17) මුතු සංසිද්ධිය [3]
ලු තායි කඳු පාමුල විශාල තළාකයක් ඇති අතර, එහි සැඟවී සිටින ගූ රාජාලීන් විසින් මිනිසුන් ඇදගෙන යන බවට පැතිරුනු කටකතා හේතුවෙන් කිසිවෙක් එහි බොහෝ වේලා රැදෙන්නට තරම් නිර්භීත වන්නේ නැත.
ෂුවැන්ජි සහ ජොං මින් යෑන් විසින් කිඳුරාව තළාකය අද්දරට ගෙන ගොස් ප්‍රවේශමින් ඔහුව පර්වතයක් මත තැබීය. ජොං මින් යෑන් එතැනට දිව ගිය හෙයින් ඔහු වදනකුදු හෝ පිට කිරීමට නොහැකි තරම් වෙහෙසට පත්ව සිටියේය. ඔහුට කළ හැකි වූයේ පොළොව මත හිඳගෙන හුස්ම අල්ලමින් මෙසේ පැවසීම පමණි, "ෂුවැන්ජි... ඔබ ප්‍රථමයෙන්... ඔහු පිළිබඳව බලන්න..."
ෂුවැන්ජි සිටියේ කිඳුරා අසලින් අසුන් ගෙනය, ඔහු තුවාලවලින් වැසී ගොස් සිටි අතර පීඩාවට හසු නොවූ කිසිදු කොටසක් නොතිබුණු බව ඇය දුටුවාය. "ඔබට . . . එය වේදනයිද? මා සතුව ඖෂධ ස්වල්පයක් තියනවා, මට එය ඔබට ලබා දිය හැකියි."
දිය කිඳුරා ඇය දෙස බලා සිටියේ තමාට ඇයව තේරුම් ගැනීමට නොහැකි වූවාක් මෙනි, ඔහු තම ඇසි පිය හෙලුවේද නැත.
ෂුවැන්ජි, ජොං මින් යෑන් ගේ සළුවෙන් අදින්නට වූවාය, "මම කළ යුත්තේ කුමක්ද? ඔහුට මාව වැටහෙන්නේ නැහැ වගේ."
"ඔබ... හිතන්න එපා, ඔහුට වැටහුණත් නැතත් ඔහුව බලාගන්න! ඔබ ඔහුට ප්‍රතිකාර කළ යුතුයි. පසුව ඔහුට යන්න දෙන්න!" ජොං මින් යෑන් අවසානයේ පොළොව මතට ඇද වැටුණේ වදනක් හෝ පැවසීමට අකමැත්තෙනි.
ෂාඕයැන්ග් නිකායට ආවේණික අද්විතීය ඖෂධය තම ඉණෙහි වූ තැළිසම් පැසෙන් ඉවතට ගත් ෂුවැන්ජි, රුධිරයෙන් සහ ජලයෙන් වැසී තිබුණු, අපිරිසිදු මෙන්ම සමහරක් කොටස් විවෘතව සුදු හම් පෑදී තිබුණු තුවාල දෙස බලා සිටියාය.
ඇය යුහුසුළුව තම ලේන්සුව දෙකට ඉරා, තළාකයෙහි ජලයේ පොඟවා ඔහුගේ තුවාල පිරිසිදු කර පසුව ඖෂධ ගැල්වීය. භාග්‍යයකට මෙන්, මෑතකදී සිදු වූ අසුර දඩයම හේතුවෙන් බොහෝ දෙනෙකුට තුවාල සිදු හෙයින් ඇයගේ පැසෙහි තවමත් ඉතිරි වූ ගෝස් සහ වෙළුම් පටියක් තිබුණි, එය ඔහුව තදින් එතීමට ප්‍රමාණවත් විය.
සහනයට පත් වූ ෂුවැන්ජි ජොං මින් යෑන් ව අනුගමනය කරමින් තණතිල්ල මත හිඳගෙන, තම දණිස මත නිකට තබා ගෙන හිස් බැල්මකින් දියකිඳුරා දෙස බලා සිටියාය.
