14) අසුරයාගේ සෙවණැල්ල

සිදු වූ සියල්ල පිළිබඳව ෂුවැන්ජි දැන සිටියේ නැත.

ඇය සිටියේ අද්භූත සිහිනයක් දකිමිනි, සෑම දෙයක්ම ඝන වැස්මකින් වැසී ඇති බවක් පෙණුනේ ඇයට පැහැදිලි දර්ශනයක් ලබාදීම වළකාලමිනි. ආසන්නව, ඇය සිටියේ ගංගාවක් අසලය, ගං ඉවුර දිගේ රුධිරය මෙන් රක්ත වර්ණ පුෂ්ප ආස්ථරයන් විය.

ඇය එය නෙලා ගැනීමට දෑත දිගු කර එය තලා දැමූ අතර, රුධිරය වන් වූ දියරයක් තම අත්ලෙන් පොළොවට වැටී ගලා යන අයුරු ඈ බලා සිටියාය, ඇගේ හදවතට දැනුනේ ප්‍රකාශ කළ නොහැකි තරමේ ආනන්දයක් සහ හුරුපුරුදු හැඟීමකි.

එක්වරම අයෙක් ඇය අසලින් හිඳ ගන්නට වූයේය, "ෂුවැන්ජි, ඔබට දැන් වැටහුණාද?"

වටහාගන්නේ කුමක්ද? ඇය සිටින්නේ ව්‍යාකූලවය.

"ඔබට බැලීමට අවශ්‍යද?" ඔහු තවමත් විමසයි.

ඔබ කුමක් දෙසද බලන්නේ? ඇයට තවමත් එය වැටහෙන්නේ නැත.

"මෙවර පමණයි, නැවත කවරදාකවත් නොහැකියි. හොඳින් බලන්න." එම තැනැත්තා පවසා අවසන් වූ පසු, ඔහු කුඩා පාෂාණයක් දියට මුදාහළේය. දිය මතුපිට ක්‍රමයෙන් රැලිති සෑදී, වෘත්තයෙන් වෘත්තයට ගොස් අවසානයේදී එය අසංඛ්‍යාත චලන ප්‍රතිබිම්බ බවට පත් විය.

ඇය සිටියේ කුතුහලයෙනි, එබැවින් ඇයට ඒ දෙස සමීපව බැලීම වළක්වා ගත නොහැකි විය - ඇගේ හදවත හදිසියේම දරුණු ලෙස ස්පන්දනය වූ අතර ඇගේ රුධිරය ඇගේ හිස තුළ කම්පනය විය.

හ්ම්ම්.....එය.....එය? එය!

ඇය විමතියට පත් වූවාය, හුරුපුරුදු මෙන්ම දුරස්ථ හැඟීමක් ඇය තුළට ගලා යන්නට විය, ඇය මහත් උනන්දුවෙන් දෑත දිගු කළේ - යමක් අල්ලා ගැනීමටය!

※※※

ෂුවැන්ජි එසවූ දෑත දුටු ජොං මින් යෑන් තිගැස්සී ගියේය, ඇගේ ඇඟිලි දහයේ ඇඟිලි තුඩු, විනිවිද පෙනෙන තරම් වූත් අපූරු රජත පැහැයක් නිකුත් කරන්නා වූත් පැහැපත් වූ සම, අන්ධකාරයේ රජත පැහැ ආලෝකයක්...?

ඔහුට ඒ පිළිබඳව සිතීමට කාලයක් නොවීය, ඔහු පිටුපසින් වූ ගූ රාජාලියා බියජනක මෙන්ම උද්වේගකර දෙයක් දුටුවාක් මෙන් ගර්ජනා කළ අතර, තම තියුණු හොටෙන් පොළොවට පහර දීමට පෙර මොහොතකට පසුබට විය!

ජොං මින් යෑන් තම දෑස් තදින් වසා ගත්තේය, ඔහුට ඇසුණේ උණ වනාන්තරයක් හරහා ගමන් කරන සුළඟක් වැනි පෙර නොවූ විරූ සුළං හඬක් හෝ වෘක්ෂයක පත්‍ර මතින් යන මෘදු, වේගවත් සුළඟකි.

