1) පුනරුත්පත්තිය

ඇය මිය ගියේ කෙසේද යන්න ඇගේ මතකයේ නැත.

සල්පිලකදී ඇගේ හිස ගසා දැමුවාද, රෝගී වීම හේතුවෙන් තම යහන මත මිය ගියාද... ඇයට මතකයට නැගෙන්නේ නැත.

ඇගේ සිරුර බැඳ තිබූ යදම් වලින් අල්ලාගත් ආරක්ෂකයින් සිව් දෙනා විසින් ඉදිරියට ඇදගෙන යන ඈ හට කිසිවෙකුගේ සරණක් නොවීය.

අහස්කුස හරහා දිවෙන ගිනිදැල් යම් අවස්ථාවන්හිදී මාවත දෙපස වූ රත්මකුළු ලිලී පුෂ්පයන්*[1] මතට පතිත වන අතර, මනුෂ්‍යයකුගේන් අඩක් පමණ උසට හරිත වර්ණ ගිනිදැල් විහිදුවයි. එම හරිත වර්ණ ගිනිදැල් සහ රත් පැහැ  පුෂ්පයන් අතිශයින්ම සිත් ඇදගන්නාසුළුය.

මාර්ගයෙහි බෙදුම් ගණනය කළ නොහැකි තරම් විය,ශ්වේත වර්ණයෙන් සැරසී සිටි ඇය වැනිම අභිනවයෙන් මියගිය අයවලුන් ආරක්ෂකයින් විසින් ඇදගෙන යනු පෙනේ. සමහරෙක් හඬන්නට විය, සමහරෙක් සිනාසෙන්නට වූ අතර තවත් සමහරෙක් තමාටම යම් යම් දෑ මුමුණාගන්නට විය. කෙසේ වෙතත්, යමෙකු තම මරණය පිළිබඳව කෙතරම් පසුතැවිලි වුවත්, විසල් වාතලය මගින් ඔවුන්ව යටපත් කරනු ඇත.

අවසානයේ, ඇයට කළ හැකි එකම දෙය නම් නිහඬව ඉදිරියට ගොස් පුරවරයෙහි ඈත දොරටුව පසුකරයාමයි.

ඇයව ගෙන ගිය ආරක්ෂකයින් මඟින් නතර වී ඇය දොරටුවෙන් ඇතුළු වනතෙක් බලා සිටියහ.

ධූසර අහස් කුස දෙසත්, දැල්වෙන ගිනිසිළු දෙසත්, රක්ත වර්ණ මකුළු ලිලී පුෂ්පයන් දෙසත් ඈ අලස ලෙස බලාසිටියාය. රත් මකුළු ලිලී පුෂ්පයන් මකර නිය මෙන් වක්‍රය, එමෙන්ම ඒවා බොහෝ සෙයින් අවධානමට ලක් විය හැකිවාක් මෙනි, නමුත් එයින් සැහැසි බවක්ද දිස්විය.

ඇය බොහෝ සෙයින් බිය වී සිටියාය, නමුත් එකෙනෙහිම ඇය පිටුපස වූ ආරක්ෂකයින් කිහිපදෙනෙකු පවසන යමක් ඇගේ කන වැකුණි, " මම දන්නේ නැහැ අප කොපමණ වෙලා බලා සිටිය යුතුද කියා, නමුත් මෙම නව අවතාරයන් ඉතාම ඝෝෂාකාරියි, ඇයි අපි ඔවුන්ට අමතක වීමේ ගංගාවෙන්*[2] ජලය පෙවීම ආරම්භ නොකරන්නේ? පුනරුත්පත්තියට පෙර කෙසේ හෝ ඔවුන්ට එය ලබා ගැනීමට සිදුවෙනවා."

අමතක වීමේ ගංගාව? ඇය නැවත හැරී බැලූ විට ඇයට දැකගත හැකි වූයේ අඳුරු පැහැ වයින් බඳුනක් පිටතට ගත් ආරක්ෂකයෙකු මාර්ගයේ පසෙකට ගොස් රත් පැහැ පුෂ්පයන් ඉවත් කර පැහැදිලි ගංගාවක් මතුකරගන්නා ආකාරයයි.

එහි ජලයේ වර්ණය කුමක්දැයි ඇයට පැවසීමට නොහැකි වුවත් එය දීප්තිමත් සහ ඉතා අලංකාර එකක් විය, එමෙන්ම එහි බොහෝ දෑ අඩංගු විය.

බඳුනකට ජලය පුරවාගත් ආරක්ෂකයෙකු එහි වූ අවතාරයකගේ මුඛය විවෘත කර ඒ තුලට ජලය වත් කළේ ඔහුහේ කෑගැසීම පවා නොතකමිනි. මුලදී එම අවතාරය මහ හඬින් හඬන්නට වුවත්, පසුව සෙමෙන් සෙමෙන් තම චලනයන් නැවැත්වූයේ අලුත උපන් බිළිඳෙකුගේ මෙන් තැතිගැන්වුනු සහ බොළඳ පෙනුමක් ඇතිවය.

අවතාරයන් කිහිපදෙනෙකුට ජලය පෙවූ පසු ඔවුන්ගේ හැඬීම නැවතුනි. වයින් බඳුනෙහි තවමත් ජලය ස්වල්පයක් ඉතිරිව තිබෙනු දුටු ඈ තම දෑත ඒ වෙත දිගු කළාය.

"මට බලන්න දෙන්න'" ඇය පැවසීය.

ඇය දෙස බැලූ ආරක්ෂකයින් ඇයව සම්ච්චලයට ලක් කරන්නට විය, "උඹේ ස්වාමියාට අණදීමට තරම් උඹ එඩිතර වන්නේ කෙසේද? නැවත එය පවසපන්," ඔවුන් පැවසූහ.

ඇය තවමත් තම දෑත දිගු කරගෙනය, "මට එය බලන්න දෙන්න'"

කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අරක්ෂකයින් ඒ වෙනුවට ඇයට පහරදීම සඳහා තම දෑත් ඔසවන්නට විය, නමුත් ඇය වටා වූ ආරක්ෂකයින් පිරිස ඔවුන්ව නැවැත්වීමට කටයුතු කළහ.

"නවත්වන්න! ඔබලා දන්නවාද ඇය කවුරුන්ද යන වග? නොසැලකිලිමත් ලෙස කටයුතු කරන්න එපා!"

තවමත් කිසිවක් ගණනකට නොගත් ආරක්ෂකයෙකු උපහාසාත්මක ලෙස මෙසේ පැවසුවේය, "මමත් කැමතී ඇය කවුරුන්ද යන වග දැනගැනීමට! ඇය උතුම් තැනැත්තියක් නම්, මෙලෙස යදම්ලා තිබෙන්නේ ඇයි?"

