව්වා.

"වාසනාවකට." ලින් ජියුෂ' හිනාවුණා.

ඔහු නූඩ්ල්ස් පිඟන් හතරකට සෑහෙන්න ඉව්වා, එකක් ෂියොං චි ට, එකක් ෂියාඕ ක' ට, එකක් රුඅන් බයිජිඒ ට වගේම එකක් තමන්ට. අනික් අය සම්බන්ධයෙන් ගත්තාම, සරලවම ලින් ජියුෂ' ට ඒතරම් ප්‍රමාණයක් කළමණාකරණය කරගන්න හැකියාවක් තිබුණේ නැහැ.

රුඅන් බයිජිඒ අධික බඩගින්නක හිටියේ. ඇය පිඟාන අතේ තියාගෙන නූඩ්ල්ස් වල සුවඳ එකසැරෙන්ම වින්දා. ගොඩක් අය ආහාර ගද්දි පොඩි පොඩි සද්ද නැගුවත්; රුඅන් බයිජිඒ නිහඬවම මුළු නූඩ්ල්ස් පිඟානම කාලා ඉවර කලා, අඩුම තරමේ එක නූඩ්ල්ස් සුප් බිංදුවක්වත් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ආහාර අරගෙන ඉවරවුණාට පස්සේ කිසිම සද්දයක් නොකරපු ඇය,තමන්ගේ ඔලුව වටේට කරකවමින් ලින් ජියුෂ' දිහා බලාගෙන හිටියා.

ඇගේ දැඩි බැල්මෙන් හොල්මන් වුණ ලින් ජියුෂ' ට තරමක අසරණ බවක් වගේම අකමැත්තක් දැනුනේ. "ඔයා ඇතිවෙන්න කෑවේ නැද්ද?"

"මම කෑවා." මෙහෙම කියලා ඉවරවෙද්දිම ඇගේ බඩ මහ හඬින් ගෙරෙව්වා.

ලින් ජියුෂ': "...කන්න. මම ගිහින් වෙන දෙයක් අරන් එන්නම්"

රුඅන් බයිජිඒ: "ඒකට කමක් නෑ, ඒකට කමක් නෑ."

ලින් ජියුෂ': "ඇත්තටමද?" ඔහු දිගටම ආහාර ගන්න තීරණය කළත් රුඅන් බයිජිඒගෙ විශාල ඇස් තවත් පුළුල් වෙන හැටි දැක්කා. ලින් ජියුෂ' ට හිනා නොවී ඉන්න බැරිතරමටම ඇගේ පෙනුම හරිම හුරතල් වුණා. "හරි ඔයා මේක කන්න. මට ප්‍රශ්නයක් නෑ."

"හොඳයි." මෙවර රුඅන් බයිජිඒ එතරම් ආචාරශීලී වුණේ නැහැ.

උණුසුම් නූඩ්ල්ස් පිඟන් දෙකක් ඉවර කළාට පස්සේ, එළියේ ඇවිදීම නිසා තිබුණ සීතල ගතිය අවසානෙදි තුරන් වෙලා ගියා. තමන් ආහාර ගන්න අතරතුරේදි, වයසක වඩුවාගෙන් ලබාගත්ත තොරතුරු ගැන ෂියොං චි හැමදෙනාටම විස්තර කලා. ඇත්තටම, ඔහු ඔවුන්ට හැමදේම දැනගන්න ඉඩ තිබ්බේ නෑ, ළිඳ පිරවීම ගැන අවසාන ඉඟිය ඔහු රහසක්ව තියාගත්තා.

"යතුර මිනී පෙට්ටිය ඇතුලේද තියන්නේ?" කණ්ඩායමේ තවමත් සාපේක්ෂව සන්සුන් මිනිස්සු කීපදෙනෙක් හිටියා, ඒ අතරේ ජං ස'ෂුවාං කියලා කෙනෙකුත් හිටියා."වඩාත් තීරණාත්මක ඉඟිය මිනී පෙට්ටිය එක්ක තියන නිසා, මේක එහෙම වෙන්න ලොකු ඉඩක් තියෙනවා කියලා මට හිතෙනවා..."

"හහ්, මමත් එහෙම බලාපොරොත්තු වෙනවා." ෂියොං චි හුස්මක් පිටකළා. "මම හෙට උදේ කන්දට ගිහින් ගස් ටිකක් කපන්න හිතාගෙන ඉන්නේ. පිරිමි හැමෝම මාත් එක්ක එන්න, ගෑණු අයටත් තමන් කැමති නම් එන්න පුළුවන්. ඔයාලට සීතල දරාගන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න පුළුවන්, ඒත් ගෙදරදී මොනවා හරි වුණොත් ඔයාලට උදව් කරන්න අපිට පුළුවන්කමක් නෑ."

