15) මුතු සංසිද්ධිය [1]

චූ ලෙයි අසුරයාගේ ශරීරය රාජකීය අසිපතෙහි බැඳ එය නැවත ෂාඕයැන්ග් නිකාය වෙත යැවීය. චූ යිං හොං සහ දොං ෆං චිංචි දෙදෙනාම තුවාල ලබා සිටි අතර, ඔවුන් අධික ලෙස වෙහෙස වීමෙන් වැලකී සිටිය යුතුව තිබුණි, එබැවින් ඔවුන් ලූතායි නගරයේ නැවතී අඩමසකට පසුව පුෂ්ප පළඳනා තරගාවලිය නැරඹීමට ෂාඕයැන්ග් නිකාය වෙත පැමිණෙනු ඇත.

චූ ලෙයි පිටත්ව ගිය පසු, දරුවන් මහත් සැහැල්ලුවෙන් පෙලෙන බවක් දැනුණි. ෂාඕයැන්ග් නිකායෙහි ප්‍රධානීතුමා කිසිවිටෙකත් විනෝදජනක අයෙක් නොවීය, බියගෙන දෙන පර්වතයක් මෙන් විය, ඔහු වටා සිටින විට දරුවන් සරදම් කිරීමට එඩිතර වන්නේ නැත. ඉතිරිව සිටි චූ යිං හොං මෙන්ම දොං ෆං චිංචි යන දෙදෙනාම හාස්‍ය උපදවන විනෝදජනක අයවලුන් වූ හෙයින් දරුවන් වඩාත් උද්‍යෝගීමත් වූහ.

අසුරයන් දඩයම් කිරීමේ කරුණ සමථයකට පත් වූ පසු, අභූත චෝදනා ලද දියකිඳුරා මුදා ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් දියත් කිරීමේ දරුවන්ගේ වාරය එළැඹිණි.

පෙරදී කඳුකරයට ඔවුන් පසුපසින් පැමිණි දඩයක්කරුවන් ආපසු පැමිණ අසුරයා තුරන් කළ බව ප්‍රචාරය කර තිබුණි. අපේක්ෂිත ලෙස, සමහර නගර වැසියන් එය විශ්වාස කළ අතර සමහරු එසේ නොකළහ. මෙතරම් පිරිස් බලයක් හා සම්පත් ඇතිව තුරන් කළ නොහැකි වූ අසුරයෙකු දෙතුන් දෙනකු විසින් පහසුවෙන්ම තුරන් කිරීමට කටයුතු කළේ කෙසේද? එපමණක්ද නොව, දිය කිඳුරා සමඟ වසා දමන ලද වීදුරු ටැංකිය තවමත් රාජ්‍ය නිළධාරීන්ගේ මූලස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණි. නගරයෙහි සැරිසරනා එක් අසුරයෙකු ජලයේ සැඟව සිටින බව පැවසේ, එබැවින් එය එසේ විය යුතුය.

දඩයක්කරුවන්ට සාක්ෂි නොතිබූ නිසාත් දින ගණනාවක් මුළුල්ලේ තර්ක කළත් එය සාර්ථක නොවූ නිසාත් ඒ පිළිබඳව කතා කිරීමට ඔවුන් වෙහෙසුනේ නැත.

කෙසේ වෙතත්, ෂුවැන්ජි දෙදිනක් නිදා සිටි අතර, ඇය නිදා සිටින අතරතුරේ, චූ යිං හොං කෙතරම් කනස්සල්ලට පත්ව සිටියාද යත්, ෂුවැන්ජි හට නැවතත් යමක් සිදුවී ඇතැයි ඇය සිතුවාය. කෙසේ වෙතත් ඇගේ මුහුණ රක්ත මෙන්ම පඬු පැහැ විය, ඇයගේ නාඩි පරීක්ෂා කරන ලෙස චූ යිං හොං යමෙකුගෙන් ඉල්ලා සිටියද, ඔවුන් පැවසුවේ ඇයට අසනීපයක් නොමැති බවයි, එසේනම් ඇය අවදි නොවන්නේ මන්ද?