තවත් ආරක්ෂකයින් කිහිපදෙනෙක් ඔවුන්ව පසෙකට ඇදගෙන ගොස් මෙසේ රහසින් පැවසූහ, " එයට හේතුව ඇය මියගියේ නිතියට පටහැනි ආකාරයකට නිසා, එසේ නොවේ නම් ඇයව බැඳ දමන්නට එඩිතර වන්නේ කවුරුන්ද? ඇය කවුරුන්ද යන වග දැන් ඇයට මතක නැහැ, එසේ වූවානම් මේ වන විටත් ඔබලා මිය ගිහින්. ඔබ තියා ශ්‍රේෂ්ඨ හොඌ තූ පවා ඇයව සුළු කොට සැලකීම සිදු නොකළ යුතුයි."

නැවත හැරී බැලූ ආරක්ෂකයා ඇයව ඉතා හොඳින් නිරීක්ෂණය කළේය, ඔහුට දැකගත හැකි වූයේ මලානික වූ නමුත් දරුණු පෙනුමැති මුහුණක් සහිත රූමත් කාන්තාවක් පමණි.

තවමත් වයින් බඳුන ඉල්ලා සිටිනා ආකාරය දුටු ඔවුනට, ඇයට එය ලබා දෙනවා හැරෙන්නට විකල්පයක් නොවීය.

එය අතහැරෙන්නට ගියත් ඉක්මන් වූ ඇය බඳුන අල්ලාගැනීමට සමත් විය. බඳුන අල්ලාගත් පසු ඈ ජලය දෙස බලන්නට වූයේ ඇගේ ජිවිතයේ සියළු මතකයන් දැකීමටයි.

ඊළගට පැමිණි කොටස නම්, එය යක්ෂයකු සම්බන්ධ මතකයක් විය, පුළුස්සා, මරා දමා, කොල්ලකා අවසානයේ සල්පිලකදී හිස ගසාදමනා ආකාරය ඇයට දර්ශනය විය.

මතකයන්ගේ කොටස් ආවර්ජනය නොනවත්වා සිදු කෙරුණි, ඒවා කුංකුම වෘක්ෂයක්*[3] ඉදිරිපිට මලානිකව මිය ගිය හුදකලා මාලිගාවක වූ කන්‍යාවකගේ මතකයන් විය.

ඇය තම විවිධ ජීවිත වල මතකයන් හරහා කිහිප වතාවක්ම කාලක්‍රමය සිදු කළ නමුත් කිසිදා සතුටින් සිටියේ නැත. එය කල් පවතින ව්‍යාධි යහනාවක් හෝ හුදෙකලා ජීවිතයක් විය.

මේවා හුරු පුරුදු නමුත් එහි යම් නුහුරු බවක් ඇයට දැණුනි. ඇය මිය ගියේ කෙසේද යන්නත්, ඇය ජීවත්ව සිටි කාලයේ සිදුකළේ කුමක්ද යන්නත් දැනගැනීමට ඇයට අවශ්‍යව තිබුණි. නමුත් යම්කිසි හේතුවක් මත ඇයක ඒ කිසිවක් සිහිගැන්වීමට නොහැකිව තිබුණි.

ඇය තුෂ්ණිම්භූතවී සිටිනු දුටු ආරක්ෂකයින් බොහෝ සෙයින් කලබලයට පත් විය. මෙම තැනැත්තිය ඉතා දක්ෂ සහ අත්තනෝමතිකව කටයුතු කරනා අයෙකි, මේ අවස්ථාවේදී ඇය යමක් සොයාගතහොත් ඇය සමග ගනුදෙනු කිරීම පහසු නොවනු ඇත. ඔවුන්ට සිදු කළ හැකි එකම දෙය නම් මැදුම් පිළිවෙත අනුගමනයයි, "මෙනවිය, ඔබ දොරටුව ආසන්නයටම පැමිණිලා ඉන්නේ. විනිසකරු ජීවිතයේ සහ මරණයේ පුස්ථකය කියවිය යුතුයි, අප ඇතුළත සිටිනා තෙක් මදක් නොසිටින්නේ ඇයි?"

හිස නමා වයින් බඳුන ආරක්ෂකයා හට දුන් ඇය මදවේලාවකින් පුරවරයේ වූ කුළුණු සහ අලංකාර ද්වාරයන් වෙත පැමිණියාය.

එතැන අති දැවැන්ත අඳුරු දෙවිවරු දෙදෙනෙකු දොරටුව ආරක්ෂා කරන අතර ඔවුන් එහි පැමිණෙන ඕනෑම අයෙක් දුටු විට නවතාගනී.

"මට සලකුණ පෙන්වන්න."

සිනාසුණු ආරක්ෂකයා ඇගේ නම සහ ජීවිතය සම්බන්ධ වැදගත් කරුණු සහිත රතු සලකුණක් ඉවතට ඇද දැමීය. අපූර්ව දේවතාවා ඒ දෙස බැලූ අතර ඔහුගේ ඉරියව්ව මදක් වෙනස් විය, ඔහු ඇයව හොඳින් අධ්‍යයනය කළේය, නමුත් කිසිවක් නොදත් ඈ තම සළුව සමගින් කෙලිදලෙහි යෙදෙමින් සිටියාය.

"ඇයව මෙසේ යදම්ලා තිබෙන්නේ කෙසේද?"  අපූර්ව දේවතාවා විමසුවේ තම හඬ බාල කරමිනි.

තම හිස සැලූ ආරක්ෂකයා, තම දෑත් ගෙල මත තබා සෙමෙන් ඇද දැමුවේය. එය ක්ෂණිකව තේරුම්ගත් දේවතාවා ,ඇය දෙස සුපරීක්ෂාකාරී බැල්මක් හෙලා, පසෙකට වී, "කරුණාකර ඇතුළට පැමිණෙන්න." යැයි පැවසුවේය.

අධිබරැති ආත්ම දම්වැල ඇතුළට ඇදගත් ආරක්ෂකයින් ඇයවත් ඇතුළට ඇදගත්හ. එම පුරවරය මණ්ඩප සහ මන්දිර වලින් පිරීගොස් ඇත, වෙනාකාරයකින් පැවසුවොත් එය මනුලොව මෙනි. ප්‍රේතයන් හැර සියලුම වැසියන් , යම් අවස්ථාවකදී ආපනශාලා සහයකයෙකු  වූ මහළු අවතාරයක් ලෙස, ඔවුන් සියල්ලෝම පුනරුත්පත්තියට ඇතුලත් නොවනු ඇත.