සාකච්ඡාව අවසන් වුණාට පස්සේ හැමෝම ෂියොං චි ගේ යෝජනාවට එකඟ වුණා. මේ කුණාටු තියන කාලගුණය එක්ක කන්ද තරණය කරන එක භයානකයි කියලා හිතපු අය හිටියත්, මේ ලෝකෙ භයානකම දේ ඇත්තටම කාලගුණය නෙවෙයි, අනපේක්ෂිත වෙලාවල් වලදී මතුවුණ ඒ කැත දේවල්. මෙතනින් පිටවෙන්න, පුලුවන් තරම් ඉක්මනින් මිනී පෙට්ටිය හදන එක තමයි පැහැදිලිවම හොඳම ක්‍රියාමාර්ගය වුණේ.

කාලය ගෙවිලා ගිහින් ආයෙත් අහස අඳුරු වුණා.

රැය උදාවීමෙන් පස්සේ, හැමෝම කෙලින්ම දත් මැදලා ඇග සෝදගත්තා; ඔවුන්ට වෙන මොකුත්ම කරන්න කිසිම අදහසක් තිබ්බේ නෑ, ඒ නිසා ඔවුන් කලින්ම තම තමන්ගේ කාමර වලට ගිහින් විවේක ගත්තා. හැමෝමටම එකට එකතු වෙන්න බැරි ඇයි කියලා ලින් ජියුෂ' ප්‍රශ්න කළ තැන ෂියොං චි මෙහෙම පිළිතුරු දුන්නා, "මොකද අපි හැමෝම එකට හිටියොත්, එක වෙලාවක නිදාගනීවි."

"ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද?" ලින් ජියුෂ' ටිකක් ව්‍යාකූල වුණා. "ඔයා කියන්නෙ හැමෝටම නින්ද යයි කියලද?"

"ඔව්." ෂියොං චි පැහැදිලි කළා. "ඒක මේ ලෝකයේ එක යාන්ත්‍රණයක් විතරක් වෙන්න පුලූවන්, ඒත් එක කාමරයක ඉන්න මිනිස්සු ගාන නිශ්චිත ගානකට වඩා වැඩි වෙන තාක් කල්, හැම කෙනෙක්ම එකම වෙලාවක නින්දට වැටෙනවා. ඒ වෙලාව ආවම මොකක් සිද්ධ වුණත් ඒ ගැන කරන්න පුළුවන් කිසි දෙයක් නෑ. "

"ඒ කියන්නේ අපිට සටන් නොකරම මැරෙනවා[1] ඇරෙන්න වෙන විකල්පයක් ඉතුරු වෙලා නැද්ද?" ලින් ජියුෂ' බැම අකුළුවන ගමන් තමන්ගේ අප්‍රසන්නතාව පෙන්නුවා.

"ඇත්තටම කිව්වොත්, ඒ දේවල් වලටත් එයාලට කැමති විදිහට මරලා දාන්න බෑ." ෂියොං චි කිව්වා. "එයාලට මිනිස්සු මරන්න විශේෂ කොන්දේසි ඕනි වෙනවා. දොරෙන් ඔබ්බට තියන ලෝකය වැඩිපුර ගැටලුකාරී වෙන තරමට, කොන්දේසි පුළුල් වෙලා සමහර ඒවා තේරුම් ගන්නත් අමාරු වෙනවා."

ලින් ජියුෂ': "උදාහරණයක් කිව්වොත්?"

ෂියොං චි: "උදාහරණයක් විදිහට, කකුල් වල සපත්තු දාගෙන ඉන්න මිනිස්සු විතරක් මරන්න එයාලට අවසර තියනවා වගේ එකක්."

ලින් ජියුෂ': "..." ඔහු නිහඬවම තමන්ගේ සපත්තු දිහා බැලුවා.

ඔහුගේ ක්‍රියාව දැකපු ෂියොං චි මහ හඬින් හිනා වුණා. "මම ඔයාට කියන්නේ උදාහරණයක් විතරයි. මේ ලෝකේ මිනිස්සු මරන්න ඕනි වෙන කොන්දේසිය සපත්තු නොදා ඉන්න එක නම්, ඔයාගෙ සපත්තු ගැලෙව්වොත් ඔයා මැරෙයි. ඒ ඇරෙන්න, එක කොන්දේසියක් විතරක්ම නෙවෙයි තියන්නේ; කොන්දේසි ගණනාවක් අධිස්ථාපනය කරන්න පුළුවන්, නිමාවක් නැතුවම එකට ගොඩ ගහන්න පුළුවන්. ඒ නිසා, සාරාංශයක් විදිහට, රෑට ගොඩක්ම පරිස්සම් දේ උදේ වෙනකම් නිදාගන්න එක තමයි. " මෙහෙම කියලා ඔහු නැවැත්තුවා. "ඇත්තටම, ඕනි වෙන දේ ඔයාට නිදාගන්න පුළුවන්කමක් තියෙන එක."