සියල්ලෝම ඔවුන්ගේ වාග්පටුත්වයෙහි අවසන් භාගයේ සිටින විට, අවසානයේ ෂුවැන්ජි තෙවැනි දින දහවල් වන විට අවදි විය. ඇයව රැකබලාගත් චූ යිං හොං මහත් ප්‍රීතියට පත් වූ අතර ෂුවැන්ජි හට කෙසේදැයි ඇගෙන් විමසුවාය.

කුඩා දැරිය හිස් ලෙස ඇසිපිය හෙලන්නට විය, ඇගේ ඇහිබැමි හදිසියේම රැලි ගැන්වී ඇය සුසුම්ලෑවාය: "හොං නැන්දණිය, මට බොහෝ සෙයින් කුසගිනියි."

චූ යිං හොං සිනාසුණි: "සත්‍ය වශයෙන්ම ඔබට කුසගිනි විය යුතුයි! ඔබ දින තුනක් මුළුල්ලේ නිදාගෙන සිටියා!" ඇය ෂුවැන්ජි හට අසුන් ගැනීමට උපකාර කර මෙසේ පැවසුවාය, "ඔබට ආහරයට ගැනීමට අවශ්‍ය කුමක්ද? හොං නැන්දණියට පවසන්න, ඔබ වෙනුවෙන් කවුරුන්ට හෝ ඒවා පිසින ලෙස මම පවසන්නම්."

"ඕනෑම දෙයක් හොඳයි, එයින් කුස පිරෙනවානම්."

ෂුවැන්ජි යහනින් බැස තම පාවහන් පැළඳගත්තාය. එක්වරම යමක් කල්පනා කළ ඇය මෙසේ විමසන්නට විය "ස' ෆං සහ සයවැනි සහෝදරයා කොහිද? අනෙක, ඔබලා එම අසුරයන් දෙදෙනා අල්ලාගත්තාද?"

ඇගේ හිසකේ ඔසවමින් චූ යිං හොං පිළිතුරු ලබා දුන්නාය, "අපි ඌව දැනටමත් අල්ලාගෙන සිටින්නේ! ඔවුන් පහත මාලයේ ආහාර ගන්නවා, ඔබ ප්‍රාණවත් වුණ එක බොහොම හොඳයි, ඉතින් පහලට ගිහින් එක්ව ආහාර ගන්න."

මෙම අවස්ථාවේදී, ජොං මින් යෑන් සහ යූ ස'ෆං සත්‍ය වශයෙන්ම පහත මාලයේ සිටි නමුත්, ඔවුන් ආහාර ගැනීම වෙනුවට, දහවල් කාලයේදී දිය කිඳුරාව මුදාගැනීමේ සැලැස්මක් පිළිබඳව රහසිගතව සාකච්ඡා කරමින් සිටියහ. ප්‍රථමයෙන්, ජොං මින් යෑන් මෙම කාරණයට සම්බන්ධ වීමට අකමැති වූ නමුත්, යූ ස'ෆං ගේ දිගු මෙන්ම අපූරු ස්වරයෙන් යුත් කතාව හේතුවෙන් ඔහුද ඊට පෙළඹුණි.

ධ්‍යානවේදය තම ජීවිත කාලය පුරාවටම අරමුණු කරගෙන සිටියද, ඔවුන් කිසිවිටෙකත් ධර්මිෂ්ට ලෙස කටයුතු කිරීමට අමතක නොකළහ. මේ වන විට දියකිඳුරා සිටින්නේ දුර්වලව මෙන්ම අසරණ තත්වයකය, අසුරයින් පිළිබඳව සත්‍යය දන්නේද මුළු නගරයෙන්ම ඔවුන්ගෙන් කිහිප දෙනෙකු පමණි, විරුවෙකු වීමට සුදුසු කාලය මෙය නොවේද!

