10) අසුරයා අල්ලා ගැනීම [1]
තානායම වෙත පැමිණි චූ යිං හොං වහාම පිරිස අතරේ ශ්‍රම බෙදී යාම පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරන්නට පටන් ගත්තාය.
දරුවන් හට පැවරුණේ පන්දම් දැල්වීම සහ අනෙකුත් සුළු කාර්‍යයන් පමණි. යූ ස' ෆං මීට පෙරදී ලූතායි කඳුකරයේ ජීවත් වූ හෙයින් සිතියම අධ්‍යයනය කර ගමන මෙහෙය විමේ වගකීම ඔහුට භාර විය. ජොං මින් යෑන් ඇතුළු දඩයම්කරුවන් කිහිපදෙනෙකු හට පන්දම් දල්වා ලුණු මලු විසිකිරීමේ වගකීම පැවරුණි, එලෙසම ඔහුට, තෙංගු හට විනාකිරි ඉසීමේ කාර්යයද පැවරුණි.
"එවිට මම?" දින භාගයක් මුළුල්ලේ ඔවුන්ගේ සාකච්ඡාවන්ට සවන් දුන්නත් තමා පිළිබඳව කිසිවක් පවසනු නොඇසීම හේතුවෙන් ඉතා අඩු ස්වරයකින් ඈ එසේ විමසුවාය.
චූ ලෙයි ඈ දෙස කිසිදු වෙනසකින් තොරවම බැල්මක් හෙළුවේය, "ඔබට සිදු කිරීමට ඇති එකම කාර්‍යය සැඟවී බලාසිටීම පමණයි. එහෙ මෙහෙ දුවන්න එපා."
එයින් පැහැදිලි වන්නේ ඈ හට කිසිවක් සිදුකිරීමට නොමැති බව නොවේද? ෂුවැන්ජිගේ දෑස් දිදුලන්නට විය. එක්වරම පියාණන් බොහෝ සෙයින් සාංවේදී වෙලා, ඇයට කිසිවක් කිරීමට ඉඩහරින්නේ නැහැ!
කුඩා දැරිය කෙතරම් සතුටින් සිටිනවාද යන්න දුටු චූ යිං හොං , සිනාව නවතා ගත නොහැකිව තම හිස සොලවන්නට වූවාය, "අනිවාර්‍යයෙන්ම, ෂුවැන්ජි හට යම් දෙයක් සිදුකිරීමට තිබෙනවා. මේ සාවුන් දෙදෙනාගේ මීපැණි ගල්වා ඔවුන් හොඳින් පිළිස්සීමේ වගකීම පැවරෙන්නේ ඔබට."
චූ යිං හොං, ඒ වන තුරුත් හම නොහැසූ සාවුන් දෙදෙනෙකු ෂුවැන්ජි වෙත විසි කළාය. පෙනෙනා ආකාරයට නම් උන්ව දැන් දඩයම් කර ඇතිවා මෙන් ය, උන්ගේ දිගු සවන් මත ලේ බිඳු තිබෙනාකාරය දක්නට ලැබුණි. ෂුවැන්ජි කම්පනයට පත් විය. පිළිකුල් සහගත මුහුණක් මවා ගත් ෂුවැන්ජි, සාවුන් දෙදෙනාව ගෙන මෙසේ විමසුවාය, "මම ඔවුන්ගේ සම ඉවත්කිරීමත් සිදුකළ යුතුද?"
"ඔව්, ආ මෙන්න, මෙය ඔබට" චූ යිං හොං ඈ හට රත් පැහැ තන්තුවකින් බැඳි පිඟන් මැටි බෝතල් දෙකක් ලබා දුන්නාය.
එය හඳුනාගත් ෂුවැන්ජි පුදුමයට පත් වුණි, "ඔහ්, මේ ෂ්‍යාං සු[1] නොවේද?"