සෑම දෙයක්ම අළුත් බව ඇයට හැඟුණි, වටපිටාව දෙස බැලූ ඇයට ගංගාවේ ජලය පිළිබඳව අමතක වූ අතර ඇයව අලංකාර ගොඩනැගිල්ලක් වෙත ගෙන ගොස් තිබුණි.

ෆීනික්ස් පක්ෂියෙකුගේ මෙන් ඉහළට විහිදුණු හරිත වර්ණ ගඩොලින් නිමවූ විශිෂ්ඨ ගණයේ කුළුණක් වෙත ඇයව මෙහෙයවනු ලැබීය.ඊට ඉහළින් වූ සුමංගල මේඝයන්, එක පිට එක වැටුණු හරිත බිම් සහ කුළුණ ආවරණය කරයි, සත්‍ය වශයෙන්ම මෙය මනුෂ්‍ය ලෝකය තුළ දැකිය නොහැකි අපූරු දර්ශනයකි.

"මෙනවිය, කරුණාකර ඇතුළට පැමිණෙන්න." ඇගේ ඉණ වටා වූ යදම් ලිහිල් කළ ආරක්ෂකයින් දෙදෙනෙකු විනිසුරු සමග යාම සඳහා නැවතත් අධිකරණය වෙත පිවිසුණි. අනෙක් දෙදෙනා ඇයව පිටුපස සිට නිරීක්ෂණය කරමින් එම ශාලාවේ රැඳී සිටියහ.

රුදුරු පෙනුමක් ඇති කුඩා පිසාචයෙක් ඉතා කලබලයෙන් තේ බඳුනක් ගෙන ආවේය. එම පිසාචයාගේ හිසෙහි වූ අසමාන්‍ය වර්ධනය දුටු ඈ හට එය ස්පර්ශ කිරීමට ඇති වූ අවශ්‍යතාවය නවතා ගැනීමට නොහැකි වුණි. පිසාචයාගේ මුහුණ බියෙන් අඳුරු වුණු අතර හුන් තැනටම වී කෑ ගසමින් හැඬීමට පටන් ගත්තේය, " අනුකම්පා කරන්න!"

පිසාචයාව එතැනින් ඉවත් කිරීමට යුහුසුළු වූ ආරක්ෂකයින් සිනාසෙමින් මෙසේ පැවසූහ, "ඔහුට බැන වදින්න එපා,ඔහු රාජකාරියට අළුත්, එමෙන්ම ඔහු මේ ලොව මින් පෙර දැක නැහැ, අපි ඔහුට විවේකයක් ලබා දෙමු."

තම හිස සැලූ ඇය ඔවුන්ගෙන් මෙසේ විමසුවාය, " ඔහුගේ හිස මුදුනේ වර්ධනය සිත්ගන්නා සුළුයි. මට එය ස්පර්ශ කළ නොහැකිද?"

ආරක්ෂකයින්ට හැකි වූයේ මහත් ශෝකයෙන් සිනාසෙමින් මෙසේ පැවසීමට පමණි, " ඔබ සියළු අසුරයින්ගේ සතුරා, ඇඟිල්ලක්වත් ස්පර්ශකිරීමට ඔබට ඉඩදීමට තරම් එඩිතර වන්නේ කවුරුන්ද?"

පවසන්නට කිසිවක් තිබුණේ නැත. මේ අතර විනිසුරු වෙත ලේඛන ලබා දීම සඳහා අධිකරණය වෙත පිවිසි රැවුල් සහිත ආරක්ෂකයින් දෙදෙනා කළයුත්තේ කුමක්දැයි නොදැන ව්‍යාකූලව මදවෙලාවක් අසුන් ගෙන සිටියහ.

මඳ වේලාවකට පසු,විනිසුරු ගැඹුරු හඬකින් මෙසේ විමසීය, "ඇයට මාංචු දැමුවේ කවුරුන්ද?"

ආරක්ෂකයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය, " ඇය මනුෂ්‍යයෙක් නිසා ඇය මිය යන විට ඇගේ ආත්මය මාංචු දමා තිබිය යුතුයි."

"නිවටයා." විනිසුරු ඔවුන් වෙත අප්‍රසන්න බැල්මක් හෙලීය. " කවුද ඔබෙන් එය විමසුවේ, කවුරුන්ද දන්නේ මීළඟ ආත්මයේදී ඇය කවරෙකු වේවිද කියලා?"

ක්ෂණිකව සිනාසුණු ආරක්ෂකයා මෙසේ පවසන්නට විය:" ඔබතුමා ප්‍රඥාවන්තයි. මම විමතියට පත්වුණා. ඇයව ආත්ම දම්වැල් වලින් සිරනොකළ යුතු බව පැවසෙනවා, නමුත් ලෝකයට ඇය මිය ගියේ ඇගේ දෑතින්මයි. ඇයව යදම්ලන්නේ නැතිනම් එය නීතියට පටහැනියි. වාසනාවකට මෙන්, ඇයට කිසි මතකයක් නැහැ, අඥානයි, ඉතා කීකරු ලෙස පාතාල ලෝකයට රැගෙන ඒමට හැකි වුණා. ඒ වෙනුවට, මට උතුමාණන්ගෙන් විමසීමට ඇත්තේ මෙවර ඇය ඇතුළත් වන්නේ කුමන පුනරුත්පත්තියකටද යන වග?"

විනිසුරුවරයා තම උඩුරැවුල අතගාමින් මද වේලාවක් කල්පනා කර මෙසේ පැවසීය: "ඇගේම දෑත් වලින්...එයින් පෙනී යන්නේ ඇය තවමත් අමරණීයත්වය කරා ළඟාවී නොමැති බව, ඕනෑවටත් වඩා පත්‍රපක්ෂ බව, තව දුරටත් ඔප්නැංවිය යුතුයි.මෙවර, අපි ආ මාර්ගයටම නැවත යාම සුදුසුයි,වඩාත් වේදනා සහිතව,ඇය අවබෝධකරගන්නා තුරු, ඇය තවමත් අඥාන ලෙස සිය දිවි නසා ගැනීමට තැත් කරනවා නම්... ඔබ වරද භාරගන්න, මීළඟ වතාවේදී ඇයව නිරයට ඇද දමා ඇගේ අභිමතය පරිදි සියල්ල සිදුවීමට ඉඩ හරින්න."

ආරක්ෂකයා පණිවිඩය ලබා දීම සඳහා පිටත් වීමට සූදානම් වන විටම විනිසුරුට පසුපසින් වූ තිරයෙන් හඬක් ඇසුණි,

"මදක් සිටින්න."