නිශ්ශබ්දව දෑස් විවර කළ ඔහුට දක්නට ලැබුණේ රජත සෙවනැල්ලක හදිසි චලනයකි, එහි චලනයත් සමගම වේගවත් සුළඟක හඬක් කනවැකුණි. වේගවත් චලනය හේතුවෙන් බැලූ බැල්මට එය ගූ රාජාලියා වටා වූ රජත ආවරණයක් මෙන් විය.

එය කුමක් ද? අසාමාන්‍ය පීඩනයක් නිසා සෙලවිය නොහැකිව ඔහු බියෙන් ඒ දෙස බලා සිටියේය.

රජත සෙවනැලි වලින් වට වී සිටි ගු රාජාලියා එයින් නිදහස් වීමට නිෂ්ඵල උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්නට තිබුණි. රජත සෙවනැල්ල තද වන විට, ගු රාජාලියාට චලනය වීමට නොහැකි වූ අතර, කුඩා ස්පර්ශයකින් වුව උගේ ශරීරය වෙව්ලන්නට විය.

ගූ රාජාලියාගේ දෑස්වල බිය තමන් දකින්නේදැයි ජොං මින් යෑන්ට විශ්වාසයක් නොමැති හෙයකි. නමුත් ෂුවැන්ජිගේ රජත පැහැ හස්තය හදිසියේම ගුහාව තුළ දීප්තියෙන් බැබළෙන විට ඔහු විමතියට පත් විය. ඔහුගේ දෑස් වලට තියුණු වේදනාවක් දැනුණු හෙයින් ඔහු ඉක්මනින්ම ඒවා වසා ගත්තේය.

ඔහුට ඇසුනේ ඝෝෂාකාරී ශබ්ද දෙකක් පමණි, එක්වරම ඔහුගේ පිටෙහි රත් වූ යමක් වැදී, ඔහුගේ කොඳු ඇට පෙළ දිගේ වෙව්ලීමක් පැතිරුණි.

පසුව එතැන පැතිරුණේ නිශ්ශබ්දතාවයකි, සම්පූර්ණ නිශ්ශබ්දතාවයකි.

ජොං මින් යෑන් තවත් කිසිදු ශබ්දයක් නොඅසමින් බොහෝ වේලාවක් බලා සිටියේය, ඔහු දෑස් විවර කලේ දෙගිඩියාවකිනි. ෂුවැන්ජිගේ මුහුණ තව දුරටත් සුදුමැලි හෝ රක්ත වර්ණ නොවීය, එය සාමාන්‍ය වර්ණයට නැවත පැමිණ තිබුණි.

නමුත් ඔහුට දැණුනු එකම දේ බිය පමණි.

එය කුමක්ද? එය කුමක් ද? ගූ රාජාලියා කොහිද? හදිසියේම ආපසු හැරී බැලූ ඔහුට දක්නට ලැබුණේ, මාර්ගයේ දෙබල හිස් බවත්, යෝධ ගු රාජාලියා අවකාශය තුළ අතුරුදන්ව ගොස් ඇති බවත්! ඉතිරි වී තිබුණේ පොළොව පුරා නිමක් නැතිව පැතිර තිබූ කාල වර්ණ රුධිරය පමණි, දැන් එය කාල වර්ණ සිහිනයක් මෙනි.

ඔහු විශාල රුධිර පැල්ලම් දෙස බලා සිටියේ, දැනෙන්නේ කුමක්දැයි නොදැන, ගොළු වය.

එය කුමක් ද? ෂුවැන්ජි යනු කවුරුන්ද?

ඔහු අවසන් වරට දුටුවේ බිම වැතිර සිටින ෂුවැන්ජිව ය, ඇගේ මුහුණ රත් පැහැව ගොස් ඇය සුන්දර සිහිනයක ගිලී සිටියාය, ඇගේ මුව අග සුන්දර ලෙස ඉහළට එසැවී තිබුණි. කෙසේ වෙතත් එම අහිංසක සිනහව තුල නිමක් නැති ඝාතක චේතනාවක් ඇති බව ඔහුට දැනුනි.

