11) අසුරයා අල්ලා ගැනීම [2]
ඔහුගේ පිට මත සිටි තරුණිය කෙමෙන් නිදිදෙව්දුව වැළැඳගන්නට වූවාය, ප්‍රිය උපදවන නාසයක්ද සාමකාමි මුහුණක්ද ඈ වෙතින් දිස් විය.
ඔහු සෑම විටම බොහෝ උඩඟු අයෙක් විය, නමුත් ෂාඕයැන්ග් නිකාය සිසුන් අතුරින් ලාබාලම තැන්ත්තා වූයේත් ඔහුයි, එම නිසා ඔහු තමන්ගේ උපරිමයෙන් උත්සාහ කළද තමාට වඩා ඉහල සහෝදර ශිෂ්‍යයන්ට අභිබවා යෑමට නොහැකි විය. පුෂ්ප පළඳනා තරඟාවලියෙහි අසුරයන් දඩයමට තමාට සහභාගී වීමට හැකි වීම පිළිබඳ ඔහු මහත් සතුටකින් පසුවුණි, එමෙන්ම තම ඇදුරුතුමාගේ සිත දිනා ගැනීමටත් තම දස්කම් හොඳින් විදහා දැක්වීමටත් මෙය අවස්ථාවක් කරගැනීමට ඔහු අධිෂ්ඨාන කරගෙන සිටියේය.
අවසානයේදී, ඔහුට ඒ වෙනුවට සිදු වූයේ වෙනත් අයකුව පිට තබාගෙන යාමට සිදුවීමයි, ඔහු ෂුවැන්ජි දෙස බැලුවේය, පුමුදිත වූ ඇගේ මුහුණෙහි ඇසි පිය චලනය වනු පෙණුනේ ඇය දකින සිහිනය කුමක්ද යන්න කිසිදු ඉඟියක් හෝ ලබා නොදෙමිණි. නමුත් මෙම පුද්ගලයා ලින්ග් ලොං වූයේ නම් එය හාත්පසින්ම වෙනස් වනු ඇත. සමහරවිට ඔහුට තම අසිපත ලින්ග් ලොංගේ අසිපත හා මුසු කර එක්ව අසුරයන්ට එරෙහිව සටනෙහි යෙදීමට ඉඩ ලැබෙනු ඇත.
ඇදුරුතුමා එහි ෂුවැන්ජිගේ නාමය ලිවීමට පැවසුවේ මන්ද? තෝරාගත් තැනැත්තා ලෙස ෂුවැන්ජි වැනි ඵලක් නැති අයෙක් සුදුසුකම් ලැබුවේ කෙසේද?
ඔහු සෑම විටම ඈ හට සැලකුවේ අවමන්සහගත ලෙසය, නමුත් දැන් ඔහුගේ හැඟීම් අනුකම්පාව සහ නිර්වචනය කළ නොහැකි තවත් හැඟීම් සමුදායක එකතුවක් විය. ඇය තුවාල වූ පරෙවියෙකු මෙන් විය, මෘදු සහ උණුසුම් ය, කිසිදු වචනයක් වත් පැවසිය නොහැකි තරමට නිහඬව ඔහුගේ පිටට හේත්තු වී සිටින්නීය.
ලින්ග් ලොං... ලින්ග් ලොං විශිෂ්ටයි. අසුරයන් දමනයට පැමිණියේ නැතිනම් ෂාඕයැන්ග් කඳුමුදුනෙහිදීම ඇය කෝප වනු ඇත. ඇගේ දීප්තිමත් මුහුණුවර හමුවේ තම සිනහව නවතාගත නොහැකි වූ හෙතෙම සන්සුන් වී පීඩිත තත්වයෙන් මිදී ඇති බවක් පෙනෙන්නට තිබුණි.
එසේ සිතනා අතරතුරේදී ඔහුට ක්ෂණිකව තියුණු සුළං පහරක හඬක් ඉහළින් ඇසුණු අතර ශාක පත්‍රයන් ගසාගෙන යන අතරතුරේදී සඳ එළියද ක්ෂණයෙන් නැතිවී යන ආකාරය දක්නට ලැබුණි.