එදෙසට හැරුණු ආරක්ෂකයා සහ විනිසුරුවරයා ශීර්ෂප්‍රණාම දක්වමින් මෙසේ පවසා සිටියේය,"මහා අධිරජ හොඋ'තූ වෙත ප්‍රණාමය"

කාන්තාවකගේත් පිරිමියෙකුගේත් නොවූ එම ස්වරයෙන් පවසන්නට වූයේ, " මම මෙම කාරණාව පිළිබඳ ඉතාමත් ඕනෑකමින් සිතා බැලුවා, මට හැඟෙන්නේ වේදනා විඳීම කිසිවක් අවබෝධකරගැනීම සඳහා මගපෙන්වීමක් සිදු නොකරන බව, ඇය දැනටමත් විකේන්ද්‍රිකයි, අධික පීඩනය හමුවේ ඇගේ වියරුව තවත් වර්ධනය වේදැයි බියක් මට පවතිනවා." ලෙසය.

තම හිස එල්බගත් විනිසුරු මෙසේ පැවසීය, "මහා අධිරජුගේ සිතේ ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව මම දැනගන්නට කැමතියි."

තිරය පිටුපස වූ පුද්ගලයා නැවතත් තම හඬ අවදි කරන්නට වූයේය, "පෙර ආත්මයන්හිදී ඇයට දුක් වේදනා ලබා දීම යෝග්‍ය දෙයක් නොවේ.එහි ප්‍රතිඵලයක් ලෙස ඇයගේ රුදුරු ආත්මය ඉවත් නොවී ගොස් ඇගේ මනෝභාවයන් ව්‍යාකුල කරාවිදැයි බියක් මා තුළ පවතින්නේ, වඩාත්ම සුදුසු වන්නේ සාමය සහ සමගිය ඇයව ස්පර්ශ කිරීමයි, පසුව ඇගේ අමරණීයබව වැඩීම සඳහා ස්වර්ගීය පුනරුත්පත්තියට ඇද දැමීමයි."

විනිසුරුවරයා සිටියේ අවුල් ජාලාවකට මැදිවය: "ඇය මේ දිවිය තුළදී තමාවම විනාශ කරගත්තා, ඇය ස්වර්ග රාජ්‍යයට කැපවිය යුතුයි...අනෙක් අතට අමරණීයත්වය කරා යන මාර්ගය ඉතා අසීරුයි, ඒ වෙත සාර්ථකව ළඟා වන පුද්ගලයින් සිටින්නේ අල්ප ප්‍රමාණයක්. මෙවර ඇය සාර්ථක නොවුවහොත් එය මහා අධිරජුගේ හොඳ හිත නාස්ති කරදැමීමක් වේවි."

බොහෝ වේලාවකට පසු හොඋ'තූ මෙසේ පවසා සිටියේය, "ඔබ ඇයව පාතාල ලෝකය වෙත පිටත් කර අරමණීයත්වය වැඩීමට ඉගැන්වීම් කටයුතු සිදුකරන්න. ටික කලකින් අප කැපවිය යුත්තේ කුමටද යන්න අපි තීරණය කරන්නම්"

"මම අණ ඉටුකරන්නම්"

නියෝගය ලැබීමෙන් අනතුරුව ආරක්ෂකයා පිටතට පැමිණියේය. වටපිට බලමින් ශාලාවේ ඇති සියල්ල ස්පර්ශ කරන ඇයව දුටු ඔහු හදවතින්ම සුසුම්ලන්නට විය. සියල්ලක්ම පිළිබඳව ඇය සිටියේ ඉතාමත් කුතුහලයකිනි,ඇයට උපකාර කිරීමට නොහැකිවුවත් ඔහු ගේ හදවතේ ඒ පිළිබඳව වූයේ මහත් කණහාටුවකි. පාතාල ලෝකය තුල මෙම අසුර තාරකාව රඳවා ගැනීමට ඔවුන්ගෙන් සමහරෙක්ද බියක් දක්වනු ඇත.

මුවගට සිනහවක් නගා ගත් ඔහු මෙසේ පවසන්නට විය, "සුබපැතුම් මෙනවිය, ඔබ දින කිහිපයක් පාතාල ලෝකය තුළ රැඳී සිටීමෙන් අනතුරුව ඔබේ පුනරුත්පත්තිය පිළිබඳව කතා කළ යුතු බව හොඋ'තූ උතුමානන් විසින් නියෝග කර සිටියා."

තම හිස වනමින් ඇය බිත්තියේ එල්ලා තිබූ දිව්‍ය කන්‍යාවන් නව දෙනාගේ පින්තූරය ස්පර්ශ කරන්නට වූයේ, "මම මේ ස්ථානයට කැමතියි, මම මෙහි ඉන්නම්" යැයි පවසමිනි.

"ඔබ මෙහි සිටීමට කැමතියි නම් එය අපිට ආශිර්වාදයක්" ආරක්ෂකයාද තම හිස සලමින් පවසා සිටියේය.

ඔහු නැවත හැරී පිසාචයා හට නියෝග කළේ දෙවන මහලට ගොස් එහි වූ කුටිය පිරිසිදු කරන ලෙසයි, පසුව ඔහු නැවත හැරී මෙසේ පවසන්නට විය, " මෙනවිය, තව එක් දෙයක් තියනවා.අධිරජු  ඔබට අනුකම්පාවක් දක්වනවා, ඒ නිසා ඔවුන් ඔබට නාමයක් ලබා දුන්නා."

සිදුවන්නේ කුමක්දැයි නොදන්නා තරමටම ඇය නූගත් විය, නමුත් ඇගේ අනික් පස වූ ආරක්ෂකයා ඇයව ආචාරසම්පන්න ලෙස ඇදගෙන ගොස් ,"අධිරජු ඔබට නාමයක් ලබා දී තිබෙනවා, ඔබ දණින් වැටී එය පිළිගත යුතුයි." ලෙස පවසා සිටියේය.

ඇය දණින් වැටුනේ නැත, ඇසි පිය නොහෙලා ආරක්ෂකයා දෙස බලාසිටින්නට විය. එය දරාගත නොහැකි වූ විනිසුරු මෙසේ පවසා සිටියේය: " අධිරාජ්‍යයා ඔබව ෂුවැන්ජි යන නාමය ලබා දුන්නා, අනාගතයේදී අයෙක් ෂුවැන්ජි ලෙස අමතයිද, ඒ අමතන්නේ ඔබටයි."

වටපිට බැලූ ඇයට දර්ශනය වූයේ ඉහළ මාලයේ සිට පහළට පැමිණෙන පිසාචයාවයි. සිනාසුනු ඈ ඔහුගේ හිසෙහි වර්ධනය වූ කොටසෙන් තමා වෙතට ඇදගත්තාය, එය පිසාචයා අවතාරයක් මෙන් විලාප දීමටත්, වෘකයෙක් මෙන් කෑ ගැසීමටත් හේතු විය.