ෂියොං චි ගේ වචන නිසා ලින් ජියුෂ' ට කලින් දවසේ රෑ සිද්ධ වුණ දේවල් ආයෙත් මතක් වුණා. කොමඩු ඇට මිටක් අතේ තියාගෙන ඒවා කඩන , තමන්ගේ පසෙකින් හිටපු නොසැලකිලිමත් රුඅන් බයිජිඒ දිහා ලින් ජියුෂ' බැලුවා. ඊයේ රෑ තමනුත් මරණයත් අතර කෙටි හමුවක් සිද්ධවුණ බව ඔහු නිතරම සැක කළා.

ප්‍රමාණවත් තරම් පරිස්සම් නොවුනා නම් වැඩි කල් නොගිහින් තමනුත් තුන්වෙනි මහළේ තිබුණ ගල් වුණ මළ සිරුරු දෙකෙන් එකක් වෙන බව පේන්න තිබුණා.

"ඇඳට යන්න," ෂියොං චි කිව්වා. "සුභ රාත්‍රියක්."

ලින් ජියුෂ' ඔලුව වැනුවා. "සුභ රාත්‍රියක්." ඔහු රුඅන් බයිජිඒට කතා කරලා දෙන්නාම නින්දට යා යුතු බව කිව්වා.

ඈනුම් ඇරපු රුඅන් බයිජිඒ නොසැලකිල්ලෙන් ඉතුරු කොමඩු ඇට මේසය උඩින් තිබ්බා. තමන්ගේ ඇස් පිහදාපු ඇය මෙහෙම මිමිණුවා, "මට හොඳටම මහන්සියි. අපි අද වේලාසනින් නිදාගමු."

ලින් ජියුෂ': "හොඳයි. අපි වේලාසන නිදා ගමු."

ඊයේ සිද්ධ වුණ සිදුවීම නිසා තුන්වෙනි මහල සම්පූර්ණයෙන්ම වැඩකට නොගෙන තිබුණේ. ඒ නිසා තුන්වෙනි මහලේ හිටපු හැමෝම දෙවෙනි මහලේ පදිංචි වුණා.

කලින් වගේම ලින් ජියුෂ' යි රුඅන් බයිජිඒ යි නිදාගත්තේ එකම ඇඳේ. මේ වතාවෙදි නම් ඔහු සූදානමින් හිටියේ, මුලින්ම ජනෙල් අගුළු දාන්න ඔහු තීරණය කළා. ජනෙල් තිරරෙදි අදින්න අදහස් කළත්, ඒවා කාලෙකින් පාවිච්චි කරපු බවක් පේන්න තිබුණේ නැහැ; ඔහු කොයිතරම් වෑයමක් දාලා ඇද්දත්,ඒවා හෙලවුණේවත් නෑ.

පිජාමාව ඇඳගෙන ඇඳ උඩට වෙලා හිටපු රුඅන් බයිජිඒ දඟලමින් කන් කෙඳිරි ගාන්න වුණා, "ජියුෂ', හරිම සීතලයි, අහ්"

ලින් ජියුෂ' තවමත් හිටියේ තිර රෙදි සියුම් විදියට පරීක්ෂා කරමින්. ඇයගේ මැසිවිල්ල ඇහුණත් ඔහු තමන්ගේ ඔලුව හැරෙව්වේ නෑ. "ඔයාට සීතලයි නම් වැඩිපුර ඇඳුම් ඇඳගන්න."

රුඅන් බයිජිඒ: "...ඔයාට පෙම්වතියක් නෑ නේද?"

ලින් ජියුෂ' සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වුණා. "පෙම්වතියක්? මට පෙම්වතියක් මොකටද?"

රුඅන් බයිජිඒ නිහඬ වුණා. ලින් ජියුෂ' තිර රෙදි ඇදලා ආපහු හැරෙද්දි ,ඇය මැරුණ මාළුවෙක් වගේ ඇඳ උඩ වැතිරිලා හිටියේ.

ලින් ජියුෂ' ට ඈව තේරුම්ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. "මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ?"

රුඅන් බයිජිඒ ගේ කඩහඬ කොච්චර මෘදුද කිව්වොත් ඇය කෙඳිරිගාමින් හිටියේ, "ඔයාට... ඔයාට මට කියන්න කිසිම දෙයක් නැද්ද?"

ලින් ජියුෂ' කල්පනාවේ ගිලුණා. රුඅන් බයිජිඒ ගේ ලස්සන මූණ දිහා බලාගෙන හිටිය ඔහුට අවසානෙදි යමක් මතක් වුණා. ඔහු මෙහෙම කිව්වා, "ඇත්තටම මට කියන්න දෙයක් තියනවා."

සතුටු වුණ රුඅන් බයිජිඒ ප්‍රසන්න හිනාවක් පෙන්නුවා. "ඔයාට මොකක්ද කියන්න ඕනෙ?"