"සුබ ලකුණක් නොවේ" චූ ලෙයි පහත් හඬින් කෑ ගසන්නට විය, ඔහු සටන් සියගණනකට සහභාගී වී අත්දැකීම් ඇති අයෙකි, ක්ෂණිකව අතග හැරවූ ඔහුගේ අත් සළුවෙන් රත් පැහැ ආලෝකයක් දිස් වුණි,එය වේගයෙන් දැල්වී, තියුණු ශබ්දයක් නිකුත් කර චණ්ඩ ලෙස පලා ගියේය. දැකගත හකි එකම දෙය වූයේ ප්‍රදීප්ත ආලෝකමගක් ඉතිරිකරමින් වාතය හරහා ගමන් කරන රත් පැහැ ආලෝක ධාරාවක් පමණි.
ඒ ඔහු විසින් ඇති කරන ලද 'රත් ලුඅ'න්' නම් ආධ්‍යාත්මික සත්වයෙකි, හුඕෂන් කඳුකරයේ ඇති ආධ්‍යාත්මික උල්පත් දිය සහ කුන්ලුන් කඳුකරයේ ඇති ජේඩ් අතු සහ පලතුරු ලබා දී පෝෂණය කිරීමෙන් සාමාන්‍ය අසුරයන් හීලෑ කරගැනීමේ හැකියාව ෂාඕයැන්ග් කඳුකරයේ පුද්ගලයින් සතු විය,එම අසුරයන් ආධ්‍යාත්මික ශක්තියක් බවට පරිවර්තනය කර පාලනය කිරීමට එමගින් හැකි විය.
චූ ලෙයි ගේ 'රත් ලුඅ'න් ' විසිවසරකටත් වඩා කාලයක් මුලුල්ලේ ඇති දැඩි කරන්නෙකි, එමෙන්ම ඔහු ඉතා දරුණුය. චූ ලෙයි ගේ අත් සළු අතරින් පිටතට පැමිණි ඔහු ශෝකජනක විලාපයක් නැගුවේය. සෑම දෙනාම දුටු පරිදි එම රක්ත වර්ණ ආලෝකය, කාල වර්ණ සෙවණලි සමූහයකට පහර දීමට ගුවනට විදින්නට විය. ගැටුම් ද්විත්වයක් අවසානයේදී, ඒවා ඇසි පිය සලන සැණෙකින් අතුරුදන් වී ගියේය.
ජොං මින් යෑන් තවමත් අසිහියෙන් මෙන් බලා සිටියදී කිසිවෙක් ඔහුගේ සිහි කැඳවීය, : "ඉක්මන් කරන්න! ඔබලා දෙදෙනා ෂුවැන්ජිව රැගෙන ඉදිරියේ ඇති ලෙණ තුලට ගොස් සැඟවෙන්න!"
තුෂ්ණීම්භූතව සිටි ජොං මින් යෑන් හට අවබෝධ වූයේ අසුරයා මතුව ඇති බවයි. ලෙන, පියවර කිහිපයක් ඉදිරියේ ඇති බව දුටු ඔහු, වැඩිදුර නොසිතාම ෂුවැන්ජිව පිට තබාගෙන එදෙසට දුව යන්නට විය. ෂුවැන්ජිව බිමින් හිඳුවා සිදුවන්නට යන්නේ කුමක්දැයි නිරීක්ෂණය කිරීමට සැරසුණු ජොං මින් යෑන් හට දක්නට ලැබුණේ යූ ස' ෆං ලෙනෙහි දොරටුව අසල සිට ඇතුළට දිව එන ආකාරයයි.
"පිටතට යන්න එපා!" ඔහු ගැඹුරු හඬකින් විධාන කළේය.