ඇය කිඳුරාව සමීපව නිරීක්ෂණය කළ තුන්වන අවස්ථාව මෙය වුවත්, ඇය එසේ කළ පළමු අවස්ථා දෙකේදී ඔහු සිටියේ ජලයේය. මේ වන විට ඔහු ජලයෙන් පිටතට පැමිණ සිටි හෙයින් ඔහු වඩාත් සුදුමැලි මෙන්ම ජරාජීර්ණ වී ගොස් සිටියේය. ඔහුගේ දිගු හිසකෙස් ඇල්ගී මෙන් පැටලී, පිටුපසට සහ පපු පෙදෙසට එල්ලා වැටුණු අතර, සාමාන්‍ය හිසකෙස් වල වර්ණය මෙන් නොව, ඔහුගේ හිසකෙස් සඳුන් මෙන් කාලවර්ණ විය, දම් පැහැයක්ද මුසුව තිබුණු එය හිරු කිරණ හමුවේ අලංකාර අයුරින් දිස්වුණි.
ඔහුගේ දෑස් තළාකයක් මෙන් පඬුවන් නීල වර්ණයක් ගත්තේය, ඒවායේ අක්ෂි කක්ෂ සාමාන්‍ය මිනිසුන්ට වඩා පටු සහ දිගු වූ අතර ඔහුගේ බැල්මේ ගැඹුර වඩාත් කැපී පෙණුනි. ඔහුගේ සෘජු නාසයට පහළින් වූ සිහින් තොල්, සුදුමැලි මෙන්ම විකෘතිව තිබුණි, එය බොහෝ විට අධික වධ හිංසා නිසා හේතුවෙන් විය හැකිය.
කෙසේ වෙතත්, ඔබ ඔහු දෙස කෙසේ බැලුවද, ඔහු අද්විතීය චමත්කාරයෙන් යුත් පුද්ගලයෙකි. ඔහු යූ ස'ෆං හෝ ජොං මින් යෑන් තරම් කඩවසම් නොවිය හැකි නමුත් ඔහුව මුණගැසෙන ඕනෑම අයෙකුට ඔහුව කිසිදා අමතක නොවනු ඇත. ශෝකයේ ඉඟියක් සහිත සුදුමැලි නීල වර්ණ දෑස් යුගලයක් සහ ඔහුටම අනන්‍ය වූ මෘදු සන්සුන් භාවය ඔහු සතුව ඇත.
ෂුවැන්ජි ඔහුගේ දර්ශනයෙන් කෙතරම් අන්ධ වීද යත්, ඔහුගේ පැහැදිලි දෑස්වල සිනහව ඇයට දැනෙන්නට විය, හදිසියේම සිහි එළවා ගත් ඈ, ජොං මින් යෑන් ගේ වස්ත්‍රයෙන් ඇද කෑ ගැසුවාය, "බලන්න! ඔහු සිනාසෙනවා! ඔබට නිදහස් වීමට ලැබීම පිළිබඳව සතුටුද?"
ජොං මින් යෑන් මෙසේ පැවසුවේය, "ඔහු සිනාසෙන්නේ නැහැ! ඔබ නිවටයෙක් වගේ පෙනෙන්නේ!"
ඔහු තණ මතින් පැන, වටපිට බැලීය, "ඒ දරුවා ස'ෆං, ඇයි ඔහු පැමිණෙන්නේ නැත්තේ? ඔහුට කිසිම කරදරක් නැතිව ඇති නේද? ෂුවැන්ජි, ඇයි ඔබ ගිහින් බලන්නේ නැත්තේ?"
ෂුවැන්ජි ඔහුට කිසිසේත් ඇහුම්කන් දුන්නේ නැත, ඇය දියකිඳුරා ඉදිරිපිට රසවත් තැම්බූ කේක් එකක් අතැතිව සිටියාය.
"ඔබට කුසගිනියිද?" ඇය ප්‍රවේශමෙන් අසන්නට වූවාය, "ඔබට මදක් අවශ්‍යද?"
නිශ්ශබ්දව සිටි කිඳුරා උදාසීන ලෙස ඇය දෙස බැලීය. ෂුවැන්ජි තැම්බූ කේක් ගෙඩිය ආහාරයට ගත හැකි බව අඟවමින් එය මුවට ගෙන, නොඉඳුල් කැබැල්ල ඔහුගේ මුවට යැවීය, ඇගේ දෑස් අපේක්ෂාවෙන් දිදුලන්නට විය.