කෙසේවෙතත්, ඔවුන් තවමත් දරුවන්‍ ය, කලබලකාරීය. ලැබෙන සෑම අවස්ථාවකදීම විශාල දෙයක් සිදුකිරීමේ අවශ්‍යතාව ඇත්තෝය.

"එසේනම් එය තීන්දුයි!" යූ ස'ෆං තම ස්වරයෙහි ශබ්දය අඩු කළේ තම හිස පවා පහත් කරගනිමිනි, ඔහුගෙන් පෙනුණේ අද්භූත පෙනුමකි "අපි සාකච්ඡා කරන්නේ හමුදාමය කාරණා පිළිබඳව", "මම මුලින්ම ගොස් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරන්නම්. ඔබ එතැනට ගොස් එම ටැංකිය බිඳ දමන්න!"

ජොං මින් යෑන් නැවත නැවතත් හිස සලමින් මෙසේ පැවසුවේය, "ඔබව නවත්වන්න නිලධාරියෙක් පැමිණියොත්, ධූම බෝම්බයක් සවිකරන්න. මම දියකිඳුරා සමග පිටව යන්නම්. ඔබේ මුහුණ ආවරණය කිරීමට අමතක කරන්න එපා. කවුරුන් හෝ ඔබව හඳුනා ගත්තොත් එය ප්‍රශ්නයක්!"

"ඔබ නිවැරදියි! ඔබව හඳුනා ගත නොහැකි විය යුතුයි! " යූ ස'ෆං හිස පහත් කර දිගු වේලාවක් ඔහුගේ ඉණ මත තිබූ කුඩා පැස ස්පර්ශ කර, කාල වර්ණ රෙදි කැබලි දෙකක් ගෙන, එකක් ජොං මින් යෑන් වෙත පෑවේය, "ඔබට එකයි, මා හට එකයි. ආහාර ගත්තාට පසුව එය කරමු!"

"කුමක්ද කරන්න යන්නේ?" පිටුපසින් ඇසුණු ප්‍රශ්නය හමුවේ තරුණයින් දෙදෙනා පාෂාණීභූත වී ගියහ.

ඔවුන් ආපසු හැරී බලෙන් මුවගට ගත් සිනහවක් පාමින් මෙසේ පවසන්නට විය "නැහැ, කිසිවක් නැහැ..." හදිසියේම, ඔවුන් දුටුවේ තමා පිටුපස සිටින පුද්ගලයා ඉතා කුඩා මෙන්ම රූමත් බවයි, ඒ ෂුවැන්ජි නොවේද? "ඔබ, ඔබ අවදි වුණාද!" ඔවුන් විමතියට පත් වුණි.

ෂුවැන්ජි හිස වනමින් ඔවුන් ඉදිරිපිට අසුන් ගත්තාය, "මම දැන් අවදි වුණේ. ඔබලා මොනවා පිළිබඳවද කතාබහ කරන්නේ?"

මුලදී නම් යූ ස'ෆං හට ඇයව ඊට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වූයේ නැත, අවසන් වතාවේදී පැවසූ වදන් ඇයව පොළඹවා ගැනීමට සිදු කළ එකක් පමණක් විය. කෙසේ වෙතත්, දිය කිඳුරාව මුදා ගැනීම සඳහා, අයෙක් කඩිසර විය යුතුය, එමෙන්ම මෙම තරුණිය කිසිවකට දක්ෂ බවක් පෙන්වන්නේද නැත, ඇය විශිෂ්ට වන්නේ සියල්ල පමා කිරීමෙහි පමණි.

ඔහු ඒ පිළිබඳව කල්පනා කර, පසුව පැකිලෙමින් මෙසේ පැවසුවේය, "ඔව්... හොඳයි... ඔව්..."

කෙසේ වෙතත්, ෂුවැන්ජි අත්පොලසන් දෙමින් සිනාසෙන්නට වුවාය, "ඔබලාගේ අරමුණ දියකිඳුරාව මුදාගැනීම නොවේද? කවදා ද? මටත් පැමිණිය හැකිද?"