ජොං මින් යෑන් කෝපයට පත් විය, "මගේ කාර්‍යයන් පිළිබඳව ඔබ වද වීමට අවශ්‍ය නැහැ!" එසේ පැවසීමෙන් අනතුරුව, යූ ස' ෆං ව ඉවතට තල්ලු කළ මින් යෑන් පිටත් වීමට සූදානම් විය. ක්ෂණිකව ඊට මැදිහත් වූ යූ ස' ෆං, මින් යෑන් ගේ ඉණ අකුණක් සේ අල්ලාගෙන,උඩ විසි කර හරවා, නිලස්ථානයක් තම ඇඟිල්ලකින් තද කරන්නට වූයේය.
"මම පැවසුවේ පිටතට නොයන ලෙස!" යූ ස' ෆං ගේ හඬ වඩාත් දැඩිව තිබුණි, "ඔබ ඔවුන්ට ගැලපෙන්නේ නැහැ!"
ජොං මින් යෑන් ඊට පිළිතුරු ලබා දුන්නේ නැත. නිශ්ශබ්දවම තම අනෙක් අතින් සුළු පහරක් ලබා දුන් ඔහු, තම අත පිටුපස වූ යූ ස' ෆං ගේ මැදැඟිල්ලට තට්ටු කර තෙරපීමට සූදානම් වූවා පමණි, ඔහුගේ දෑත අත හැරි යූ ස' ෆං පිටුපසට අඩි කිහිපයක් තැබුවේ විදුලි පහරක් ලද්දාක් මෙනි.
"ෂාඕයැන්ග් ගුරුකුලයේ, දස දහස් අංගුලික කුං ෆු!" ඔහු මදක් විමතියට පත් විය, "ඔබට එය සිදු කළ හැකියි!"
පැවසෙනා ආකාරයට නම් එය පුහුණු වීමේ මාර්ගය ඉතා කටුකය, එහිදී සෑම දිනකම නැවත නැවතත් පැසෙන ජලයේත්, අධික ශීත ජලයේත් පුහුණුවීම් කළ යුතුය. සාමාන්‍ය මිනිසුන් බොහෝ විට එහි හරය නොදනී, එහිදී අත්ලෙහි සම නැවත නැවතත් ගැලවී යාම ආරම්භ වේ, එය ඉතාමත් වේදනාකාරීය. ඔබ වේදනාව කෙරෙහි බියකින් තොරව නැවත නැවතත් පුහුණු කරන්නේ නම් පමණක් විද්‍යුතය තරම් මෘදු වූ මෘදුතා මට්ටමකට ළඟා විය හැකිය.
ඔහු සිතුවේ ජොං මින් යෑන් යනු සාමාන්‍ය ශිෂ්‍යයෙක් බවයි, මෙවන් දෙයක් සිදු කිරීමට තරම් ඔහුට හැකියාවක් ඇති බව යූ ස' ෆං කිසිවිටෙකත් අනුමාන කළේ නැත.
ඔහුට ඇසුණේ ඉරිතැලීම් හඬක් සහ නෙරා ආ පර්වතයක් මෘදු ලෙස ඉරිතලා සුන්බුන් කැබලි කිහිපයක් බිම පතිතවන ආකාරය පමණි.
ඔහු කිසිවක් පැවසුවේ නැත, යූ ස'ෆං දෙස බැලුවා පමණි.
මොහොතකට නිහඬ වූ යූ ස' ෆං තම හඬ නැවතත් අවදි කළේය, "ඇයි ඔබ ඔබගේ ශක්තිය ඔබේ ඇදුරුතුමාට සහය වීම සඳහා ඉතිරිකර නොගන්නේ, මා හා සටන් වැදීම කිසි ඵලක් නැහැ!"
"එසේ නම් මාව නවත්වන්න එපා" ජොං මින් යෑන් රවා බලන්නට වූයේය.
ඊට යූ ස' ෆං මෙසේ පිළිතුරු ලබා දුන්නේය, "මේ මොහොතේ ඔබ පිටතට යාමෙන් සිදුවන යහපත කුමක්ද? එයින් සිදුවන්නේ ඔවුන්ගේ මනස වියවුල් වීම සහ ඔබව ආරක්ෂා කිරීමට යාමේදී ඔවුන්ගේ අවධානය බිඳී යාම පමණයි. අසුරයින් දඩයම් කළ පසු පිටතට යාමෙන් ඔබ ප්‍රමාද වන්නේ නැහැ."