ඔහු තවමත් නොසෙල්වී, දැව කඳක් මෙන් අසුන් ගෙන සිටියි.
"ඔහු අපේ ආහාර ගන්න අකමැතියි වගේ නේද!" ජොං මින් යෑන් ද කුතුහලයට පත්වූ සෙයකි, "ඔහු කිඳුරෙක්, ඔහු කිඳුරන්ගේ ආහාර අනුභව කළ යුතුයි."
ෂුවැන්ජි විමතියට පත් වූවාය, "කිඳුරන් ආහාරයට ගන්නේ මොනවාද?"
"ආහ්..." ජොං මින් යෑන් බැරෑරුම් ලෙස සිතන්නට විය, "කිඳුරන්, මත්ස්‍යයන් මෙන් ජලයේ ජීවත් වන්නේ... ඔහු කුඩා කෘමීන් සහ ඉස්සන් අනුභව කරනවා විය යුතුයි! ඔහුට ලබාදීම සඳහා ඔබට ගැඩවිල් පණුවන් කැණ සොයන්න වේවි!"
ගැඩවිල් පණුවන්? ෂුවැන්ජිගේ හිස කාල වර්ණ සෙවණැල්ලකින් වලින් වැසී තිබුණි, ඔහුට එපිටින් වූ කිඳුරාද තරමක් දහඩිය දමන බවක් පෙණුනත්, ඔහු තවමත් සිටියේ නිහඬවය.
"මනුෂ්‍යයින් සහ කිඳුරන් ආහාරයට ගන්නේ සමාන දේවල්." යූ ස'ෆං ගේ හඬ පිටුපසින් ඇසුණි.
ජොං මින් යෑන් ක්ෂණිකව උඩ පැන්නේය, "කුමක්ද සිදුවුනේ? කවුරුන් හෝ යමක් දුටුවාද?"
යූ ස'ෆං ඇවිද ගොස් දියකිඳුරා දෙස බැලූ අතර ඔහුගේ සිරුර වෙළුම් පටිවලින් වැසී ඇති බව දුටු ඔහු, "ඔබද එය සිදුකළේ?" යනුවෙන් මෘදු ලෙස ෂුවැන්ජිගෙන් විමසීය.
ෂුවැන්ජි හිස වැනුවාය, "මනුෂ්‍යයන්ගේ අද්විතීය ඖෂධය ඔහුට ප්‍රයෝජනවත් වේදැයි මම දන්නේ නැහැ."
ඔහු සිනාසුණි, "එය ප්‍රයෝජනවත්. කලබල වෙන්න එපා"
ඇගේ දෑතේ වූ අතේ තැම්බූ කේක් දුටු ඔහු නැවතත් සිනාසුණේය: "කෙසේ වෙතත්, කිඳුරන්, මෙම කෙටි ආහාර ගන්න අකමැතියි, කරදර වෙන්න එපා."
ෂුවැන්ජි මෙසේ පැවසුවාය, "ඔහ්", එය අනුකම්පා සහගත විය, එබැවින් ඇයට තැම්බූ කේක් රාත්‍රී ආහාරය සඳහා ඉතිරි කර ගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.
ජොං මින් යෑන් වටපිටාව නිරීක්ෂණය කළේය , "අපි කළ යුත්තේ කුමක්ද? ඔහුව මෙම තළාකයට නිදහස් කරනවාද? ඔවුන් සොයා ගනීවිද? "
යූ ස'ෆං කිඳුරා ඉදිරිපිට අසුන් ගෙන, හුරුපුරුදු මිතුරෙකු දුටුවාක් මෙන්, ඔහුගේ දිගු, නොහික්මුණු හිසකෙස් සැකසීමට දෑත ඔසවා මෘදු ලෙස මෙසේ පැවසුවේය, "බිය වන්න එපා. දින කිහිපයක් මෙහි ඉන්න. කිසිවෙකුට ඔබව අල්ලා ගැනීමට දෙන්න එපා. මසකට පසු, ඔබ වෙනුවෙන් අයෙක් පැමිණේවි."
