16) මුතු සංසිද්ධිය [2]

සන්ධ්‍යා කාලය වන විට නගරය කලබලකාරී ස්වභාවයකින් යුක්ත විය, එය බොහෝ විට අසුරයා දඩයම් කල බවට රාජ්‍ය නිළධාරීන්ගේ මූලස්ථානයෙන් ලද නිවේදනය නගර වැසියන් විශ්වාස කළ හෙයින් විය යුතුය, එබැවින් එය නැවත සජීවී තත්වයට පැමිණ තිබුණි. වීදි වෙලඳසැල්, ඇස්බැන්දුම්, සහ විකිණීමට ඇති කලාකෘති, සුළු ආහාර යනාදිය එකින් එක මතුවී තිබුණි.

ෂුවැන්ජි දැවමය ක්‍රීඩා භාණ්ඩ දෙස බලමින් විවිධ පාෂාණ කැටයම් ස්පර්ශ කරමින්, සැහැල්ලුවෙන් මෙන්ම නොසැලකිලිමත් ලෙස එක් කුටියක සිට ඊළඟ කුටියට ඇවිද ගියේ ඇයට යමෙකු බේරා ගැනීමට අවශ්‍ය පරිදි නොව, ඇය සාප්පු සවාරි යන්නාක් මෙනි.

ජොං මින් යෑන් ඇගේ අත්සළුවෙන් පිටුපසට ඇද රහසින් මෙසේ පැවසුවේය: "මේ, ඔබට ප්‍රථමයෙන් කල යුත්තට අවධානය යොමු කළ හැකිද? ඔබට සාප්පු යෑමට අවශ්‍ය නම් අපට එයට පසුව කාලය තිබෙනවා. "

ෂුවැන්ජි තැම්බූ රසකැවිලි පිඩක් මුවට ගෙන නොපැහැදිලි ලෙස පැවසුවේ, "මම දන්නවා, නමුත් ඔබ දෙදෙනා අයහපත් දෙයක් කිරීමට සූදානම්ව සිටිනවාක් මෙන්, ඉතා කලබලයෙන් සිටින බවක් පෙනෙන්නේ. හැමෝම ඔබලා දෙස බලාගෙන ඉන්නවා." යන ලෙසය.

ඔවුන් කඩිමුඩියේ වටපිට බැලූ අතර, බොහෝ අය ඔවුන් දෙස බලා සිටිමින්, සමහරු එකිනෙකාට මුමුණමින් සිටිනා ආකාරය සැකහැර දැනගත්හ.

යූ ස'ෆං ගේ මුහුණ සුදුමැලිව ගියේය, ඔහු ක්ෂණිකව ෂුවැන්ජිගේ දෑතින් ඇද ඇගේ කනට කොඳුරන්නට විය, "අපි කළ යුත්තේ කුමක්ද? ඔවුන්, ඔවුන්, ඔවුන් දන්නේ නැහැනේ, අපි කරන්න යන්නේ කුමක්ද කියලා?"

ෂුවැන්ජි තම උරහිස් හැකිලුවාය: "ඔවුන් දැනගන්නේ කෙසේද? ඔබ දෙදෙනා අයහපත් දෙයක් කිරීමට යන ආකාරයට ක්‍රියා නොකරන තාක් කල්, නිසැකවම කිසිවෙකු ඔබ දෙස නොබලාවි."

ඇය ඔහුට තන්ග්හුලු[1] රසකැවිල්ලක් ලබා දුන්නාය. "මෙන්න, රස බලන්න."

යූ ස'ෆං පැකිලෙමින් රසකැවිල්ල තම මුව තුලට හොවා ගත්තද , ඒ වහාම ඔහුගේ මුහුණෙන් දිස්වූයේ සැහැල්ලු ස්වභාවයකි, "ඔව්, එය රසවත්!"

"ඇත්තටම?" ජොං මින් යෑන්ද එකක් ගත්තේය, "ඒක පැණිරසයි! ...නැහැ, ඒක ඇඹුල්!" ඔහුගේ මුහුණ ඇඹුල්ව ගියේය, "ඌ කොහිද?"

ෂුවැන්ජි සහ යූ ස'ෆං සිනාසුණි, අවසානයේදී ජොං මින් යෑන්ද සිනහවට එක් විය.