එය පවසා අවසන් වනවාත් සමගම, තියුණු බිරීමක් වැනි හඬක් ලෙන පිටතින් ඇසුණි, එය වසත් සමයේ එක් වූ බළළුන් දහස් ගණනකගේ ශබ්දයක් මෙන් විය, විටෙක සුනඛයන් රෑනක් ලාලනය කරන්නාක් මෙන් විය, තවත් විටෙක රාත්‍රියේ හඬන ළදරුවෙකුගේ හඬක් මෙන් විය. ඉතා ආකර්ෂණීය වූ එම ශබ්දය ප්‍රචණ්ඩකාරී විය, එමෙන්ම මහත් බිය උපදවන්නක් විය.
"ගු රාජාලියා!" හඬ නැගූ යූ ස' ෆං ලෙන් ද්වාරය දෙසට දිව ගියේ පවනක් මෙනි, ඔහුට වඩා දුර්වල වීමට නොසිතූ ජොං මින් යෑන් ද යූ ස'ෆං පිටුපස දිව ගියේය.
කෙසේවෙතත්, ලෙනින් පිටත එකම අග්නි ජාලාවක් විය, උපදෙස් අනුගමනය කළ දඩයක්කරුවන් පන්දම් බොහෝමයක් ලෙන් ද්වාරය ඉදිරිපසට දැමූයේ දරුවන් තිදෙනා අසුර ප්‍රහාරයට ලක් වීම වළක්වා ගැනීමටය. රත් ලුඅ'න් වාතලයේ වූ කාල වර්ණ සෙවනැලි සමූහයක් හඹා යමින් සිටියේය, පහරකෑම් සහ සීරීම් වලට ලක්වූ ඒවායේ කාල වර්ණ පිල් වාතලයට එක්වෙමින් තිබුණි.
යූ ස' ෆං ඉන් එකක් අහුලා ගත්තේය, නමුත් ඔහු දුටු ආකාරයට නම් එම පිලක් සාමාන්‍ය අංගයකට වඩා බොහෝ දැඩිවිය, නාරටිය අඳුරු සහ දීප්තිමත් විය, අධිස්වභාවික දීප්තියක් එහි විය.
ඔහුට මෙසේ පවසා සිටිය නොහැකි විය: "මෙය...! ඌ සම්පූර්ණයෙන්ම පාහේ වර්ධනය වෙලා! කෙතරම් මහළු මනුෂ්‍යයෙක්ද, ගු රාජාලියා! ඌ භයානක වේවි කියලා මට බියක් දැනෙනවා!"
ඒ වන විටත් දැඩි චකිතයකින් පසුවූ ජොං මින් යෑන්, යූ ස' ෆං ගේ ගොතගැසීම ඇසී තවත් කලබල විය, "ඇයි ඔබට හරියාකාරව කතා කරන්න නොහැකි? මට කතා කරලා, අහලා එපා වෙලා!"
ඔවුන් දෙදෙනා සටන මධ්‍යයට වී සිටියේ කිසිදු තීරණයක් ගත නොහැකිවය. කුපිත ව සිටි යූ ස' ෆං හට අවශ්‍ය වූයේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමටයි, නමුත් සත්‍ය වශයෙන්ම ඔහු මධ්‍යම තැනිතලාවෙහි උප භාෂාව චතුරව හසුරුවා නොතිබූ හෙයින් සිදු කළේ ජොං මින් යෑන් වෙත සිනාසීම පමණි.