ඇයට එය කෙතරම් විනෝදජනකද යත්, ඇයට තවදුරටත් අලස වීමට අවශ්‍ය නොවීය.

යූ ස'ෆං ජොං මින් යෑන් වෙත බැලුවේ අගතියට පත් වුනු මුහුණකිනි, නමුත් ඔහු සුදුමැලිව ගොස් චකිතයකින් පෙළෙන බවද පෙණුනි. ෂුවැන්ජි දෙස සෘජුවම බලාගෙන, "කුමක්ද ඔබ බලන්නේ?" කියමින් ඔහු මහ හඬින් විමසන්නට විය.

මදක් තිගැස්සුණු ජොං මින් යෑන්, තම මුහුණ පිසදාගෙන, මෘදු ලෙස මෙලෙස පැවසුවේය, "එය ප්‍රශ්නයක් නැහැ... තව එක් අයෙක් පමණයිනේ, තවත් එක් ශක්තියක්, ඇයව රැගෙන යන එක හොඳයි."

"එය ඔබේ සුපුරුදු ක්‍රියාකලාපය නොවේ, ජොං සහෝදරයා!" යූ ස'ෆං මවිතයෙන් මෙන් ඔහු දෙස බැලූ නමුත් ස්ථිර ලෙස හිස සැලීය, "ඇයව අප සමඟ රැගෙන යමු. එසේ නොමැතිව ඇය තනි කළහොත්, ඇගේ ඇදුරුතුමා ඒ පිළිබඳව දැනගෙන තවත් කරදරයක් වේවි."

යූ ස'ෆං හට එකඟ වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.

සිනහවකින් මුව පුරවාගත් ෂුවැන්ජි, ජොං මින් යෑන්ගේ උරහිසට තට්ටු කිරීමට ගියාය, "ඔබ ඉතා පහසුවෙන් එකඟ වන්නේ බොහොම කලාතුරකින්..."

ඇය පවසා අවසන් වීමටත් පෙර ඔහු බියෙන් හැකිළී යනු ඇය දුටුවේ ඇය දිගු කළ දෑත, දෑතක් නොව කිසියම් අසුරයෙකුගේ නියපොත්තක් වූවාක් මෙනි.

ෂුවැන්ජි මවිතයට පත් වූ අතර යූ ස'ෆං ද තුෂ්නිම්භූත විය. කෙසේ වෙතත්, වැඩියෙන්ම ප්‍රතිචාර දැක්වූයේ ජොං මින් යෑන් ය, වරක් කහින්නට වූ ඔහුගේ නොසන්සුන් බවක් පෙණුනි, "මම...අහ්, මම හිතන්නේ මාව අසුරයන් විසින් අල්ලාගත් මොහොතේ බොහෝ කලබල වුණා, තවමත් මම එයින් සුව වී නෑ වගේ...අපි ආහාර ගමු! ආහාර අරන් රංගනය ආරම්භ කරමු."

ඇයගේ දෑතේ යමක් තිබේද? ෂුවැන්ජි හට තම දෑත දෙස නොබලා සිටීමට නොහැකි විය. පෙරදී මෙන්ම කුඩායි මෘදුයි වෙනසක් නැහැ. ජොං මින් යෑන් හට සිදුව ඇත්තේ කුමක්ද?

ඒ මොහොතේම, චු යිං හොං ආහාර ඇණවුම් කර, හිඳගෙන සිනහවකින් යුතුව මෙසේ පැවසුවාය: "දරුවනේ, ඔබලා රහසිගත දෙයක් සාකච්ඡා කරනවා වගේ. ඇදුරුතුමා පිටව ගියා, සෑම දෙනෙක්ම විලිමුවන් මෙන් සතුටින්."

"පියාණන් ගියාද?" මට ඔහුව මුණ නොගැසීම අරුමයක් නොවෙයි. ෂුවැන්ජි හට එකවරම පැහැදිලි කළ නොහැකි සැහැල්ලුවක් දැනුනි.