ෂුවැන්ජි පාතාල ලෝකය තුල ටික කලක් රැඳී සිටියේ ව්‍යාකුල තත්වයක් මධ්‍යයේය. මතුපිටින් ඇය විනිසුරු හට ජලය සහ තේ පැන් සපයීම සඳහා විවිධ කාර්‍යයන් කරන බව පැවසුවද, සත්‍ය වශයෙන්ම ඇයව ඇමතීමට තරම් කී දෙනෙක් නිර්භීතද? ඇයව මුළු දිනය පුරාවටම නගරයෙහි සංචාරයේ යොදවන්නේ ඇය තවත් ප්‍රශ්න වලට මැදි වීම වලකාලීමේ අරමුණෙනි.

විනිසුරුවරයා සෑම දිනකම ෂුවැංජි හට විවේක කාලය තුළදී කියවීම සඳහා අමරණීයත්වය වැඩීම පිළිබඳව සහ ලෞකික ප්‍රතිපත්ති පිළිබඳව වූ පුස්ථක රැගෙන එන්නට විය.ඇගේ ලිවීමේ සහ කියවීමේ හැකියාව පිළිබඳ ඔහු තුළ පැවතියේ මහත් පුදුමයකි. ඒවා උපුටා ගෙන හැර දැක්වීමටද ඇය මහත් දක්ෂතාවක් දැක්වීය.

කල් ගතවත්ම, විනිසුරු හට හොඋ'තූ අධිරජුගේ ප්‍රඥාව පිළිබඳව පුදුමයට පත් නොවී සිටීමට නොහැකි විය. ඒ නූගත් ආත්මයට පුනරුත්පත්තිය ලැබීමට ඉඩ ලබා දුන්නේ නම් ඇය නොදැනුවත්වම නැවත නැවතත් වැරදි සිදු කිරීමට ඉඩ තිබුණි. දැන්, අමරණීයත්වය වැඩීම පිළිබඳව ඇගේ කැමැත්ත වැඩිවී ඇති හෙයින් පෙර වූ අලස බව ගිලිහී ගොස් පෙරට වඩා බුද්ධිමට්ටමෙහි වර්ධනයක් ඈ තුළින් දැක ගැනීමට හැකිය.

ඇය ගං පත්ලෙහි වූ නැවුම් දැඩි පාෂාණයක් මෙන් ය, ඇගේ ලක්ෂණ සම්පූර්ණයෙන්ම බොඳවී ගොස් ඇති අතර මනස සම්පූර්නයෙන්ම අන්ධ වී ගොස් ඇත.

මේ වන විට ඇයට ලෞකික ප්‍රතිපත්ති සහ අමරණීය මෙන්ම ඍෂිවරුන්ගේ කතා උගන්වා ඇති අතර ඇයව ප්‍රවේශමෙන් නිමවා ඇත. අවසානයේදී ඇය තුළ සැඟව ඇති කුසලතාව මතුවීමට ආසන්න ය.

තවත් ඇත්තේ එක දෙයකි, නමුත් එය හිසරදයක් ය.

ඇය අලසය, පුදුම සහගත ලෙස අලස වූ අතර එය විනිසුරුවරයා සහ දෙවියන් පවා කෝපයට පත් කරවන තරම් විය.

ඇයට වැතිර සිටීමට හැකි වන තාක්, ඇය අසුන් ගන්නේ නැත. ඇයට සිතීමට අනවශ්‍ය නම් ඇය සිතීමට පෙලඹෙන්නේද නැත. ඇය ප්‍රිය කරන එකම දෙය වූයේ අමතක වීමේ ගංගාව අසල හිඳගෙන අතට ගත් දිය පොදක් දෙස බලා සිට එය නැවත විසි කර දැමීමට පමණි.

ඇය සොයන්නේ කුමක්ද යන්න සියළු දෙනා දනිති, නමුත් ඇගේ අතීත මතකයන් හොඋ'තූ අධිරජු විසින් පැහැර ගෙන ගොස් ඇති බව පැවසීමට තරම් කිසිවෙක් එඩිතර වන්නේ නැත.

ඔහුට අවශ්‍යව ඇත්තේ ඇගේ අතීත එදිරිවාදිකම් සියල්ල කපා හැර දමා සියල්ල නැවත අලුතෙන් ආරම්භ කිරීමයි.

දින භාගයක් පුරාවට විනිසුරු වරයා ඈව සෙව්වද කිසිදු තැනක ඇයව දැකගැනීමට නොහැකි විය. ඔහු ආරක්ෂකයන් කැඳවා පවසා සිටියේ ඇය දහවල මුළුල්ලෙම අමතක වීමේ ගංගාවේ ඉවුරෙහි වූ පුෂ්පයන් දෙස බලා සිටියාද යන්නත් එතැනින් නොසෙල්වුණාද යන්නත් සොයා බලන ලෙසය.

බොහෝ සෙයින් කෝපයට පත් වූ ඔහු පුස්ථකයක්ද අතැතිව ගංගාව වෙත යන්නට වූයේ ඇයට බැන වැදීමේ අදහසිනි. මාස කිහිපයක් ඇය සමග ගත කිරීමෙන් අනතුරුව, ඔවුන් දෙදෙනා ඇදුරුතුමෙක් සහ ශිෂ්‍යයෙක් ලෙස මදක් සමීප වූහ. ඈ ඉගෙනීමට උනන්දු සහ බුද්ධිමත් වීමත්, විනිසුරුවරයා තුළ වූ ආරක්ෂා කිරීමේ අදහස මද වශයෙන් ලිහිල් වීමත් නිසා ඇයට ශිෂ්‍යයෙකු ලෙස සලකා ඉගැන්වීමට ආරම්භ කර තිබුණි. තම ශිෂ්‍යයාගේ අලසබව හමුවේ කෝපයට පත් නොවූ ඇදුරුතුමෙක් මෙලොව නැති තරම් ය.

මන්දිරයේ දොරටුවෙන් පිටතට පැමිණි පසු, ඔහුට දර්ශනය වූයේ ශ්වේත වර්ණ වස්ත්‍ර දරමින් අමතක වීමේ ගංගාව අසබඩ වූ රුවකි. ඇයට ළං වත්ම ඔහු දුටුවේ, ෂුවැන්ජි රත් මකුළු ලිලී පුෂ්පයන් දෙස ඇසි පිය නොහෙලා බලා සිටිනා ආකාරයයි, ඒවා ඉවුරු මත සුළඟට ළෙලඳෙමින් තිබුණි. ඇගේ දෑස් ඉදිරියට යොමු වී තිබුණද ඇය සිතන්නේ කුමක්ද යන්න පිළිබඳව වත් කිසිදු අදහසක් නොවීය.