රත් ලුඅ'න් විශාල ගු රාජාලියා හඹා ගිය අතර මද වේලාවක් හොටෙන් පහර දෙන්නට වූයේය, එනිසා ක්‍රමයෙන් ඌගේ ශක්තිය හීනව ගොස් චලනයන් පෙර පරිදි මෙන් වේගවත් නොවීය. නිසැකවම, ගු දියාඕ මොහොතකින් දෝෂය හඳුනාගෙන ගත්තේය, හදිසියේම අඩි දහයකටත් වඩා දිගු වූ පියාපත් දිගහැරි ඌ එයින් ගුවනත් සඳ එළියත් ආවරණය කළේය. එම පියාපත් හේතුවෙන් රත් ලුඅ'න් හට තව දුරටත් ඒ හා ගනුදෙනු කිරීම අපහසු විය, එය පෙරලීමට පෙර රාජලියාගේ යෝධ ඊ කටු වැනි නිය වලින් ඉලක්ක කරගෙන අල්ලාගන්න ආකාරය දක්නට ලැබුණි.
චූ යිං හොං වහාම කෑ ගසන්නට වූවාය, "නැහැ! ප්‍රධානීතුමා, නැවත එය රැගෙන එන්න !"
රත් ලූඅ'න් ගේ තියුණු කරකැවීමක් හමුවේ, අහම්බෙන් ගැලවී ගිය ඔහුව චූ ලෙයි විසින් නැවත පහර දීමට යොමු කරවූවා පමණි. සියළු දෙනාම සැනසුම් සුසුම් හෙළන්නට වූවත්, ක්ෂණයෙන් ඔවුන්ගේ පිටුපසින් වාධාරාවක ශබ්දයක් ඇසුණි, අඳුරු සෙවණැලි සමූහයක ආක්‍රමණයක් ලන්ද තුලින් එල්ල විය, රාත්‍රිය හේතුවෙන් ඔවුන්ව පැහැදිලිව දැක ගැනීමට නොහැකි වූ අතර, පෙනුණු ආකාරයට නම් උන් දිවියන් තරම් විසල් සත්ව කොට්ඨාශයක් විය. උන්ට පහළින් වූයේ දැඩි මාරුතයකි, සියළු දෙනාගේම අවධානය තමා වෙතට ලබාගනිමින් ඉහළට පැන දැඩි මාරුතය වාසියක් කරගත් උන් රත් ලුඅ'න් ආක්‍රමණය කරන්නට සැරසුණි.
ඒ වන විටත් රත් ලුඅ'න්, ගු රාජාලීන් සමග සටනෙහි නිරතවීමෙහිලා බලවත් පරිශ්‍රමයක් දරමින් සිටියේය. හදිසියේම පිටුපසින් තවත් අසුරයෙකුගේ පහරදීමක් බලාපොරොත්තු වූයේ කවුරුන්ද. පහරදීම වලක්වා ගත නොහැකි වූ අතර බලහත්කාරයෙන් වූ ආක්‍රමණය හමුවේ රත් පැහැ කේශ සමූහයක් බිම පුරා විසිරී ගියේය.
දොං ෆං චිංචි මහත් විමතියට පත් විය, "ඒ තෙංගු! මෙය ඉතා භයානකයි!"
ඔවුන් සැලසුම දියත් කිරීමටත් පෙරම අසුරයන් දෙදෙනා පිටතට පැමිණ ඇත, ලුණු බහාලූ මලු සහ විනාකිරි සියල්ලම පාහේ අපතේ ගොසිනි. පුද්ගලයින් තිදෙනෙකුට අසුරයින් දෙදෙනෙක් දඩයම් කිරීම මදක් අපහසුය, ගු රාජලියා එහි වන විට එය වඩාත්ම අපහසුය...
"යිංහොං!" චූ ලෙයි කෑ ගැසුවේය. ඉතා දක්ෂ තැනැත්තියක වූ චූ යිං හොං හට, ඔහු අදහස් කළ දේ වහාම අවබෝධ විය, ක්ෂණිකව ආපසු හැරුණු ඈ විසිරුණු සුන්බුන් අතරින් විනාකිරි බඳුන් දෙකක් ගෙන එය තෙංගු ගේ හිස දෙසට එල්ල කළාය.