චූ යිං හොං හිස සැලීය, "පුෂ්ප පළඳනා තරඟාවලිය වඩාත් වැදගත්. හොඳයි, අද සවස් යාමයේදී, මට දීප ප්‍රධානීතුමා සමග ගුහාවට යාමට සිදුවෙනවා. ගු රාජාලියා අභිරහස් ලෙස අතුරුදහන් වෙලා ගිහින්, එබැවින් මම හේතුව සොයා ගත යුතුයි. ඔබ හැමෝම මේ තානායමේ නවතින්න, කොහේවත් යන්න එපා, ප්‍රශ්න කිසිවක් ඇති කරගන්න එපා, තේරුණාද?"

දෙවියන් වහන්සේ අපට උපකාර කරලා! තම හදවත තුල රහස් සඟවා ගත් දරුවන් තිදෙනා, ඔවුන් පවසන පරිදි කිරීමට එකඟ වූහ. දැන් තානායමෙහි වැඩිහිටියන් නැත, නගරය තවමත් ඔවුන්ගේ පාලනය යටතේ නොවේද?

බලාපොරොත්තු වූ පරිදි, චූ යිං හොං සහ දොංෆං චිංචි රාත්‍රී ආහාරයෙන් පසු වේලාසනින්ම තානායමින් පිටව ගියහ.

තානායම තුළ සිටි, දරුවන් තිදෙනා ඔවුන්ගේ ගලවා ගැනීමේ මෙහෙයුම නැවත ආවර්ජනය කර එයට නමක් ලබා දුන්හ: මුතු සංසිද්ධිය. ඔවුන් එය මුතු සංසිද්ධිය ලෙස නම් කළේ කිඳුරන්ගේ හැඬූ කඳුලු මුතු බවට පරිවර්තනය වන හෙයිනි.

"සැලසුම මදක් වෙනස් වුණා. ෂුවැන්ජි සහ මම වීදුරු ටැංකියට නුදුරු ස්ථානයක සැඟවී සිටින්නම්, ඔබ, ස'ෆං, ඔබ සාමාන්‍ය මග යන්නෙකු ලෙස වෙස්වලාගෙන කිසිවෙකුට නොපෙනෙන ලෙස ටැංකිය බිඳීමට ඔබේ ඇඟිලි වලින් හදිසි සුළු පහර භාවිතා කරන්න. ඒ මොහොතේ, සියලුම දෙනා කලබල වේවි, එබැවින් ඔබ ධූම බෝම්බය මුදා හැරීමට එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි, අදාළ පුද්ගලයා බේරා ගැනීමට මම සහ ෂුවැන්ජි පිටතට පැමිණෙන්නම්. අපි ලූ තායි කඳු පාමුල වැව ඉදිරිපිටදී හමුවෙමු."

ජොං මින් යෑන් බැරෑරුම් ලෙස සැලසුම් කරමින්, කතා කරනා අතරතුරේදී කඩදාසි කැබැල්ලක කටු සටහනක් අඳින්නට වූයේය. අවසානයේදී, ඔවුන් තිදෙනාම කළ යුතු සියල්ල මතකයේ තබා ගත් අතර, යූ ස'ෆං ෂුවැන්ජි හට ඇගේ මුහුණ ආවරනය කර ගැනීමට කාලවර්ණ රෙදි කැබැල්ලක් ලබාදුන්නේය.

ප්‍රථමයෙන්ම එය උත්සාහ කළේ ඔහුය, කාල වර්ණ වස්ත්‍රයකින් ආවරණය වුණු ඔහු හිස හරවන විටදී දුටුවේ ෂුවැන්ජි තමා දෙස බලා සිටින ආකාරයයි, ඔහුගේ මුහුණ රත් පැහැ වුණි, ඔහු ගොත ගසන්නට විය: "ඔබ, ඔබට පෙනෙන්නේ කුමක්ද, ඔබ කුමක්ද බලන්නේ!"