ඔහු පැවසූ දෙය වටහා ගත් පෙනුණු කිඳුරා, ඇසිපිය සලා ඊට එකඟ විය. ජොං මින් යෑන් විමතියට පත් වුණි, "ඔහුට ස'ෆං ව වටහා ගත හැකියි! හහ්? කිඳුරා මධ්‍යම තැනිතලාවේ අව්‍යාජ උච්චාරණය වටහා නොගෙන බටහිර උපභාෂාවට කැමති වූවා විය හැකිද?"
යූ ස'ෆං ඔහු දෙස බැලුවේ අසරණවය, පසුව නැවතත් කිඳුරා දෙසට හැරී මෙසේ පැවසීය, "මා පැවසූ දෙය සිහියේ තබා ගන්න. ඉක්මනින්ම කවුරුන් හෝ පැමිණෙයි."
"ඔබ කොහොමද දන්නේ ඔහුව ගෙනයන්න අයෙකු පැමිණෙන බව, ස'ෆං?" ෂුවැන්ජි විමසුවාය.
මොහොතකට නැවතුණු ස'ෆං පසුව පිළිතුරු ලබා දුණි, "අප, ලී ස' මාලිගයේ, මෙම තුවාල ලැබූ සහ බාලවයස්කාර අසුරයන් සමඟ කටයුතු කිරීමට වගකිව යුතු පුද්ගලයින් සිටිනවා. ලොව සෑම නිකායක්ම ඔබලාගේ ෂාඕයැන්ග් නිකාය මෙන් වෙනස් පුද්ගලයින් නොසලකා හරින්නේ නැහැ."
ජොං මින් යෑන් මෙයිත් තරමක් කෝපයට පත් වුවද, ඔහු නිවැරදි බව තත්පරයක් යාමට මත්තෙන් සිතන්නට විය, මන්ද යත් ප්‍රධානීතුමා හෝ ඇදුරුතුමා මෙම කිඳුරාව දුටුවේ නම්, ඔහුව බේරාගැනීම වෙනුවට සිදුවන්නේ ඔහු අත්තඩංගුවට පත් වීමයි.
තමන්ට අවාසිදායක තත්ත්වයක සිටින බව හැඟුණු නිසාත්, එය පිළිගැනීමට අකමැති වූ නිසාත්, ඔහු කිසිත් නොපවසා කොඳුරමින් යන්නට ගියේය.
ෂුවැන්ජි මෘදු හඬකින් මෙලෙස පැවසුවාය "මම මට වඩා වෙනස් අයව බැහැර කරන්නේ නැහැ, මම උපකාර කරන්නේ උපකාර අවශ්‍ය අයට පමණයි. ඔවුන් අසුරයින් හෝ මනුෂයින් වුවත්"
යූ ස'ෆං නිහඬ වුණි. මද වේලාවකට පසු, ඔහු සෙමින් කිඳුරා වෙත තල්ලුවක් ලබා දී, "ඔබ යන්න. මෙන්න ඔබට ඖෂධ කුප්පියක්. ඔබට කුසගිනි වූ විට, එකක් ගන්න. තුවාල වලට හොඳයි."යැයි පැවසීය. ඔහු කුඩා දම් පැහැති පිඟන් මැටි කුප්පිය තන්තුවකින් කිඳුරාගේ ඉණෙහි ගැටගැසුවේය.
කිඳුරා ඔහු දෙස ගැඹුරින් බලා, පසුව ෂුවැන්ජි දෙසට, හදිසියේම හිස ඔසවා, ඔහුගේ මුව විවෘත කර, පැහැදිලි සියුරු සන් හඬක් නිකුත් කළේය.
ශබ්දය සිතාගත නොහැකි තරම් සුන්දර විය, ඊට සවන් දෙන ප්‍රථම වතාවේදීම, අසන්නාගේ සිරුර පුරාම රෝමකූපයන් සෘජු වනු ඇත. මුළු ශරීරයම ප්‍රබෝධමත් වූවාක් මෙන් සැහැල්ලු වනු ඇත.