එක්වරම ඔහුගේ දෑස් ඉදිරිපිට කාල වර්ණව ගිය විට, තවත් දරාගත නොහැකි වූ ඔහු ඇද වැටුණි. ඔහුගේ සවනට යාන්තමින් චූ ලෙයි ගේ කෑගැසීම ඇසෙන්නට විය, තම තොල් සෙලවූ නමුදු ඔහුට ශබ්දයක් නැගීමට නොහැකි වුණි, පසුව ඔහු සම්පූර්ණයෙන්ම සිහි මූර්ජා තත්වයට පත් විය.

**※※

නැවත අවදි වන විට, ඔහු ඒ වන විටත් සිටියේ තානායමේ ය .. තම මුළු ශරීරයම උණුසුම් ජලයෙන්, උණුසුම් ලෙස තවා ඇති බවක් ජොං මින් යෑන් හට දැනුණි, ඔහු සිහින් හඬින් කෙඳිරිගාන්නට වූයේය. ඔහුට පිටුපසින් සිටි අයෙක් "සෙලවන්න එපා" යැයි රහසින් පවසන්නට විය.

ක්ෂණයෙන් දෑස් විවර කර බැලූ ඔහුට දැක ගත හැකි වූයේ තමා උඩු කබායක් පමණක් හැඳ එරමිණිය ගොතා අසුන් ගෙන සිටිනා ආකාරයයි. තමාට පිටුපසින් තම වස්ත්‍රයට එරෙහිව අත්ලක් ඇති බවක් පෙනෙන්නට තිබුණු අතර අත්ලෙන් උණුසුම් ස්පර්ශයක් ගලා එන්නට විය.

දුර්වල ලෙස ඇසි පිය හෙළූ ඔහු මෙලෙස මිමිණීය, "ඇදුරුතුමණි... මම..."

තම චී ශක්තිය ඔහුගේ ශරීරය පුරාවටම ලබා දීමෙන් අනතුරුව ඔහුගේ සංකූල වූ කණ්ඩරාවන් සහ ශිරාවන් සෘජු වන තුරුම චූ ලෙයි කිසිදු වදනක් හෝ පැවසුවේ නැත. බොහෝ වේලාවකට පසු ඔහු මෙලෙස පැවසුවේය "මම ප්‍රමාද වුණා. මම ඔබලාව සොයාගන්නා විට ඔබ තිදෙනාම රුධිරයෙන් නැහැවී ගොස් සිහි මූර්ජා වී සිටියේ. භාග්‍යයකට මෙන්, ඔබට සහ ස' ෆං ට බරපතල තුවාල සිදුවී නැහැ."

ජොං මින් යෑන් තවමත් සිටියේ ව්‍යාකූලවය, ඔහු නොදැනුවත්වම මෙසේ විමසීය, "ෂුවැන්ජි කොහිද?"

මෙම වදන් ද්විත්වය පැවසීමත් සමඟම, ගුහාවේදී ලද අත්දැකීම් විද්‍යුත් කම්පනයක් මෙන් හදිසියේම ඔහුගේ මනස පුරා මතු විය: රජත ආලෝකය, සෑම තැනකම වූ රුධිරය සහ ෂුවැන්ජිගේ මුහුණෙහි වූ තෘප්තිමත් සිනහව.

භයංකාරයි! තත්වය කෙතරම් අසාමාන්‍යද යත්, දැන් ඒ පිළිබඳව සිතීම පවා බියක් ගෙන දෙන්නේය.

ඔහු වෙව්ලන්නට විය: "ඇදුරුතුමනි... ෂුවැන්ජි... ඇය... හොඳින්ද?"

චූ ලෙයි හුන් තැනින් නැඟිට කවුළුව අසලට ගොස් බොහෝ වේලාවක් නිහඬව සිට මෙසේ පැවසුවේය "ඇය සුවෙන්, ඇගේ උණ තත්වය පහව ගිහින්. ඇය විනාඩි කිහිපයකින් අවදි වන බව වෙදැදුරු පැවසුවා."

පසුව, අවිනිශ්චිත තත්වයක පසු වූ ඔහු මුමුණන්නට වූයේය, "මින් යෑන්, ගුහාවේදී සිදු වූයේ කුමක්ද?"

ඔහු විමසන ආකරය ශ්‍රවණය වුණු ජොං මින් යෑන් වෙව්ලන්නට විය, ඔහුට වදනක් හෝ පිට කිරීමට නොහැකි විය.