ෂුවැන්ජි ඔහු දෙස බැලුවේ තම හිස ඇල කරගනිමිනි, "ආහ්, ඔබ කවදාද ඔබේ වෙස් මුහුණ ඉවත් කළේ? එය ඉවත් කළ නොහැකි බව ඔබ පැවසුවේ නැතිද?"

යූ ස'ෆං ගේ මුහුණ අඳුරු විය, "වෙස්මුහුණ, එය බිඳී ගියා. අසුරයා විසින් එය බිඳ දැම්මා." ෂුවැන්ජිගේ දිලිසෙන විශාල දෑස් තවමත් ඔහුගේ මුහුණේ ඇලී ඇති බව දුටු විට, ඔහු ලැජ්ජාවට පත් වුණි, "ඔබ, ඔබ කෙසේද ඒ ආකාරයට පුද්ගලයින් දෙස බලන්නේ! මධ්‍යම තැනිතලාවේ ගැහැණු ළමයින්, සත්‍ය වශයෙන්ම!"

ඔහු තවදුරටත් වෙස්මුහුණක් පැළඳ නැත! ඇය ඔහුව දැක යුතුව තිබුණේ පහත මාලයේදීය, නමුත් ඇය කිසිසේත් ප්‍රතිචාර නොදැක්වූයේ ඔහු විරූපී යැයි සිතා මද වේලාවක් ඔහුව කලබලයට පත් කිරීමටයි. මේ තරුණියගේ දෑස් සෑමවිටම බලන්නේ කුමක්ද යන්න දැන සිටියේ දෙවියන් පමණි!

ෂුවැන්ජි නැවත බොහෝ වේලාවක් ඔහු දෙස බලා සිටියාය, ඔහු කෝපයට පත් වන්නට ගිය මොහොතේ , ජොං මින් යෑන් සැනසුම් සුසුමක් හෙළා සිනාසුණි, "ස'ෆං, ඔබ බොහොම කඩවසම්. මම කැමතියි ඔබ මේ ලෙස සිටිනවාට, මෙතැන් සිට වෙස්මුහුණක් පලඳින්න එපා! එය වසන් කිරීම කෙතරම් නින්දාවක්ද?"

මෙය පැවසූ සැණින් මුළු කාමරයම නිශ්ශබ්ද විය.

යු ස'ෆං ගේ මුහුණ මද වේලාවක් යනතුරු රක්ත හරිත පැහැයෙන් යුක්ත වූ අතර දැන් ඔහුට සත්‍ය වශයෙන්ම එක් වදනක් වත් පිට කිරීම නවතා ගත නොහැකිව තිබුණි.

මධ්‍යහ්නයේ ඔහු විෂම ස්වරයකින් වෙනස් වචන මාලාවක් පිට කළේය, එය ඔහුගේ උපන් ගමේ උපභාෂාව විය යුතුය. ඔහු පවසා අවසන් වූ පසු නැඟිට දොරටුව අසලට පිටත්ව ගොස් "පැමිණෙන්න, අපි යමු" ලෙස ඔවුන්ට පිටුපසින් දෑත වනමින් පැවසුවේය.

සිනා සෙමින් පසුපස ගිය ෂුවැන්ජි හට එක්වරම පිටුපසින් ජොං මින් යෑන් තමාව අමතනු ඇසුනි.

"ෂුවැන්ජි, ඔබ..." පහත්, නිර්වචනය කළ නොහැකි ඛේදජනක හැඟීමකින් ඔහු මුමුණන්නට විය.

එය කුමක් ද? ඇය කුතුහලයෙන් ඔහු දෙස බැලුවාය.

"නැහැ, කිසිවක් නැහැ." ජොං මින් යෑන් ඇගේ උරහිසට තට්ටු කළේය, "අපි යමු. මේ වතාවේ අපිව නවත්වන්න එපා. "


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)