"දැන් ඔබලාට බියක් නැහැ නේද" ෂුවැන්ජි සෙමින් හා ක්‍රමානුකූලව පැවසුවාය, "විශිෂ්ට දේවල් කිරීමට, මූලිකම දෙය ස්ථාවරත්වයයි........ පියාණන් නිතරම පවසන්නේ එය. ඔබ බිය නම්, ඔබට එය හොඳින් කිරීමට නොහැකි වේවි."

යූ ස'ෆං මහත් ආශාවෙන් බලා සිටියේය, "නිකාය ප්‍රධානී චූ, ඔහු පැවසූ දෙය නිවැරදියි. ෂුවැන්ජි පවසන දෙයත් නිවැරදියි. ඇදුරුතුමන් සහ අනෙක් අය මීට පෙර කවදාවත් මට මෙය පවසා නැහැ. විශිෂ්ට ගුරුකුලයක් යනු අමරණීයත්වය වැඩීම පමණක් නෙවෙයි, මනුෂ්‍ය ජීවිතයේ මූලධර්ම ඉගෙනීමත් ඇතුලත් වෙන බව පෙනෙනවා. "

ඔහුගේ ගොත ගැසීම ඇසුණු සෑම අවස්ථාවකම ජොං මින් යෑන් හට තම සිනහව වළක්වා ගත නොහැකි විය, ඔහුට ස'ෆං ගේ පිටට තට්ටු කර සිනාසුණි, "එසේනම් ඔබ ඇයි අපගේ ෂාඕයැන්ග් නිකායට එක් වෙන්නේ නැත්තේ? මධ්‍යම තැනිතලා උපභාෂාවත් ඉගෙන ගන්න!"

ෂුවැන්ජිගෙන් ලද සැලකීම් හේතුවෙන් ඔවුන් දෙදෙනා වෙනදා මෙන් කලබල නොවීය.

ඔවුන් කොනකින් හැරෙන විට, ඔවුන් ඉදිරියේ සිටියේ රාජ්‍ය නිළධාරියෙකි. සුවිසල් වීදුරු ටැංකිය තවමත් එහි තිබූ අතර නරඹන්නන් සංඛ්‍යාව බොහෝ සෙයින් අඩු වූ නමුත් කිසියම් නොදන්නා හේතුවක් නිසා ප්‍රදේශයේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ගේ සංඛ්‍යාව පසුගිය වතාවට වඩා දෙගුණයක් පමන විය, වීදුරු ටැංකියද බොහෝ සෙයින් අහුරුවා තිබුණි.

"නිලධාරීන් ඕනෑවට වඩා සිටිනවා, ඒ නිසා අපි ගැටුම් වළක්වා ගත යුතුයි." ජොං මින් යෑන් සෙවැනැලි තුළ සැඟව සමීපව ඒ දෙස බැලීය, "එන්න, ෂුවැන්ජි, අපි මුලින්ම එහි යමු."

ඔහු ෂුවැන්ජිගේ අත් සළුවෙන් ඇද සාමාන්‍ය මග යන්නෙකු ලෙස පෙනී සිටිමින්, වීදුරු ටැංකිය ඉදිරිපිට ඇඟිලි තුඩු වලින් සිටගෙන බලා සිටියේය.

වීදුරු බඳුනේ ජලය පෙර දින තරම් පැහැදිලි නොවීය, ඒ කවුරුන් හෝ ඕනෑවට වඩා දේවල් එය තුළට විසිකර දමා ඇති නිසා විය යුතුය, ජලය අපැහැදිලි මෙන්ම අඳුරු පැහැයක් ගෙන තිබුණි, ජලය මතුපිට දියරැළි නොමැතිව එකතැන පල් වෙමින් තිබුණි.

"ඌ මියගිහින්ද?" ෂුවැන්ජි මෘදු හඬින් විමසුවාය.

ජොං මින් යෑන් හිස වනමින් යමක් කියන්නට සැරසෙද්දී ඔහු ඉදිරිපිට සිටි ආරක්ෂක නිළධාරියා සිනාසෙමින් මෙලෙස පැවසුවේය "ඌ මියයන්නේ නැහැ! කුඩා දරුවෝ ඔබ දන්නේ නැහැ අසුරයින් පහසුවෙන් මියයන්නේ නැහැ. අප තව දින කිහිපයකින් මොවුන්ව අගනුවරට ගෙන යා යුතුයි. "

ෂුවැන්ජි අවංකවම ඔහු දෙස බැලුවාය "අනේ", "මාමණ්ඩි, මට ළං වෙන්න පුළුවන්ද? මම මීට පෙර කවදාවත් අසුරයෙක් දැකලා නැහැ."