ලින් ජියුෂ': "ඒක.., එක දෙයක් තියෙනවා... අද අපිට තවත් හොල්මනක් මුණගැහුනොත්, ඔයාට පුළුවන්ද හෙමින් දුවන්න?"

රුඅන් බයිජිඒ ගෙ මූණ උදාසීන වුණා. "මඟුල."

ලින් ජියුෂ' ට කේන්ති ගියා. "එහෙනම් මොන මගුලකටද මට කියන්න දෙයක් තියෙයිද කියලා අහන්නේ! නිදාගන්න!"

ඊට පස්සේ, එක එක්කෙනා තමන් ඉන්න පැත්තට ආපහු ගියා. ඔවුන් තමන්ගේම ඇතිරිලි හොයාගෙන, එකිනෙකාට පස්ස හරවාගෙන නිදාගන්න ලෑස්ති වුණා.

ෂියොං චි ට අනුව රැය ගතකරන්න තියන හොඳම විදිය නිහඬව සාමකාමීව නිදාගන්න එක. කොහොම වුණත් ලින් ජියුෂ' ගේ මනස සිතුවිලි ගණනාවකින් පිරිලා තිබුණේ, ඒ නිසා ඔහුට නිදාගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඔහුට පිටිපස්සෙන්, රුඅන් බයිජිඒ ඌරෙක් වගේ ගොරවන්න වුණා; ඇය ඇස් පියාගත්ත සැනින්ම නින්දට වැටුණා. ලින් ජියුෂ' කොයිතරම් කේන්තියෙන් උමතු වුණාද කිව්වොත් දත් මිටි කෑම නිසා ඔහුගේ දත් පවා රිදෙන්න ගත්තා.

රෑ වෙන්න වෙන්න උෂ්ණත්වය තවත් අඩු වුණා. වාසනාවකට වගේ, බ්ලැන්කට් එක ඝනයි වගේම උණුසුම්, ඒ වගේම ජීවමාන මනුස්සයෙක් තමන්ගේ පිටිපස්සේ නිදාගෙන හිටියේ, ඒ නිසා ඒක ඉවසගන්න බැරි වුණේ නෑ.

ලින් ජියුෂ' ඇස් වහගෙන තමන්ට දවල් කාලෙදි ලැබුණ ඉඟි පිළිවෙලකට ගලපමින් හිටියේ. ඔහුගේ සිහියත් ක්‍රමක්‍රමයෙන් බොඳ වෙන්න පටන් ගත්තා,ඔහු නින්දට යන්න ඔන්න මෙන්න හිටියේ. ඒත් ඔහු තද නින්දකට යන්න සූදානම් වෙද්දිම, ඔහුට අමුතු නොපැහැදිලි සද්දයක් ඇහුණා. ඊයේ තට්ටුකිරීම් වලට පටහැනිව, මේ සද්දය ඔවුන්ට උඩින් තිබුණ සිවිලිමෙන් ආවේ. තුන්වෙනි මහලේ වහලය හරහා උකු වගේමබර දෙයක් කම්මැලිකමකින් ඇදගෙන යනවා වගේ ඇහුණේ. ලින් ජියුෂ' ගේ ඇසීමේ හැකියාව තියුණුයි, ඔහුගේ නිදිමත ගතිය ඒ නිසා ක්ෂණිකව පහවෙලා ගියා. ඔහුගේ හුස්ම හිරවුණා, ඔහු පරිස්සමින් ඇස් ඇරලා හෙමින් සිවිලිම දිහා බැලුවා.

මොකුත් නෑ, පරණ ලී විතරයි.

කොහොම වුණත්, විනිවිද යන සීතලක් ලින් ජියුෂ' ගේ ඇඟට පහර දුන්නා, තමන්ගේ ඔලුවට උඩින් චලනයන් නතර වුන බව ලින් ජියුෂ' ට පැහැදිලිවම ඇහුණා.

"තම්ප්, තම්ප්." මඩ සමඟ තට්ටු කරන හඬින් ඇතිවුණ කම්පන ඔහුගේ කන් බෙරය උත්තේජනය කළා, හඬ ක්‍රම ක්‍රමයෙන් වැඩි වුණේ ලින් ජියුෂ' ගේ ඇඟේ හැම රෝම කූපයක්ම දිගහරිමින්. ඔහු දත්මිටි කාගෙන ඉඳගන්න සැරසුණත්, ඒ එක්කම පසෙකින් ආව අතක් ඔහුගේ ඉණ අල්ල ගත්තා.

"ඔයා මොකද කරන්නේ?" ඒ රුඅන් බයිජිඒ ගේ උදාසීන කටහඬ.

"ඔයාට ඒ අමුතු සද්ද ඇහුනද?" ලින් ජියුෂ' තමන්ගේ හඬ අඩු කළා. "වහලෙන්?"