ඔහු ෂුවැන්ජි හට ආමන්ත්‍රණය කිරීමට සැරසෙත්ම, පසුපස නොබලාම ඇය ඔහුව ඇමතීය, "ඇදුරුතුමණි."

සුසුම්ලන්නට වූ විනිසුරුවරයා ඈ අසලට ළං වී ඈ සමගම රක්ත වර්ණ වූ මකුළු ලිලී පුෂ්පයන් දෙස බලා සිටියේය. බොහෝ වේලාවකට පසු විනිසුරුවරයා තම හඬ අවදි කරන්නට විය, "ඔබ බලා සිටින්නේ කුමක් දෙසද?"

ඇය ඊට ක්ෂණිකව පිළිතුරු ලබා දුනි, " මේ වර්ණයන් දෙස බලන්න. මේ දෙස බලන සෑම වතාවකදීම මට බොහෝ සමීප හැඟීමක් දැනෙනවා, නමුත් ඒ කුමක්ද කියා මගේ මතකයට එන්නේ නැහැ."

විනිසුරුවරයාගේ හදවත ක්ෂණිකව ගැස්සී ගියේය, නමුත් ඔහු මෙසේ පවසන්නට විය, "ඔබේ පැරණි ජීවිතය මිය ගිහින්, මෙවැනි ලෞකික කාරණා පිළිබඳව වද වීම අවශ්‍ය නැහැ, එසේ නැති වුණොත් ඒවා මම ඔබට ඉගැන්වූ නියමන් ඉක්මවා යාවි."

"එය නිවැරදියි, ඇදුරුතුමා පවසන ඕනෑම දෙයක් ඕනෑම අවස්ථාවකදී නිවැරදියි, මට සෑමවිටම එය වැටහුණා. මට එය වැටහුණත් මම දන්නේ නැහැ එය එතරම් දුරස් සහ මට ළඟා වීමට අපහසු ඇයි කියලා." ෂුවැන්ජි පිළිතුරු ලබා දුන්නාය.

"ඔබ මට පැවසුවා මගේ චරිතය වඩන ලෙස, අතීතය දෙස හැරී නොබලන ලෙස හෝ ඉදිරිය පිළිබඳව නොසිතන ලෙස. ඒ සියල්ල අයෙක්ව අයිති කරගැනීමට නැඹුරු කරනවා, එමෙන්ම සුපිරිසිදු හදවතක් නොමැති අයෙක්ට ධ්‍යාන වැඩීම සිදු කළ නොහැකියි. ෂඩ් මූලයන් අපවිත්‍ර වූ විට ඔහුට රාමුවෙන් ඔබ්බට පෙනෙන්නේ නැහැ, පහසුවෙන් ශබ්දයට සහ යසස ට ඇබ්බැහි වෙනවා."

ඉවුරෙහි වූ පුෂ්පයක් නෙළාගත් ඈ එය තම අත්ල මත පොඩි කරන්නට විය, එම පුෂ්පයේ වූ රක්ත වර්ණ යුෂ ඇගේ සියුමැලි ඇඟිලි අතුරින් රූටා වැටුණි.

"නමුත් සිත උපදින්නේ සිතන්නට, දෑස් උපදිනේ නිරීක්ෂණය කරන්නට, එමෙන්ම මුව කථනයටත්, සවන් ශ්‍රවණයටත් ය. මම ඒ සියල්ල අතහැර දැමුවොත්, මම කවුරුන්ද? අමරණීයත්වයට ළඟා වීම පිළිබඳව පවසද්දී ඇදුරුතුමා අදහස් කළේ කුමක්ද යන්න මට වැටහෙන්නෙ නැහැ, නමුත් අමරණීයයෙක් වූවායින් පසු... කිසිවක් ඉතිරි වන්නෙ නැතිද?"

ඇයගේ අසීරු පැනය හමුවේ විනිසුරුවරයා විමතියට පත් විය, මද වෙලාවකින් ඔහු මෙසේ පැවසුවේය, "නැහැ, ඔවුන්ගේ සිත් තුළ, ඔවුන් දන්නා බවට පිළිගත හැකි නමුත් ඔවුන් දන්නේ නැත, ඔවුන්ට අවබෝධ වන නමුත් අවබෝධ කරගන්නේද නැත."

"එසේනම් ඔවුන් සත්‍ය වශයෙන්ම දන්නේ කුමක්ද?" ඇය සන්සුන් ලෙස විමසීය, "ඔවුන් දන්නවා නම්, ඔවුන් නොදන්නා බව ඇඟවිය හැකිද? අමරණීයයන් හට සතුටින් ජීවත් විය හැකිද?"

විනිසුරුවරයා ෂුවැන්ජී වෙත හෙළුවේ දවා අළු කරන බැල්මකි," ෂුවැන්ජි, ඔබ තත්වය අසීරු කරනවා. සතුට? ලෞකික බැඳීම් සතුට ගෙන දෙන බව ඔබ සිතනවාද?"

ඇය තම හිස සොලවමින් මෙසේ මුමුණන්නට විය, "ඔබ අදහස් කරන දෙය මම දන්නවා. නමුත් මට එය වැටහුනේ නැහැ. අරමුණක් හෝ හදවතක් නොමැති නම්, අපි පිටව යාම අවශ්‍යවන්නේ ඇයි? මට එය වැටහෙන්නේ නැහැ. මම ඒ පිළිබඳව දිගු කාලයක් මුළුල්ලේ සිතා බැලුවා, නමුත් මම සිතන්නේ නැහැ මට එය සිදු කළ හැකියි කියලා. අභිප්‍රාය පිළිබඳව මම සිතන්නේ නැති නම්, එම අභිප්‍රායට ඇති අරමුණ කුමක්ද? ඔබ මා පිළිබඳව බොහෝ කලකිරීමෙන් සිටිනවා විය යුතුයි ඇදුරුතුමනි."

ඇගේ පාරිශුද්ධ දෑස් විනිසුරුවරයා දුටුවේය, නමුත් ඇගේ මුහුණ නොපැහැදිලි වූ අතර අවබෝධයත් අනවබෝධයත් අතර වූ පුදුමාකාරබවක් ඇගේ මුහුණින් දිස් වුණි. මෙයින් විනිසුරුවරයා තව තවත් කම්පනයට පත් විය. ඇගේ අතීතය සහ අනාගතය දැකීමට තරම් ඈ අතිදක්ෂ බව ඔහු දැන සිටියේය,ඇය එසේ සිදුකළහොත් ඈ නිරයට ඇද වැටී අසුරයෙකු වන බවද ඔහු දැන සිටියේය, එමෙන්ම නැවත කිසිදාක ඇයට නව පිටුවක් පෙරළීමට නොහැකි වනු ඇත. එසේ වුවහොත් දිව්‍ය අධිරාජ්‍යයාගේ සහ හොඋ'තූ අධිරාජ්‍යයාගේ අසීරු ප්‍රෝත්සාහයන් සියල්ල නිෂ්ඵල වී යනු ඇත.