නිලධාරියා මොහොතකට පසුබට වුණි, "මට බියක් දැනෙනවා.....නැහැ. මේ අසුරයා කෙතරම් අවලස්සනද කියනවා නම් කුඩා දැරියන් ඌව දැක්කම භයානක සිහින දකිනවා."

මේ අතර, ෂුවැන්ජි තම ඇහි බැමි සමීප කළාය, "මදක් බැලීමට පමණයි, හොඳද?"

රූමත් කුඩා දැරියගේ ආයාචනයට විරුද්ධ වීමට නිලධාරියාට නොහැකි වූ අතර අවසානයේ ඇයට ඇතුළට යාමට ඉඩ දුන්නේය.

ෂුවැන්ජි ඔප දැමූ භාජනය ඉදිරිපිටට ගියාය, ඇය දියකිඳුරා වෙත ළඟා වූ දෙවන අවස්ථාව මෙයයි. ඔහුව දුටු ප්‍රථම වතාවේදී තම බුද්ධිමත් දෙනෙතින් ඈ දෙස බලනා විට ඔහුගේ දෑස් ශෝකයෙන්න් පිරුණත් ඔහුට සැලකූ ආකාරය ගණනකට නොගන්නාක් මෙන් සිතාගත නොහැකි පරිදි ශෝකය සංසිඳී තිබුණු අයුරු ඇයට සිහිවිය .

ඇය දෑත දිගු කර වීදුරු ටැංකියට තට්ටු කළාය, ටැංකියෙහි ජලය හදිසියේම වෙනස් විය, ඇතුළත යමක් චලනය වුණි. එකෙණෙහිම සුදුමැලි මුහුණක් මතු වී ටැංකියේ බිත්තියේ ඇලී තිබුණි.

ඒ ඇය බව දැන සිටියාක් මෙන්, ඔහු නොසෙල්වී, නිහඬව ඇය දෙස බලා සිටියේය. බොහෝ වේලාවකට පසු, ඔහුගේ දෙතොලෙහි අග නැමී, ඔහු ඇයට සිනහවකින් සංග්‍රහ කරන්නට විය.

ඇය පිටුපස සිටි නිලධාරියා ඇයව ඉක්මනින් රැගෙන ගොස්, "ඔබ බිය වන්නට ඇති! මේ අසුරයා කපටියි!" යනුවෙන් පැවසුවේය.

එසේ පවසමින්, තදින් ටැංකියට පාපහරක් දුන් පසු කිඳුරාගේ සුදුමැලි මුහුන ඉක්මනින්ම බොර දියේ නොපෙනී ගියේය.

තවමත් කම්පනයට පත්ව සිටි ෂුවැන්ජි මෙසේ පැවසුවාය: "ඔහුගේ මුහුණ..... තුවාල ගොඩක් තියනවා!"

නිලධාරියා සිනාසුණි, "මම ඔබට පැවසුවා ඒ දෙස නොබලන්න කියලා. හරි කීකරුව නිවසට යන්න."

ෂුවැන්ජි අකමැත්තෙන් මෙන් ඔප දැමූ ටැංකිය දෙස බලා ආපසු හැරී පිටව ගියාය. ජොං මින් යෑන් ඇය පසුපස ගිය අතර, උප වීථියක් සොයාගත් ඔවුන් දෙදෙනා කාල වර්ණ වස්ත්‍රයෙන් ආවරණය වී සැඟවී සිටියහ.

"ඔබ ඔහුව දුටුවාද?" ජොං මින් යෑන් විමසුවේය.

ෂුවැන්ජි තම හිස සැලීය: "ඔහුට බොහෝ තුවාල වෙලා, නමුත් ඒවායින් සමහරක් ඔහු පාෂාණයකින් ලද පහරවල් බව පේන්නේ නැහැ. සමහරවිට කවුරුන්හෝ ඔහුව යදම් වලින් ගැට ගසලා, එමෙන්ම කසයක් තිබුණ බවට සාක්ෂ්‍යයකුත් එහි තිබුණා..."

"ඔහු අපයෝජනයට ලක් වෙලා!" ජොං මින් යෑන් තරමක් කෝපයට පත් විය, "මෙය අරුතක් නොමැති ක්‍රියාවක්, ඌ අසුරයෙක් නම්, අන් අය එතරම් පහසුවෙන් ඌව අපයෝජනය කරන්නේ කෙසේද!"