එය ෂාඕයැන්ග් මිකාය තුළම නිෂ්පාදිත ඉතා ශක්තිමත් ඖෂධ පැළෑටි වර්ග වලින් එකකි. ඉන් කුඩා හැන්දෙන් එකක ප්‍රමාණයක් යොදන ලද බත් හෝ තේ පානයක්, දස වසරකට වඩා ධ්‍යානවේදී විභවයක් ඇති අයකුගේ ශක්තිය, කුකුළෙකු ගැට ගසා ගැනීමටවත් නොහැකි වන තත්වයක් දක්වා බාල කළ හැක. එයට කිසිදු රසයක් හෝ වර්ණයක් නැත, නමුත් එය බත් වලට හෝ තේ වලට එකතු කළ විට, එය ඔබේ ආහාර රුචිය වඩවන සුගන්ධයක් ලබා දෙයි, එබැවින් එයට ඒ නම ලැබී ඇත.
චූ යිං හොං සිනාසුණි, "ඔබ සාවුන් පුළුස්සන විට අමුද්‍රව්‍ය එක් කිරීමට අමතක කරන්න එපා, එක් පුළුස්සන ලද සාවෙකුට එක ෂ්‍යාං සු බෝතලයක් ප්‍රමාණවත්."
ෂුවැන්ජි හට ක්ෂණිකව සියල්ල අවබෝධ වුණි, "අහ්, එසේ නම් පිළිස්සූ සාවුන් ආහාරයට ගන්නේ අපි නෙවෙයි! හොං නැන්දණිය, මේ සාවුන් අසුරයන් දෙදෙනාට නේද?"
චූ යිං හොං හිස සැලීය, "අපි මේ සාවුන් දෙදෙනා භාවිතා කර ඔවුන්ව පිටතට ගමු, ඉන් පසුව අපි මූලික පියවර ගමු." ෂුවැන්ජි හට එය වැටහෙන බව පෙනුනත්, නමුත් කිසිවක් නොවටහා ගෙන හිස වැනීම පමණක් සිදු කරනා ආකාරය දුටු යිං හොං, ඇගේ හිස මෘදුව පිරිමදින්නට වූවාය, "ඇයි ඔබ මට හොං නැන්දණිය ලෙස ආමන්ත්‍රණය කරන්නේ? ඔබේ ලින්ග් ලොං අක්කණ්ඩිය පවා මට ආමන්ත්‍රණය කරන්නේ "ඇදුරුතුමිය" කියලා."
ෂූවැන්ජි පිළිතුරු ලබා දුන්නාය, " හේතුව, ඇදුරුතුමිය යන්න හොං නැන්දණිය තරම් හොඳ නැහැ."
මෙම කුඩා දැරියගේ සිතුම් තමාට අවබෝධ කරගත නොහැකි වේ යැයි ඇය බිය වූවාය. සිනහව නැවැත්වූ චූ යිං හොං අසුරයන් දඩයම් කිරීමේ කාර්‍යය විස්තරාත්මකව පැහැදිලි කළාය.
***
රාත්‍රියේදී ලූතායි කඳුකරය තරණය කිරීම දිවා කලට වඩා බොහෝ සෙයින් අපහසු කටයුත්තක් විය.මුළු කඳුකරයම තරණය කිරීම ගගනතරණයටත් වඩා අපහසු බව සමහරෙක් වරෙක පවසා ඇත. කඳු පාමුල සිට කඳු මුදුන දක්වා පෙර නොවූ විරූ ආකරයේ කඩතොළු සහිත ශිලාවන් සහ ප්‍රපාතාකාර කඳු බෑවුම් ඇති බැවින් ඔබ පරිස්සම් නොවුණහොත්, ප්‍රපාතයට ඇද වැටෙනු ඇත. වැඩි යමක් එහි නොතිබුනද කටු පඳුරුව වලින් පොළොව පිරී තිබුණි.ගුවන අඳුරු පැහැ වූ අතර පැහැදිලිව කිසිවක් දැකගැනීම අපහසු විය, එහෙයින් බොහෝ වේලාවක් එහි ඇවිද ගොස් භූමිය ලෙයින් පෙඟී ගිය පසු එය කටු පඳුරු සහිත විශාල භූමි ප්‍රදේශයක් බව වටහා ගැනීමට ඔවුනට හැකි විය.