බොහෝ වේලාවක් නිහඬව සිටි ඔහුගේ සිතට අවසානයේ අදහසක් පහළ විය. ඔහු ක්ෂණිකව අත්පොළසන් දෙමින් මෙසේ පවසා සිටියේය, "ෂුවැන්ජි පවසන දෙය මට වැටහෙනවා."

ඔහුවෙතට ඉක්මනින්ම හැරුණු ෂුවැන්ජි ගේ ස්වරය විමතියෙන් පිරී ගොස් තිබුණි, "ඇදුරුතුමාට වැටහුණේ කුමක්ද?"

විනිසුරුවරයා මහ හඬින් සිනාසෙන්නට විය, "මම ඔබට ඔබේ අතීත ජීවිතය පෙන්වන්නම්! මෙවර පමණක්, නැවත කිසිදාක නැහැ."

ඇය කෙතරම් සතුටට පත් වීද යත් ඇගේ මුවින් කිසිදු වදනක් පිටවූයේද නැත.

ඉවුර මතින් වැලි මිටක් අතට ගත් විනිසුරුවරයා එය ගංගාවට විසි කර මෙසේ පැවසුවේය, "ඔබේ කාලය ගන්න, නැවත මෙම පැනයන් විමසන්න එපා."

ඉක්මනින්ම පහතට නැවුණු ඇයට අමතක වීමේ ගංඟාවෙන් නැගෙනා කුඩා දිය රැලිති දැක ගැනීමට හැකි විය. ජලයෙහි වර්ණය ක්‍රමයෙන් ඝනීභවනය වී එයින් දිස්වන්නට වූයේ ශ්වේත වර්ණ වස්ත්‍රයෙන් සැරසුණු කාන්තාවකි. එම කාන්තාවගේ මුහුණ දුටු ෂුවැන්ජි තුෂ්නිම්භූත විය.

එහි සිටියේ ඇයයි.

නමුත් ඒ ඇය නොවන බවද පෙනේ.

එම දෑස් සිසිලන චේතනාවෙන් බිඳී ගිය අයිස් මෙන් විය. එක් වරම ඇය පිටතට ගත්තේ අසිපතකි. ඇගේ අඳනය ලෙලඳෙන්නට විය, සිරුර පුරාවට රුධිරය ගලන්නට විය. පසුව අසිපත ඉවතලූ ඈ මුහුණ පිසදමා වම් කම්මුලෙහි රුධිරය පැල්ලමක් ඉතිරි කළාය. එක්වරම ඇගේ මුවින් පිටවූ සිනහව මහත් වේදනාකාරී ස්වරූපයක් ගෙනදුනි.

මෙම සිදුවීම ඉතා සමීප බව ෂුවැන්ජි හට දැනුනි, එම සිනහව, එම රුධිරය තැවරුණු ශ්වේත වර්ණ වස්ත්‍රය, බිඳුණු  අයිස් සහ හිම මෙන් දිස්වූ එම දෑස්... එම කාහල නාදයන්, ස්වර්ණමය සන්නාහ වල ශබ්දයන් සහ අතිමහත් කෑ ගැසීම් වල ශබ්දයන් ඇගේ සවනට බොහෝ හුරුපුරුදු බවක් ගෙනදෙන්නට විය. අසු පිට වූ ජනරාල්වරයාට හිස් තුනක් ද බාහු සයක්ද විය, ඔහු සිටියේ ගිනිජාලා මධ්‍යයේය.

ආෂියූලුඕ! එය ආෂියූලුඕ ගේ මාර්ගයයි!

ක්ෂණිකව අඳුරෙහි ගිලුණු ඈ වටා වූ සියල්ල බොඳවී ගියේය, එකෙනෙහිම පසුපසින් අයෙක් ඈව තල්ලු කළ අතර ඊට එරෙහි වීමට ඇයට නොහැකි විය. මහත් ශබ්දයක් ඇති කරමින් ෂුවැන්ජි ඇද වැටුණේ අමතක වීමේ ගංඟාවටයි, කටුක රසැති වූ ජලය උගුරු කිහිපයක්ම ඇයට පෙවිණි.

විශාල බිළාලයෙකු ජලයට වැටුණු විට මෙන් ඇයත් ඉවුර දෙසට පිහිනන්නට වූයේ බොහෝ කලබලයෙනි. තම දෑත් පොළවේ ස්පර්ශ වන මොහොතේ, ඇගේ මනස වියරු වැටී තිබුණු අතර අතීතය සහ වර්තමානය යන සියල්ලම දුමාරයකින් වැසී අතුරුදහන් වන්නට විය. ඉවුරෙහි වූ විනිසුරුවරයා වෙත හිස් බැල්මක් හෙලමින් තම හිස ඇල කළ ෂුවැන්ජි හට අවශ්‍යව තිබුණේ ඔහුට යමක් පැවසීමටයි, නමුත් ඒ වන විටත් ඔහු කවුරුන්ද යන වග ඈ හට අමතකව ගොස් තිබුණි.

"නුඹ..." ඇය මුමුණන්නට විය, "මට..."

එය පුදුමසහගතයි. වැදගත් යම්දෙයක් මට අමතක වී ගොස් වගේ. ඒ කුමක්ද? කුමනාකාරයේ කරුමයක්ද?

ආත්මය කැඳවූ විනිසුරුවරයා, ෂුවැන්ජි වටා ආත්ම සිර කිරීමේ යදම් බැඳ ඇයව ගොඩට ඇද මහ හඬින් මෙසේ පවසන්නට විය, "ෂුවැන්ජි, ඔබ තෙමසකට වඩා කලක් පාතාලයේ සිටියා, දැන් ඔබේ මනස පැහැදිලියි. ඔබව පුනරුත්පත්ති චක්‍රයට ඇතුලත් කරාවි.මම අපේක්ෂා කරනවා ඔබ ඔබේ මීළඟ ජීවිතයේදී අමරණීයත්වය ප්‍රගුණ කර නැවතත් ඉක්මනින්ම දෙව්ලොවට පැමිණෙයි කියලා."