සුළඟෙහි ශබ්දය ඇසුණු වහාම ඌ උඩ පැන්නේය, විනාකිරි බඳුන් පොළොව මතට පතිත වී විශාල ශබ්දයක් නංවමින් බිඳී ගියේය, එයින් නිකුත් වූයේ කටුක ගන්ධයකි. විනාකිරි ගන්ධය හමුවේ තෙංගු ගේ පහර වැලැක්වීමට හැකි විය, විශාල හැඬුම් ශබ්දයකට පසුව තවමත් ආහාරයක් බවට පත් නොවූ රත් ලූඅ'න් උගේ මුවින් පිටතට වැටුණි.
ඉදිරියට පියවරක් තැබූ චූ ලෙයි රත් ලුඅ'න් ව ඩැහැගෙන තම අත් කබාය තුළට යොමු කළේය. නැවත හිස ඔසවා බලන විට දැකගත හැකි වූයේ තෙංගු, චූ යිං හොං හට පහර දෙන ආකාරයයි.
පෙනනා ආකාරයට නම් මෙම තෙංගු තරුණ වියෙහි පසුවන්නේය, උගේ හිසකෙස් තවමත් පඬුපැහැයක් ගන්නා අතර දත් විලිස්සාගෙන සිටිනු දක්නට ලැබුණි, එමෙන්ම උගේ ස්වරූපය දිවියෙකු මෙන් විය. ගු රාජාලියාට පෙර උගේ හදිසි ප්‍රහාරය දුටු චූ යිං හොං වහාම පසෙකට වී තමා අත තිබුණු විනාකිරි බඳුණ ඌ දෙසට විසි කළාය.
මෙය කෙතරම් බලවත් දැයි දැන සිටි තෙංගු වහාම පසෙකට විය. උගේ පාද අබියස බිඳී ගිය වයින් බඳුන හමුවේ ඌ ඉහළට පැන්නේය, අවස්ථාව එනතෙක් බලා සිටි දොං ෆං චිංචි මහා හඬින් සිනාසුණි. "ලොං!" ඔහුගේ දෑත මත වූ අසිපත රජත මකරෙකු මෙන් විය, ක්ෂණිකව විහිදුණු එහි ප්‍රහාරය ගුවනේදී වළක්වා ගැනීමට තෙංගු අසමත් වුණි, අනපේක්ෂිත අසිපත් ප්‍රහාරය හමුවේ විලාප තබමින් බිමට ඇද වැටුණි.
ඒ වන විටත් විනාකිරි බඳුනක් ඔසවා ගෙන අවස්ථාව එනතෙක් බලා සිටි චූ ලෙයි, තෙංගු බිම පතිත වනු දුටු වහාම බඳුනේ වැස්ම විවෘත කළේය.
නුපුරුදු ගෙරවුම් හඬක් නිකුත් කළ තෙංගු නිහඬම පොළොව මත පතිත වුණි, උගේ පාදයන් දෙවරක් ඇඹරී ගොස් තිබූ අතර තව දුරටත් චලනය වීමේ හැකියාවක් නොවීය.
ඔවුන් තිදෙනාම අතිශයින් සතුටට පත් විය. මෙම ක්‍රියා මාලාව ගත් කළ අකුණු සැරයන් සහ ගිනිගල් ලෙස විස්තර කළ හැකිය, සමායෝජනය බාධාවකින් තොරය, සටන මධ්‍යයේදී යමක් වැරදී ගියේ නම්, චූ යිං හොං බරපතල ලෙස තුවාල ලබන බව නිසැකය.
වාතලයේ සිට ළදරුවෙකු මෙන් හඬනා ගු රාජාලියා දෙස තිදෙනා හිස ඔසවා බැලූවේ ඉන් පසුවය.
තෙංගු තවමත් කුඩා ගැටළුවකි, වඩාත්ම වැදගත් දෙය නම් ඉහළට නැගි මෙම ගු රාජාලියා සමග ගනුදෙනු කරන්නේ කෙසේද යන්නයි?
Comments
Post a Comment