"සද්ද? මොන සද්දද." රුඅන් බයිජිඒ මිමිණුවා, "මට කිසිම දෙයක් ඇහුණේ නැහැ. හෙලවෙන එක නවත්තන්න, මට සීතලයි." ඇය මෘදු විදිහට ඔහුගේ කනට හුස්ම හෙලුවා, ඇගේ හුස්ම වල අයිස් වගේම හිම වල සුවඳ ගැබ් වෙලා තිබුණා.

"ඔයා..." ලින් ජියුෂ' ට තවත් යමක් කියන්න ඕනි වුණත්, ඔහුට දැණුනේ රුඅන් බයිජිඒ තමන්ව ඈ දෙසට ඇදගෙන තදින් බදාගෙන ඉන්න බවක්.

"නිදාගන්න." රුඅන් බයිජිඒ නියෝග කළා.

ලින් ජියුෂ' ට ඇස් පියාගන්නවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුණේ නැහැ.

රුඅන් බයිජිඒ මෘදු විදියට තමන්ගේ ඇඟිලි ලින් ජියුෂ' ගේ ඉණ වටේ යවලා ඔහුව සනසවමින් ආදරයෙන් වැළඳගත්තා. ඇයගේ ක්‍රියාවන් ගොඩක් වෙලාවට අපැහැදිලි වගේම සැක සහිතයි, ඒත් මේ මොහොතේ ඇය කළේ ඔහුව සැහැල්ලු කිරීම වගේම සැනසවීම විතරයි.

කලින් කිව්ව බෙර වාදනය දිගටම තිබුනත්, ලින් ජියුෂ' කලින් වගේ බය වුණේ නැහැ. ආයෙත් වතාවක් ඔහුට නිදිමත ආවා, අවසානෙදි ඔහු ඒකට යටත් වූණා.

පහුවදා උදේ.

ලින් ජියුෂ' ඇහැරෙන කොට රුඅන් බයිජිඒ ඔහුව වැළඳගෙන හිටියේ.

රුඅන් බයිජිඒ තමන්ගේ අත් තවත් දික් කරමින් ඔහුගේ මුළු ඇඟම තමන්ට ළං කරගෙන ඔහුව වැළඳගත්තා; ඇගේ නිකට තිබුණේ ඔහුගේ ඔලුවට උඩින්. ඇහැරුනායින් පස්සේ ඇය යන්තමින් කේන්ති අරගෙන කම්මැලි විදියට මැසිවිලි නැගුවා, "ප්‍රශ්න ඇති කරන එක නවත්තන්න. තව ටිකක් නිදාගන්න.."

ලින් ජියුෂ': "..." මොන මගුලක්ද.

ඔහු මොහොතකට ඇඳ උඩ වැතිරිලා හිටියා. රුඅන් බයිජිඒට නැගිටින්න චේතනාවක් නැති බව දැකපු ලින් ජියුෂ'ට ඒක මතක් කරන්න සිද්ද වුණා, "මට නැගිටින්න ඕනෙ."

රුඅන් බයිජිඒ: "ම්හ්ම්..."

ලින් ජියුෂ': "රුඅන් බයිජිඒ?"

රුඅන් බයිජිඒ: "ඊයේ රෑ මෙයාට[2] ඔයා ස්වීට්හාර්ට් කියලා කිව්වා, ඒත් අද ඔයා එයාට කියන්නේ රුඅන් බයිජිඒ කියලා."

ලින් ජියුෂ': "..."

ඒත්, මේ හැමදේම කියලා රුඅන් බයිජිඒ තමන්ගේ ග්‍රහණය ලිහිල් කළා, පස්සේ තමන්ගේ ඔලුව ඇඳ විට්ටමට තියාගෙන ලින් ජියුෂ' ඇඳුම් අඳිනකම් බලාගෙන හිටියා. තමන්ගේ ඇඳුම් අඳිනකොට ලින් ජියුෂ' ට දැනුණේ වාතාවරණය තරමක් අමුතු බව. ටික වෙලාවක් එතන රැඳිලා හිටිය ඔහු අවසානෙදි වටේට කැරකෙමින් රුඅන් බයිජිඒ දිහා බැලුවා. "ඔයා ඔය ඇස් වලින් මං දිහා බලාගෙන ඉන්න එක නවත්තනවද?"

රුඅන් බයිජිඒ: "මොන ඇස් වලින්ද? සල්ලි මේසෙ උඩ. ඒක අරගෙන මට සිගරට් එකක් දෙන්න, මට එකක් ඕන"

ලින් ජියුෂ': "..." ඇය අමුතු දෙයක් දුම් පානය කළාද නැත්නම් වෙන මොකක් හරිද?