එය පැවසීමෙන් අනතුරුව සියලු දෙනාම ඈව පුනරුත්පත්ති මාර්ගය වෙත රැගෙන යනු ලැබීය. ෂුවැන්ජි තුෂ්නිම්භූත වී සිටින බවත් ඊට හේතුව අමතක වීමේ ගංගාවේ ජලය පානය කිරීම බවත් දැනගත් ආරක්ෂකයින් ප්‍රවේශමෙන් මෙලෙස පැවසුවේය, " විනිසුරුතුමනි, ෂුවැන්ජි මෙනවියව පිටත්කරන්නේ කුමන මාර්ගයකටද? නැත්නම් එය පෙර පරිදිම ආෂියූලුඕ ගේ මාර්ගයටද?"

තම හිස සෙලවූ විනිසුරුවරයා: "නැත, ඇය තව දුරටත් පෙර සිටි පුද්ගලයා නොවේ, ඇගේ මනස පුළුල් වීමට ආසන්නයි, එවැනි තීරණාත්මක අවස්ථාවක ඇය අවිනිශ්චිතව සිටිනා තාක්, ඇය අසුරයෙක් බවට පත් වේවි. එබැවින් ඉහළින් නියෝග කර ඇත්තේ ඇයට අමතක වීමේ ගංඟාවේ ජලය පානය කිරීමට ලබා දෙන ලෙසයි. ඇයට නැවතත් ආෂියූලුඕ ලෙස පුනරුත්පත්තිය ලැබිය නොහැකියි, එසේ වුවහොත් අප කළ සියළු දෑ නිශ්ඵල වී යාවි. මේ වන විට ලොවෙහි බොහෝ සෙයින් අමරණීය ධ්‍යානවේදීන් සිටිනවා, ඔවුන් අමරණීයයන්ට ගරු කරනවා,  එම නිසා ඇයට මනුෂ්‍යත්වය ලබා ගැනීමට ඉඩ දෙන්න, අවංක බව ඇති තාක්, ප්‍රතිඵලය අනාගතයේදී තීරණය වේවි."

මනුෂ්‍ය පුනරුත්පත්ති චක්‍රයේ දොරටු විවෘත විය, ඇතුලත සිට තේජාන්විත ආලෝකය විහිදුවන එහි මකුළු දැල් එකට බැඳුණු මාර්ග දස දහස් ගණනක් ඇති බව ඕනෑම අයෙකුට දැකගත හැකිය. ආලෝකයන් ඇයව ස්පර්ශ කරන විට , ෂුවැන්ජිගේ මුළු ශරීරයම ක්‍රමයෙන් විනිවිද පෙන්නට වූ අතර අවසානයේ ඈ මුතු ඇටයක් බවට පත් විය.

එම මුතු ඇටය ගෙනවිත් පුනරුත්පත්තියේ දොරටුව ට දැමූ විනිසුරුවරයා තම හදවතින් මෙසේ පවසන්නට වූයේය, "ඔබ සහ මම හමුවීමට නියමිතව ඇත්නම්, අප නැවතත් දෙව්ලොවදී හමුවේවි. ඔබ, ඔබ පිළිබඳව සැලකිලිමත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

එදින රාත්‍රියේ ෂාඕයැං කඳු මුදුනෙහි වූ ෂාඕයැං නිකායෙහි ප්‍රධානීතුමාගේ බිරිඳ ගැහැණු දරුවන් දෙදෙනෙකුට උපත ලබා දුන්නාය. උපත ආසන්නයේදී, ප්‍රධානී චූ ලෙයි සියුම් ජේඩ් සහ විශ්මිත තරු එලියක් සිහිනෙන් දුටු හෙයින් තම දියණියන් දෙදෙනාට ලින්ග් ලොං සහ ෂුවැන්ජි ලෙස නම් තැබීය.

********************

[1] රත් මකුළු ලිලී : එය Amaryllis පවුලේ, Amaryllidaceae උප පවුලට අයත් ශාකයකි. මුලින්ම චීනය, කොරියාව සහ නේපාලයටත් පසුව ජපානයටත් හඳුන්වාදීමෙන් අනතුරුව එක්සත් ජනපදයට සහ වෙනත් රටවලට හඳුන්වා දෙන ලදී. මෙම රක්ත වර්ණ පුෂ්පයන් සාමාන්‍යයෙන් සරත් සමය ආසන්නයේ සුසාන භූමි අසල පිපෙන බැවින් සද්ධර්ම පුන්‍යාරික සූත්‍රයෙහි චීන සහ ජපන් පරිවර්තන වල ඒවා නිරයෙහි වැඩෙන අශුභ පුෂ්පයන් වර්ගයක් බවත්, මළවුන් මීළඟ පුනරුත්පත්තිය වෙත යොමු කරන බවත් පැවසේ.

[2] අමතක වීමේ ගංඟාව : චීන පුරාවෘත්තයන්ට අනුව අමතක වීමේ ගංගාව යනු පාතාල ලෝකයෙහි වන ගංඟාවක් වන අතර එහි ජලය සියළුම මතකයන් මකා දමයි. යමෙක් පුනරුත්පත්තියට යාමට පෙර මෙම ගංඟාවෙන් ජලය පානය කළ යුතු වේ.

[3] කුංකුම : බොහෝ සෙයින් අතු බෙදුණු, පැළෑටි සහිත  ශාකයකි. එය වාණිජමය වශයෙන් එළවළු තෙල් නිස්සාරණය කර ගැනීම සඳහා වගාකෙරේ.

*ආෂියූලුඕ (අසුර) - ඔවුන්ව විස්තර කෙරෙන්නේ හිස් තුනක් සහ මුහුණු තුනක් සහිත, බාහු හතරේ සිට හය දක්වා විය හැකි කොට්ඨාසයක් ලෙසයි. දෙවියන්ගේ සතුරන් වන අතර සියළුම යක්ෂයන් අතරින් බලවත් අය වේ. ද්‍රව්‍යමය වින්දනය සහ ආධ්‍යාත්මික බලය අතින් දෙවියන්ට සමාන වේ.කෙසේ වෙතත් සමහර කරුණු ඉදිරියේදී, එය මනුෂ්‍යත්වයේ මාවතටත් වඩා දුශ්ශීලය. පිරිමි ආෂියූලුඕ විරූපී සහ ඉක්මනින් කෝප ගන්නා අයවලුන් වන අතර සෑම විටම එකිනෙකා සමගින් සටන් වදී. ගැහැණු ආෂියූලුඕ දේවදූතයෙක් මෙන් අලංකාරය.ඔවුන් තමන් ගැනම බොහෝ සෙයින් ආඩම්බර වන හෙයින් බුදු දහම ඉගෙනීමට සහ පිළිපැදීමට මැලිකමක් දක්වති.

****************************

Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)