චූ ලෙයි නැවතත් පැවසුවේය, "මම පැමිණෙන විට ගු රාජාලියාගේ සලකුණක්වත් තිබුණේ නැහැ. ඔබ සියළු දෙනා රුධිරයෙන් නැහැවී සිටින ආකාරය දුටු විට මම සිතුවේ ඔබලාට අසාධ්‍ය වන තරමටම තුවාල සිදුවී ඇති බව, නමුත් දැන් පෙනෙනා ආකාරයට නම් ඒ රුධිරය ඔබලාගේ නොවෙයි... මින් යෑන්, කුමක්ද සිදුවුණේ? ගු රාජාලියා කොහිද?"

ජොං මින් යෑන් හිස සලමින් අසුන්ගෙන කල්පනා කරන්නට වූයේ ෂුවැන්ජි හට සිදු වූ දෙය තමා ඔහුට පැවසිය යුතුද නැතිද යන වගයි. බොහෝ වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව ඔහු දත්මිටි කමින් හිස වැනුවේය. "ඇදුරුතුමනි... මම ස'ෆං සමග එක්ව ගූ රාජාලියාට එරෙහිව සටන් කළා, නමුත් අප ඌට ගැලපෙන්නේ නැහැ. පසුව ශක්තිය හීන වීම නිසා මම සිහි මූර්ජා වුණා. සිදුවුණේ කුමක්ද කියා මම දන්නේ නැහැ."

ඔහුව අවිශ්වාස නොකළ චූ ලෙයි, සුසුමක් හෙළා, ඔහුගේ උරහිසට තට්ටු කර, "ඔබ හොඳින් සිදුකළා, නමුත් ඔබ තවමත් මගේ ශිෂ්‍යයෙක්!" යැයි පැවසීය.

ජොං මින් යෑන් තිගැස්සී ගියේය. ඔහු තම ඇදුරුතුමාගෙන් මෙවන් පැසසුමක් ලද පළමු අවස්ථාව එයයි, සිනහවකින් මුව පුරවා ගත් ඔහු තම නාසය පිරිමැද්දේය.

"ස'ෆං අවදි වෙලා, දැන් චු යිං හොං සහ දීප ප්‍රධානීතුමා සමග පහළ මාලයේ ඉන්නවා. ඔබ පහළට ගිහින් සිදුවුණ දේ ඔවුන්ට පවසන්න."

ජොං මින් යෑන් පහළ මාලයට යාමට එකඟ විය.

ඔහු පහළට යන විට චූ යිං හොං සහ අනෙකුත් අය කොනක අසුන්ගෙන සිටිනු දුටුවේය. යූ ස'ෆං ගේ නළල වටා ශ්වේත වර්ණ රෙදිකඩකින් වෙළුම් යොදා තිබූ අතර, ඔහුගේ වම් බාහුවද පැලැස්තරයකින් වෙළුම් යොදා තිබුණි, ඔහුට දැඩි ලෙස තුවාල වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. ඔහු එනු දුටු යූ ස'ෆං සිනාසෙමින්, "මට පෙනෙනවා, මට දැන් නැගී සිටින්න පුළුවන් වේවි! මම සිතුවේ ඔබ දින දහයක් පමණ නිදාගනීවි කියලා!" යනුවෙන් පැවසීය.

තම හිස සැලූ ජොං මින් යෑන් ඔහුට ඉදිරිපසින් අසුන් ගැනීමට ඇවිද ගියේය, "ෂුවැන්ජි තවම අවදි වුණේ නැතිද?" ඔහු විමසන්නට විය.

යූ ස' ෆං පිළිතුරු ලබා දුණි, "නැහැ. ඔබ නිවැරදියි, ඔව්. ඇය සත්‍යවගයෙන්ම සූකරයෙක්. "

ජොං මින් යෑන් සිනාසුනේ ආයාසයකිනි.

"කෙසේ වෙතත්, මම ඒ වෙලාවේදි සිහි මූර්ජා වුණා. ඉන් පසුව කුමක්ද සිදුවුණේ?"

ජොං මින් යෑන් බොහෝ වේලාවක් කල්පනාවෙහි ගිලී සිටියේය, ඔහු හිස සැලුවා පමණි, "මම දන්නේ නැහැ, මමත් සිහි මූර්ජා වුණා," ඔහු පැවසීය.