ගමන ආරම්භ කර හෝරා භාගයක් යන්නටත් මත්තෙන් ලුණු සහ විනාකිරි රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීය.
ඒ අතරතුර ෂුවැන්ජිව දුටු ජොං මින් යෑන් හට මෙසේ පවසා සිටිය නොහැකි විය, " හේ, ඔබ සත්‍ය වශයෙන්ම අභ්‍යන්තර සටන් කලාවන් දන්නේ නැත්ද? මට බොහෝම වෙහෙසයි!"
ෂුවැන්ජි තම හිස සැලුවේ එය පිළිගන්නවාද නැත්ද යන්න නොදැනය. ඇය කතා කිරීමටවත් නොහැකි තරම් වෙහෙස පත්ව ඇති බව පෙනෙන්නට තිබුණි.
"ඉන්න! ඒ දෙසට යන්න එපා!" ෂුවැන්ජි කටු පඳුරු මතට හේත්තු වනු දුටු ජොං මින් යෑන් කඩිමුඩියේ තම දෑත් දිගු කර ඈව අල්ලාගත්තේය. "ඔබේ ශාරීරික ශක්තිය සාමාන්‍ය පුද්ගලයෙක්ටත් වඩා දුර්වලයි!"
ඇය කිසිදු හැඟීමකින් තොරව ඉහල බැලුවාය, ඒ වන විට චන්ද්‍රලෝකය මිහිදුමෙන් වැසී ගොස් තිබුණි, එසේම ඇගේ මුහුණද ඝණ නූල් ආස්තරයකින් වැසී ගියාක් මෙන් බොඳව ගොස් තිබුනි. අදහාගත නොහැකි ලෙස දීප්තිමත් වූද ඉතා පැහැදිලි වූද දෑස් පමණක් පෙනෙන්නට විය, ඇතුළත තුෂර රැඳී තිබෙනු පැහැදිලිව පෙණුනි, ඈ සාමන්‍ය චූ ෂුවැන්ජි මෙන් නොවීය.
එය දුටු ජොං මින් යෑන් තිගැස්සුණි, ඈ වෙත සමීප වූ ඔහු ඇගේ නළලත මෘදුව ස්පර්ශ කළේය, ඔහුගේ මුහුණේ පැහැය වෙනස් වුණි, "ඔබට උණ."
ෂුවැන්ජි තමා විසින්ම තම නළලත ස්පර්ෂ කරගෙන මෙසේ මුමුණන්නට වූවාය, "මට... මට වෙහෙසක් දැණුනා පමණයි...මට ආශ්වාස ප්‍රශ්වාස කරන්න අපහසුයි... ඒ උණ රෝගයේ ලක්ෂණද?"
පෙරදී ඈ ජල පහරින් තෙත්වූ ආකාරය ජොං මින් යෑන් හට සිහි විය. අපි සියල්ලන්ම ධ්‍යානවේදීන්, අපේ සිරුරු සාමාන්‍ය මනුෂ්‍යයින්ට වඩා ශක්තිමත්, ඒ නිසා කිසිවෙක් ඒ පිළිබඳව සැලකිලිමත් වුණේ නැහැ. නමුත් ෂුවැන්ජි ඊට වඩා වෙනස් ය. අර්ධ බුද්ධියක් ඇති ඈ හට හෘත් ශිල්පය පවා සම්පූර්ණයෙන් මතකයේ තබා ගැනීමට නොහැක, පෙරදී ,ඇගේ තෙත්වූ ඇඳුම් මාරු කෙරුණේ බොහෝ වෙලාවක් ගතවූ පසුවය.