ෂුවැන්ජි සුසුම්ලන්නට වූවායය: "පෙනෙන ආකාරයට නම් ඔහු ඉතා දුර්වලයි... අපි ඒ පිළිබඳව කතා නොකර ඉමු. ස'ෆං ආරම්භ කිරීමට සැරසෙන බවක් පෙනෙන්නේ!"

ඔවුන් හුස්ම සිර කරගෙන බිත්තිය පිටුපස සැඟවී බලා සිටියහ. නුදුරින් යූ ස'ෆං ඔවුන්ට රහස් සංඥාවක් ලබා දුණි, ඔවුන් ක්ෂණිකව එය වහටා ගත්තේය, ඔවුන් කාල වර්ණ වස්ත්‍රයෙන් තම හිස ආවරණය කරගෙන, තමා ඉදිරිපිට සිදුරු දෙකක් පමණක් ඉතිරි කළහ.

යූ ස'ෆං, මගියෙකු ලෙස පෙනී සිටිමින්, වීදුරු ටැංකිය ඉදිරිපිට බොහෝ වේලාවක් නැවතී බලා සිටි අතර, පසුව සෙමින් සෙනඟ පිටුපසින් පසු බැස ගියේය. අවස්ථාවක් ලද විගස ඔහු තම පැසෙන් ලෝහ උණ්ඩයක් ගෙන, තම චි ශක්තිය එයට පුරවා, කිසිදු ශබ්දයක් නොමැතිව එය පිටතට විසි කළේය.

මිනිසුන්ට ඇසුණේ "වූෂ්" ශබ්දයක් පමණි, ඉන්පසු වීදුරු ටැංකිය ඉරිතලා බිඳී ගියේය, අපැහැදිලි ජලය පිටතට ගලා යන්නට විය. මද වේලාවකින් මුළු දර්ශනයම අවුල් ජාලාවක් බවට පත් වුණි. මිනිසුන් සැඟවී කෑ ගසන්නට වූ අතර ඔවුන් සිටියේ සිහි මුලාවෙනි. ආරක්ෂක නිළධාරීන් පවා ව්‍යාකූල වුණි, ඔවුන් මක්ෂිකයන් මෙන් සෑම තැනකම සැක කටයුතු පුද්ගලයින් සොයමින් සිටියහ.

යූ ස'ෆං එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන විදුලියක් මෙන් පහර දුණි, පළමුව, ඔහු වීදුරු ටැංකිය වටා ආරක්ෂාවට සිටි කිහිප දෙනෙකුගේ නිළස්ථාන වලට පහර දී, පසුව සකස් කර තිබූ ධූම බෝම්බ පොළොවට විසි කර දැමුවේය.

"පෆ්" ශබ්දයක් ඇසුණු අතර පඬු වන් දම් පැහැති දුමාරයක් පොළොවෙන් නැගුණි, එහි ගන්ධය අතිශයින්ම කටුක එකක් විය. මහජනයා ව්‍යාකූල වුණි, නිලධාරීන්ටද කිසිවක් නොපෙණුනි, ඔවුන් මහ හඬින් කෑ ගසන්නට වූහ, "වීදුරු ටැංකිය ආරක්ෂා කරන්න! අසුරයා ආරක්ෂා කරන්න! "

ඔවුන් ඉතා ශබ්දයෙන් කෑ ගැසුවද ඒ වනවිටත් ෂුවැන්ජි සහ ජොං මින් යෑන් සෙලවීමට නොහැකිව බිම වැතිර සිටි දියකිඳුරාව රැගෙන ගොස් තිබුණි.

අවසානයේ දුමාරය තුරන්ව ගිය පසු මිනිසුන් කඳුළු පිරි දෙනෙත් පිස දැමූහ, එය සොයා ආපසු පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ බිඳී ගිය වීදුරු ටැංකියේ කිසිවක් ඉතිරිව නැති බවයි, භාජනයේ පතුලේ වූ විශාල හා කුඩා පාෂාණයන් නිහඬව ඔවුන්ට සරදම් කරනු පෙණුනි.

----------------------------------------------------

[1] තන්ග් හුලු - මෙය චීනයෙන් ආරම්භ වූ පළතුරු රසකැවිල්ලකි. සාම්ප්‍රදායිකව මෙය රතු hawthorn බෙරි සීනි සිරප් වල ගිල්වා උණ කූරක ගසා පිළිගන්වයි. ඒවා බොහෝ විට චීන අලුත් අවුරුද්දේ දරුවන්ට ලබා දෙන්නේ සතුටේ සංකේතයක් ලෙස ය.



Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)