රුඅන් බයිජිඒ : "මොකද? තවමත් පිටවෙලා යන්න බෑ වගේ නේද? අපි ඊයේ හරියටම පන්සීයට එකඟ වුණා. තව ඕන කියලා නම් හිතන්නවත් එපා"

ලින් ජියුෂ' ට කියාගන්න දෙයක් නැති වුණා. ඇඳුම් ඇඳගත්ත ඔහු පඩිපෙළ බැහැගෙන ගියා.

අනික් අය ඒ වෙනවිටත් විසිත්තකාමරයේ වාඩි වෙලා ගම්මු ලබා දුන්න උදේ ආහාරය ගනිමින් හිටියේ. සුපුරුදු විදියට ලින් ජියුෂ' මිනිස්සු ගාන ගණන් කළා. රුඅන් බයිජිඒ හැර කාමරයේ තව තුන්දෙනෙක් නැති බව ඔහු හොයාගත්තා.

ඔහුව දැක්ක ෂියොං චි ඔහුට වාඩි වෙන ලෙස සංඥා කළා.

"ඊයේ මුකුත් වෙලා නැද්ද?" ලින් ජියුෂ' ඇහුවා.

"නෑ." ෂියොං චි පිළිතුරු දුන්නා. "කවුරුත් මැරිලා නෑ."

හොඳයි, කවුරුත් මැරුණේ නැති එක හොඳයි. ලින් ජියුෂ' සැනසුම් සුසුම් හෙළමින් සැහැල්ලුවෙන් හිටියේ.

ඇත්තටම, ඊයේ රෑ කොයිතරම් සන්සුන්ද කිව්වොත්, අනික් අයටත් කිසිම අමතර සද්ද ඇහිලා නැහැ. ලින් ජියුෂ' තාවකාලිකව ප්‍රශ්න කලේ ඔවුන්ට උඩු මහලෙන් මොනවා හරි කරන සද්දයක් ඇහුණද කියලා දැනගන්න, ඒත් ඔවුන්ගේ පිළිතුරු ස්ථාවරයි - රැය අතිශයින්ම නිහඬ වුණා; එළියේ හුළඟේ සද්දය ඇරෙන්න වෙන කිසිම සද්දයක් තිබුණේ නැහැ.

"අපි කාලා ඉවර වුණාට පස්සේ ගස් ටිකක් කපලා ලී ටික වඩුවාට යවමු. අපිට ඉක්මන් කරන්න වෙනවා. " ෂියොං චි අවධාරණය කළා. "කාලගුණය දිහා බලන්න, විනාඩියෙන් සීතල වෙන්න පුළුවන්; ඊයේ රෑ මොකුත්ම වුණේ නැත්තම්..." ඔහුගේ වචනවල සැකය වගේම අවිශ්වාසය ගැබ් වෙලා තිබුණ බවක් පෙණුනා.

"ඔව්, හොඳයි." ලින් ජියුෂ' අපරීක්ෂාවෙන් කතා කළා.

එක්කෙනා පිටිපස්සේ එක්කෙනා ඉතුරු තුන්දෙනත් පඩිපෙළ බැහැගෙන ආවා; අවසානෙටම ආවෙ රුඅන් බයිජිඒ. ඇය තවමත් තමන්ගේ ලස්සන ඇඳුම ඇඳගෙන හිටියේ, ඒත් ඊට උඩින් ඝනකම කබා දෙකක් ඇඳලා යටින් ලොකු ඝන ශීත කලිසමක් ඇඳගෙන හිටියා. ඇගේ සාය තරමක් දිග වුණ නිසා, ඇවිද්දේ ගොඩක් හෙමින්, ඒත් ඇගේ ඉරියව්වේ අසමසම ශෝභාවක් තිබුණා.

ඇය එන බව දැකපු ලින් ජියුෂ' අපසුවෙන් තමන්ගෙ බැල්ම මඟ හැරියා.

"ජියුෂ'." රුඅන් බයිජිඒ ඔහුට කතා කළා.

අසරණ වුණ ලින් ජියුෂ' ට පුළුවන් වුණේ තමන්ටම මුමුණගන්න විතරයි.

"ඇයි ඔයා මාව ගණන් ගන්නෙ නැත්තේ." රුඅන් බයිජිඒ කෑ ගැහුවා. "මම කැමතී ඔයා තම්බපු නූඩ්ල්ස් කන්න."

ලින් ජියුෂ': "මම ඒක ඔයාට දවල්ට හදලා දෙන්නම්. දැන් පරක්කු වැඩියි."

රුඅන් බයිජිඒ: "ඔයා ඊයේ රෑ ඇඳේදි කිව්වෙ ඔහොම නෙවෙයිනේ."

මේක අහපු ෂියාඕ ක' ට තමන් බිබී හිටපු කැඳ එකත් පිට උගුරේ ගියා, ඇය හුස්ම හිරවෙලා මැරෙන්න ගියේ. ෂියොං චි ගේ පෙනුමත් සංකීර්ණ වගේම අදහාගන්න බැරි එකක් වුණා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහුගේ ඇස් වේගෙන් ලින් ජියුෂ' වගේම රුඅන් බයිජිඒ අතරේ දෝලනය වුණා.