"ඔබට මෙය සිදු කළ නොහැකියි!" ඔහු හදිසියේම පැවසුවේය, "අපි ආපසු යමු! අසුරයන් දමනය සෙල්ලමක් නෙවෙයි. ඔබ ඉතා දුර්වලයි, ඔබට තුවාල වුණොත්?"
ෂුවෑන්ජි කිසිවක් පැවසුවේ නැත.
ෂුවැන්ජිගේ සුදුමැලිව ගිය මුහුණ දුටු චූ යිං හොං වහාම තම දෑත් ඔසවා ඇගේ හිස පිරිමදින්නට වූවාය, "මේ දැරිය අසනීපෙන්! ප්‍රධානීතුමා, අපි ඇයව ආපසු පිටත් කර හරිමු?" ඇය කනස්සලුසහගත ලෙස පැවසුවාය.
පරක්තෙරක් නොපෙනෙන කඳු මුදුන දෙස බැලූ චූ ලෙයි මෙසේ විමසුවේය, "අප තව කොපමණ දුරක් යායූතුද?"
පෙරමුනේ සිටි දඩයක්කරු පිළිතුරු ලබා දුන්නේය, "ආසන්නයට පැමිණිලා සිටින්නේ, මේ බෑවුම තරණය කළ පසු, ඉදිරියයේ විශාල පොකුණක් තිබෙනවා."
සුසුම්ලූ චූ ලෙයි, ෂුවැන්ජී දෙස බැලුවේ තම දෑස් නින්දාත්මක බවකින් මෙන්ම සෙනෙහසින්ද පුරවා ගනිමිනි. මෙම කුඩා දැරිය අවසානයේදී, තම සුපුරුදු අලසබවෙහි සහ පුහුණුව මද බවෙහි අයහපත් ප්‍රතිවිපාක පෙන්වා දී ඇත්තේ මෙවන් අසීරු අවස්ථාවකදී අනෙක් අයගේ ගමනද පමා කරවමිනි. ඇය ආපසු එන ගමනේදී කිසියම් අසුරයෙකු මුණගැහුණොත් ඇයට මිය යාමට සිදුවනු ඇත.
ඔහු ඈගේ කනට මෙසේ කොඳුරන්නට විය, "ෂුවැන්ජි, මෙතන ඉන්න, අපි ඉක්මනින් නැවත පැමිණෙන්නම්."
හිස සැලූ ඈ පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළාය, නමුත් ඒ අතරතුර ඈ හට ඇසුණේ ජොං මින් යෑන් ගේ හඬයි, "ඒ දෙසට යන්න එපා!"
ඇගේ මුව ගොළුව ගිය අතර යටි පතුලෙන් තියුණු වේදනාවක් දැනුණි, ඇය කටු පඳුරක් මත පා තබා තිබුණි.
ඇගේ යටිපතුලෙහි වූ තුවාලය කෑ ගසා හැඬීමට තරම් වේදනාකාරී එකක් විය.
"ඔබේ පාවහන් ඉවත් කරන්න." චූ ලෙයි පැවසුවේ කුඩා දැරිය තම දෑතට ගන්නා අතරතුරේදී ඈ වෙත රවමිනි.
ෂුවැන්ජිගේ මුහුණ හැකිලී ගොස් තිබුණි, නමුත් ඇය සත්‍ය වශයෙන්ම අද දින අවාසනව ගෙනෙන තරකාවේ ග්‍රහණයට ලක්ව සිටියාය. පා වහන් ගැලවූ ඈ තම පාදය එසවූවාය.
ඇගේ තුවාලය පරීක්ෂා කළ නිකාය ප්‍රධානීතුමා, ඉණ පසුපස වූ හම් බෑගයෙන් දිගු , සිහින් කුඩා අඬුවක් පිටතට ගත්තේය.
ෂුවැන්ජි හට හැකි වූයේ තම හිස සැළීමට පමණි, පියාණන් නිවැරදිය, කිසිවක් නොදැනසිටි ඈ සියල්ල පමා කිරීමෙහි ලා හැර වෙන කිසිවක් කෙරෙහි දක්ෂතාවක් නැත.