අවසන් වරට ෂුවැන්ජි දෙස බැලූ ඔහු ක්ෂණිකව දිය යටට ලිස්සා ගියේය. රිදී මත්ස්‍ය වල්ගය, සූර්‍යයා තුළ වූ සිහින් අලෝක පිළක් මෙන් විය. එය චමත්කාර ජනක ලෙස සැලෙමින් දීප්තිය උතුරා ගිය අතර, ඔහු එක දිය බිඳක්වත් නොඉසිරෙන පරිදි සියුම්ව සහ දක්ෂ ලෙස තළාක ජලයට පැන්නේය.
දිය රැලිති කෙමෙන් කෙමෙන් විශාල වන අයුරු බලා සිටි තිදෙනාගේ දෑස් තිගැස්සී යන්නට විය. අවසානයේ හිම මෙන් ශ්වේතවර්ණ කිඳුරාගේ රුව නොපෙනී ගියේය, ඔහුගේ ගායනය තවමත් ඔවුන්ගේ සවන් දෙසට ගලා යමින්, බොහෝ ඈතින් ඇසෙමින් තිබුණි.
ගණනය කළ නොහැකි තරම් කාලයකට පසු, ෂුවැන්ජි ස්වප්නරූපී ගායනයෙන් අවදි වී මනුෂ්‍යයෙකුගේ සෙවනැල්ලකින් අඩක් පැවති තළාකය දෙස බැලුවාය.
"හොඳයි, ඔහු කුමක්ද සිදුකළේ ... ඔහු ගායනා කළේ කුමක්ද?" ජොං මින් යෑන් තවමත් මඳක් තුෂ්නිම්භූතව සිටියේය, "මම මීට පෙර කවදාවත් එවැනි හඬක් අසා නැහැ."
යූ ස'ෆං මැලවී ගියේය, "ඔහු අපට ස්තුති කළා. බොහෝ මිනිසුන් පවසනවා කිඳුරන් තම ගායනය ඔවුන්ගේ මනස ව්‍යාකූල කිරීමට භාවිතා කරන බව. සත්‍ය වශයෙන්ම ඒ මිනිසුන් තමයි සිත් වල සොල්මන් තබාගෙන සිටින අය. දියකිඳුරන්ට තම කටහඬ තමයි ඔවුන්ගේ සුන්දරම ආභරණය. එම නිසා මේ අගනා වස්තුව ඔවුන් තමන්ගේ ගැලවුම්කරුවාට පරිත්‍යාග කරනවා."
ෂුවැන්ජි ඇගේ දෑත ස්පර්ශ කළේ දැඩි බියෙනි, එහි වූ සෘජු රෝමකූපයන් තවමත් පහව ගොස් නැත.
බොහෝ වේලාවක් නිශ්ශබ්දව සිටි ඈ එක්වරම සිනහවක් පාමින් පැවසුවේ "මුතු සංසිද්ධිය සාර්ථක ලෙස අවසන් යැයි සලකනවාද?" ලෙසයි.
මුලින්ම තුෂ්නිම්භූත වූ ඔවුන් පසුව සිනාසුණහ. ඔවුන් එක හඬින් තම දෑත් දිගු කර කෑ ගසන්නට වූහ: "පරිපූර්ණ අවසානයක්! අපි වීරවරයෝ!"
අපි වීරවරයෝ!
එදින සන්ධ්‍යා සමයේ මෙම වදන් තළාකයෙහි පාවෙමින් තිබුණි.
ජීවිතයේ ප්‍රථම වතාවට යෞවනයන් තිදෙනාට වීරයන් වීමේ ප්‍රීතිය දැනුණි.
ඔවුන් නැවත තානායම වෙත පැමිණෙන විට, ඔවුන්ගේ මුහුණු උද්වේගයෙන් රත් පැහැ වී තිබුණි, අවසානයේ දී චූ යිං හොං ඔවුන් සන්ධ්‍යාවේ සිදු කළේ කුමක්දැයි දිගින් දිගටම විමසූ නමුත් ඔවුන් කිසිවෙක් කිසිවක් පැවසුවේ නැත, සිනාසුණා පමණි.
මෙම තිදෙනාගේ රහස, මෙතැන් පටන් ජීවිතාන්තය දක්වාම මිත්‍රත්වයේ රහසකි.
Comments
Post a Comment