ලින් ජියුෂ' ට අඬන්නද හිනාවෙන්නද කියලා තේරුණේ නැහැ. "හරි දැන් ඕක නවත්තන්න. ඊයේ රෑ ගැන කිව්වොත් ඇත්තටම ඒකට ගොඩක් ස්තූතියි.මම දවල්ට ඔයාට නූඩ්ල්ස් ටිකක් උයලා දෙන්නම්, තව බිත්තර දෙකකුත් බදිනවා ඔයාට."

"හොඳයි." රුඅන් බයිජිඒ සමථයකට ආවා. "අහ්, පොඩි ළූණු ටිකක් තිබ්බොත් තවත් හොඳයි."

මේ වගේ සීතල දවසට කන්න කොළ එළවලු තිබීම ම දැනටමත් වාසනාවක්. ඒ පොඩියට කපපු ළූණු මොකටද, ඒවා ගැන අමතක කරන්න.

උදේ ආහාරය අරන් ඉවර වෙලා උණුසුම් ඇඳුම් ඇඳගත්ත පිරිස පොරෝ ත් අරගෙන යන්න ලෑස්ති වුණා.

ඔවුන් සැලසුම් කලේ ගමට මායිම් වෙලා තිබූණ කඳුකර වනාන්තරේ ගස් කපන්න. ඒ ප්‍රදේශයට යන්න තිබුණේ එක මාර්ගයක් විතරයි. හිම පතනය නිසා එකසැරේ එක්කෙනෙකුට විතරක් යන්න පුළුවන් විදියට මාර්ගය පටු වෙලයි තිබුණේ.

කන්ද ඉහළට යන එක තරමක් පහසු වුණත් ගොඩක් බර කොට පිටිපස්සෙන් ඇදගෙන කන්ද පහළට යන එක ගොඩක් අභියෝගාත්මක එකක් වෙයි කියලා ඔහුට තේරුණා. පටු මාර්ගය දිගේ ඇවිදගෙන යන අතරතුරේ ලින් ජියුෂ' මේ ගැන කල්පනා කළා.

ඒ එකොළොස් දෙනා අතරේ වඩු වැඩ කරපු කෙනෙක් හිටියා. ඒ වයස අවුරුදු තිහක් වගේ වුණ මැදිවියේ මිනිහෙක්. තමන් වඩුවෙක් කියලා කියාගත්ත ඔහු ගෘහ භාණ්ඩ හදන්න අවශ්‍ය ගස් කපන්න තමන්ට හැකි බවත් කිව්වා. කොහොම වුණත් මිනී පෙට්ටි හදන එක ඔහු දැනගෙන හිටිය දෙයක් නෙවෙයි. ඔහු ඉස්සරහට ගිහින් ගස් කීපයක් තෝරගෙන ඒවා කපන්නේ කොහොමද කියලා හැමෝටම ඉගැන්නුවා.

මෙතන ඉන්න ගොඩක් අය මීට කලින් මේ වගේ දේවල් කරලා නැහැ. කවුරු හරි මගපෙන්නුවත් තවමත් ඔවුන්ට මේක තරමක් නුහුරු දෙයක් වගේම පළවෙනි වතාවෙම ඒක ප්‍රගුණ කරන්න හැකියාවක් තිබුණේ නැහැ.

ලින් ජියුෂ' තමන්ගේ පොරව අරන් ගහට දෙසැරයක් පහර දුන්නා. ගහ කපන්න ගත්ත ඔහුගේ පළවෙනි උත්සාහයේ ප්‍රතිඵලය වුණේ ගහේ කඳේ යන්තම් සලකුණක් ඉතුරු වුණ එක විතරයි.

"ඔයාගෙ ක්‍රමය තවම වැරදියි, අහ්." රුඅන් බයිජිඒ ඔහුගේ පැත්තකින් විවේකීව හිටියේ. ඇගේ අත් තිබුණේ සාක්කු වල, එළියට පිට කරපු හුස්ම සීතල අවකාශයෙදි සුදු පාටට පෙනුණා. "ඒක පාත දාන්න ඔයාගෙ ශක්තිය පාවිච්චි කරන්න ඕනෙ. එහෙම නැතුව,ඔයා ඒ තරම් බර පොරවක් උස්සන්නේ කොහොමද?"

ලින් ජියුෂ': "ඔයා කවදා හරි ගහක් කපලා තියනවද?"

රුඅන් බයිජිඒ : "මම දැකලා තියෙනවා මිනිස්සු ගස් කපනවා."

ලින් ජියුෂ' "ඔහ්" කියලා කිව්වා.

රුඅන් බයිජිඒ තවත් මෙහෙම කිව්වා, "පරිස්සමෙන්, හරිද. තුවාල කරගන්න එපා."