හැරී බැලූ ඈ හට දක්නට ලැබුණේ තමාට පිටුපසින් සිටගෙන සිටින ජොං මින් යෑන් සහ යූ ස' ෆං වය, ඇය මෙසේ කොඳුරන්නට වූවාය, "මට සමාවෙන්න... මම සෑමවිටම ඔබලාට කරදරයක් වෙනවා."
මහ හඬින් සුසුම් පිට කළ ජොං මින් යෑන් පහත් හඬින් මෙලෙස මුමුණන්නට වූයේ එතැන චූ ලෙයි සිටි හෙයිනි, "ඔබත් දන්නවා ඔබ කරදරයක් බව..."
යටි පතුලෙහි වූ කටුව ඉවතට ගත් චූ යිං හොං ෂුවැන්ජිගේ තුවාල වූ ස්ථානයෙහි ඖෂධ ගල්වා තම අත් ලේන්සුවෙන් තද වන සේ ඔතා මෙසේ පැවසුවාය, " ෂුවැන්ජි හට ඇවිදීමට නොහැකිවේයැයි බියක් මට තිබෙනවා, එම නිසා ඇයව ඔසවා ගෙන යාමට අයෙක් සොයාගත යුතුයි."
"මම එය සිදුකරන්නම්." චූ ලෙයි පවසා සිටියේය.
චූ යිං හොං තම හිසවනා එය ප්‍රතික්ෂේප කළාය, "නැහැ. අප තිදෙනාගෙන් කාටවත් ඇයව ඔසවාගෙන යා නොහැකියි. අසුරයා ඕනෑම මොහොතක පිටතට පැමිණිය හැකියි, එබැවින් අපේ අවධානය වෙනතකට යෙදවිය නොහැකියි."
චූ යිං හොං පිටුපස හැරී මින් යෑන් හට අත වැනුවාය, "මින් යෑන්, ඔබේ කුඩා නැගණිය ඔසවාගෙන යන්න. පොකුණ ආසන්නයට ගිය පසු, ඔබලාගේ වටපිටාව පිළිබඳව අපි විමසිල්ලෙන් පසුවෙන්නම්. මට බියක් දැනනවා රුධිරයේ සුවඳට ප්‍රහාරයක් ඇදී එයිද කියලා."
එය සිදුකිරීමට තමා අකමැති බව සියවතාවක් පමණ තමාටම පවසා ගත්තද, ප්‍රධානීතුමා පැවසූ දෙයකට විරුද්ධව කටයුතු කිරීම පහසු කාරණාවක් නොවේ, එම නිසා ඔහුට හැකිවුණේ ඉදිරියට පැමිණ ෂුවැන්ජිව තම පිටට ගෙන මෙලෙස මිමිණීම පමණි, "මෙයනම් සත්‍ය වශයෙන්ම කරදරයක්, කෙතරම් විශිෂ්ටද!"
ෂුවැන්ජි තුවාල ලබා තිබූ අතර උණ රෝගයෙන්ද පෙළුණි, එනිසා තවත් දුර්වල වූ ඈ ඔහුගේ පිටට හේත්තු වූවාය. ඔහුගේ මැසිවිලි කනවැකුණු වහාම ෂුවැන්ජි, "මගේ වරද... මීළඟ වතාවේදී, මම යහපත් අයෙක් මෙන් තානායමට වී ඉන්නම්." යැයි පැවසුවාය.
ජොං මින් යෑන්ගේ චිත්ත ස්වභාවය පිටතින් ශක්තිමත් වූත් ඇතුලාන්තයෙන් දුර්වල වූත් එකක් විය. ඇයට සවන්දෙමින්, තම මැසිවිලි නැගීම තව දුරටත් කළ නොහකි හෙයින්, ඔහු මෙසේ මුමුණන්නට විය, "නැවතත් මීලඟ වතාවක් පැමිණෙන්නේ නැහැ!අනාගතයේදී මම ඔබව පිටතට රැගෙන යන්නේ නැහැ."