චූ යිං හොං සිනාසුණි, "හරි, ඔතරම් අප්‍රාණික වෙන්න එපා! එසේ වුවත්, ඔය දරුවන් සියළු දෙනාම තවමත් ජීවතුන් අතර. අසුරයා දඩයම් කිරීමේ අපේ මෙහෙයුම දැන් සම්පූර්ණයි, අපට දැන් කිරීමට ඇත්තේ තෙංගු ව නැවත ගෙනැවිත් පළඳනා මංගල්‍යය නැරඹීමයි! "

ඇය අසල අසුන් ගෙන සිටියේ දොං ෆං චිංචි ය. ඔහුව ගු රාජාලියා විසින් ඇදගෙන ගොස් පාෂාණයක් මතට ඇද දමා තිබුණි. ඔහුගේ දකුණත බිඳී ගොස් තිබුණා පමණක් නොව පර්ශු කිහිපයක්ද බිඳී ගොස් මේ වන විට ඉහළ සිට පහළටම දැඩි ලෙස වෙළුම් පටි වලින් ඔතා තිබුණි. ඔහු ඔවුන් දෙස බලා පුළුල් ලෙස සිනාසුණි.

"අහෝ, අපි ඇත්තටම වයසයි!" ඔහු සුසුම්ලන්නට විය, "ගු රාජාලියාගෙන් අප විශාල පීඩාවක් වින්දා, එනිසා අපට ඌව නැවත අවතක්සේරු කළ නොහැකියි!"

සියළු දෙනා සිනාසුණි.

චූ ලෙයිගේ ඛේදසහගත පෙනුම දුටු ප්‍රථම වතාවේදීම ඔහු හදවතේ වේදනාවකින් පෙළෙන බවක් පෙනෙන්නට තිබුණි, එබැවින් ජොං මින් යෑන් මෙසේ විමසීය "ඇදුරුතුමා තවමත් ගූ රාජාලියා ගැන සිතනවාද?"

චූ ලෙයි සුසුම්ලන්ට වූයේය., "මම කල්පනා කරන්නේ ඌගේ දුර්වලකම මුලින්ම හඳුනාගත්තේ කවුරුන්ද කියලා. ඇත්තටම එවන් විශිෂ්ටයෙක් ඉන්නවා නම් අපේ පංච නිකායන් වල අභිමානය හා සැසඳුවොත් අපි ළිඳ උඩ ඉඳගෙන ගුවන දෙස බලන් ඉන්නවා පමණයි...."

දොං ෆං චිංචි තම නොබිඳුණු අතින් ඔහුගේ පසුපසට තදින් තට්ටු කර මහත් හඬින් මෙසේ පැවසුවේය "චූ සහෝදරයා, වසර ගණනාවක් ගතවුවත් ඔබගේ ශිවංකර ස්වභාවය තවමත් වෙනස් වී නැහැ. අප ලිඳ උඩ ඉඳගෙන ගුවන දෙස බලාගෙන ඉන්නවාද කියන එක පසෙකින් තියන්න. ඔවුන් සියල්ලෝම ඉන්නවා, මට අන් අය දැකිය හැක්කේ කොතැනින්ද? තවත් පැවසුවොත්, ගුහාව නිමක් නැහැ, එය වෙනත් ස්ථානවලට යොමු වෙනවාද කියලාත් මම දන්නේ නැහැ. ගු රාජාලියා ගුහාව දිගේ පලා යන්නට ඇති, ඌ නිසැකයෙන්ම මිය ගිහින් නැහැ. ඔබ ඒ පිළිබඳව කරදර වෙනවා නම්, මම මදක් සුව වන තෙක් බලා සිටින්න. තුවාලය සුව වීමට දින කිහිපයක විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව, අපි සහෝදරයන් නැවතත් ගුහාවට ගොස් අනිවාර්යයෙන්ම අමනුෂ්‍ය සත්වයා මරා දමමු. "

ජොං මින් යෑන් ගේ දෙතොල් මදක් සෙලවූයේ ඔහු යමක් පවසන්නට සැරසෙන්නාක් මෙනි, නමුත් අවසානයේ ඔහු කිසිවක් පැවසුවේ නැත.


 

Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)