ලින් ජියුෂ' තමන්ගේ ඔලුව වනමින් පොරවෙන් දිගටම ගහට පහර දුන්නා. මේක මුලදී අනුමාන කලාට වඩා කරදරකාර වැඩක් වුණා. මුළු උදේ වරුවම; ලොකු මිනිස්සු කීපදෙනෙක් මාරුවෙන් මාරුවට ගස් කැපුවා; ටික දෙනෙක් විවේක ගන්න අතරේ අනික් අය ගස් කපන්න තමන්ගේ උපරිම උත්සාහය දුන්නා.

"අපි මොකද කරන්නේ, ෂියොං ග'." එක්කෙනෙක් ඇහුවා. "අපි මොකක්ද කරන්න ඕනෙ?"

ෂියොං චි කාලගුනය දිහා බලලා දත්මිටි කෑවා. "අපි යමු. අපි මේ ගහ ආපහු ගෙනිහින් ඉතුරු ටික හෙට කරමු."

වෙලාව හවස තුන වගේ වුණත් ඒ වෙනකොටත් අඳුර නිසා අහස කළු පාට වෙලා තිබුණේ; ඒ විතරක් නෙවෙයි, ලොකු හිම කුට්ටි වැටෙන්න පටන් ගත්තා. හවස් වෙද්දී මහා හිම පතනය නිසා පීඩාකාරී වෙන බවක් පේන්න තිබුණේ.

ලින් ජියුෂ': "මිනී පෙට්ටියක් හදන්න අපිට කඳන් ඔක්කොම කීයක් ඕනිද?"

"ගම්මුලාදෑනියා කිව්වේ තුනක් විතර කියලා." ෂියොං චි පිළිතුරු දුන්නා. "දවස් දෙකක් මහන්සි වෙලා වැඩ කරන එක ඇති වෙයි. දැන් එන්න, කවුරුහරි අත දෙන්න."

ලින් ජියුෂ' ගහ අරගෙන යන්න ඉස්සරහට යද්දි රුඅන් බයිජිඒ කෑ ගහන සද්දය ඇහුණා, "ග', මගේ කකුල ඇඹරිලා වගේ. මාව කන්දෙන් පහළට අරගෙන යන්නකෝ, ජියුෂ'."

ලින් ජියුෂ': "හහ්?"

රුඅන් බයිජිඒ: "ඔයා 'හහ්' කියලා කියන්නේ මොකද?හොඳයි, ඉක්මන් කරන්න, මෙතන වැඩිය කවුරුත් නෑනෙ. ඔයා කෑ ගහන්නේ මොකටද? "

ලින් ජියුෂ' ට එකට එක කියාගෙන යන්න ඕනි වුණත්, ෂියොං චි ඔහුගේ උරහිසට තට්ටු කරලා ඔහුට අනුබල දුන්නා, "යන්න."

ලින් ජියුෂ': "..." ඔහු රුඅන් බයිජිඒ ගේ මූණ දිහා බැලුවත් ඇගේ සියුම් වගේම අසරණ බැල්ම ඇරෙන්න වෙන මොකුත්ම ඔහුට පේන්න තිබුනේ නැහැ. කොහොම වුණත් ඔහුගේ සංවේදී නහයට ඉඟියක් අල්ලගන්න පුළුවන් වුණා; ඔහුගේ තීක්ෂණ බුද්ධිය ඔහුට කිව්වේ රුඅන් බයිජිඒ ගෙ හදිසි, අපහැදිලි ඉල්ලීම තමන් හිතපු තරම් සරල එකක් නොවෙන බව.

-----------------------------------------------------------------

කතෘ සටහන්:

රුඅන් බයිජිඒ තමන්ගේ හැකියාවන් දියත් කලා: වැළපෙන රාජාලි පහර!

ඇගේ ඇඬීම නිසා ලින් ජියුෂ' ට හානි වුණා. බිමට ඇද වැටුණ ඔහුව රුඅන් බයිජිඒ විසින් කෑමට ගෙදරට ඇදගෙන ගියා.

-----------------------------------------------------------------

[1]束手就擒: අත් බැඳගෙන අල්ලාගන්නකන් බලගෙන ඉඳීම/රණ්ඩුවක් නැතුවම තමන් අල්ලගන්න ඉඩ දීම/ විරෝධයක් නැතුවම ඉදිරිපත් වීම,ප්‍රතිරෝධයකින් තොරව ඉදිරිපත් වීම.

[2]人家—ගැහැණු ළමයි තමන්ව හඳුන්නවන්න දැඩිව භාවිතා කරන හුරුබුහුටි/නොමේරූ/ආලවන්ත ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමයක්. ඒකෙ තේරුම 'මම' කියන එක විතරයි; 'මිනිස්සු' වගේම 'මෙයා' කියලත් ලියන්න පුළුවන්.


Comments