ෂුවැන්ජි නිහඬ වූවාය.
ජොං මින් යෑන්ගේ පිටට හේත්තු වී ඔහුගේ පියවරෙහි මෘදු නැගීම් සහ බැසීම් අනුගමනය කරද්දී, ඇගේ හදවතට හදිසියේම බොහෝ දෑ සිහිපත් විය.
පුහුණුවීම් කිරීමට සෑමවිටම අකමැති වූ ඈ, සටන් කලාව පුහුණුවීමෙහි හෝ ධ්‍යානවැඩීම කෙරෙහිද දැක්වූයේ මහත් අලස බවකි, ඈ සිතුවේ එය අනුවණ ක්‍රියාවක් බවය. එමෙන්ම තමා සදාකාලිකවම ෂාඕයැන්ග් කඳු මුදුනට වී සිටින බවත්, පිටත හරඹයන් කිසිදා නොබලන්නටත්.තම නිවස කිසිදා හැර නොයන්නටත් සිතා සිටියාය.මෙවර මෙන් කිසියම් හේතුවකට හෝ හේතු කිහිපයකට ෂාඕයැන්ග් සෙවනත් තම දෙමාපියන්ගේ රැකවරණයත් හැරදා යාමට සිදුවේයැයි ඈ කිසිව්ටෙකත් සිතුවේ නැත.
තමා කිසි ඵලක් නැති, කරදරකාරී අයෙක් බවත් පැවැත්ම සඳහා යැපෙන සියල්ලම අතැර දමන අයෙකු බවත් ඈ වටහා ගනිමින් සිටියාය. ඇය මුසාවෙන් ජීවත් වීමට පුරුදුව සිටියාය, එමෙන්ම තමාට තමාව හසුරුවා ගැනීමට හැකි බව පැවසීමට ඈ පුරුදුව සිටියාය. නමුත් දැන්? ඇයට සත්‍ය වශයෙන්ම තමාව රැක ගත හැකිද?
අහ්... ඈ හදවතින්ම සුසුම්ලන්නට වූවාය.
අලස වීමත් තමාවම රැක ගැනීමත් එකවර කරන්නේ කෙසේද?
එය බරපතල ගැටළුවක් විය, ඇය ඒ පිලිබඳව බොහෝ වේලාවක් කල්පනාවෙහි යෙදුණත් පිලිතුරක් සොයාගැනීමට නොහැකි විය.
දීප්තිමත් චන්ද්‍රයා දෙස බැලූ ෂුවැන්ජි හට පළමුවරට ව්‍යාකූල බවක් දැණුනි. සෑමකෙනෙකුටම තමාගේම ලුහුබැඳීම් ඇත. පියාණන්ට අවශ්‍යව ඇත්තේ අමරණීයයෙකු වීමට, ලින්ග් ලොං හට අවශ්‍යව ඇත්තේ ෂාඕයැන්ග් පාලනය කිරීමට, ජොං මින් යෑන්ට අවශ්‍යව ඇත්තේ තම පියාණන් විසින් ඔහුව පිළිගැනීමට... නමුත් ඈ පිලිබඳව කුමක්ද? ඇයට අවශ්‍යව ඇත්තේ කුමක්ද?
ඒ පිලිබඳව ඇයවත් දැන සිටියේ නැත.
*********************
[1] ෂ්‍යාං සු (Xiāng sū / 香酥) : මෙහි Xiāng යන්න මනා සුවඳැති ලෙසත් sū යන්න හැපෙනසුළු ලෙසත් පරිවර්තනයට නැගිය හැකිය. තනි වචනය ගත් කළ මෘදු විස්කෝතුව හෝ මෘදු පිටි ආහාරය ලෙස පෙන්වා දිය හැක. එය සත්‍ය වශයෙන්ම ආහාර එකතු කරන තාක්කල් සුගන්ධය ගෙන දෙන්නකි.
Comments
Post a Comment