18) අතීත සිදුවීම්

චූ යිං හොං සහ දො ෆං චිංචි නැවත නැවතත් ගුහාවට ගොස් ඌව සෙවූ නමුත් ඔවුන්ට කිසිවක් සොයාගත නොහැකි විය.

ඔවුන් සිතූ පරිදි ගුහාව වෙනත් ස්ථානවලට සම්බන්ධ වූයේ නැත. එහි අවසානයට ළඟා වීමට පැය භාගයක් පමණ ගතවුණි. ඔවුන් ගුහාවේ ඇති සියලුම දෙබල් පරීක්ෂා කරමින් බොහෝ සැලකිලිමත් ලෙස සෙවූ නමුත් ගු රාජාලියාගේ එක් පිහාටුවක්වත් සොයා ගැනීමට නොහැකි විය.

ෂුවන්ජි ඇතුළු පිරිස සැඟවී සිටි ගුහාවේ දෙබලක පමණක් පොළව කම්පා කරවන රහසක් පවසන්නාක් මෙන් නිශ්ශබ්ද සහ අද්භූත බවක්ද වියළුණු කාල වර්ණ රුධිරය කඩිත්තක්ද පොළොව මත විය.

දොං ෆං චිංචි බොහෝ වේලාවක් අවට ප්‍රදේශය පරීක්ෂා කළේය. "පලායාමේ කිසිදු සලකුණක් නැහැ." චූ යිං හොං වෙත ගොස් රුධිර පැල්ලම පරීක්ෂා කිරීමට පහත් වන අතරතුරේ ඔහු පැවසීය.

"මේ දෙස බලන්න," නිශ්ශබ්දව සිටි චූ යිං හොං, රුධිර පැල්ලම් දෙසට ඇඟිල්ල දිගු කරමින් පැවසුවාය, "මෙතරම් රුධිරය වගුරුවන්න තරම් එම අසුරයාට කුමක්ද සිදු වුණේ?"

"සමහරවිට ඔබයි මමයි අසිපතෙන් කල පහරදීම් නිසා වෙන්න ඇති" ඔහු සිතුවේය.

එසේ පවසා අවසන් වූ පසු, ඔහුම තම හිස සැලීය "නැහැ, එම තුවාල දෙකෙන් රුධිර ගංගාවක් එන්නේ නැහැ".

බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටි චූ යිං හොං එක්වරම මෙසේ පැවසුවාය "ඌ . . . හදිසියේම අතුරුදහන් වූවා විය හැකිද? මෙහි සලකුණු වලින් පෙනෙන්නේ ඌට වඩා විශාල යමෙකු විසින් ගු රාජාලියාව ජීවත්ව සිටියදී ආහාරයට ගෙන ඇති බවයි."

එලෙස පැවසූ වහාම දෙදෙනාම එක්වර නිහඬ වුණි.

පළපුරුදු ධ්‍යානවේදීන් වූ ඔවුන් දෙදෙනාම දහස් සංඛ්‍යාත අසුරයින් දැක ඇත. අසුරයන් අතරින් විශාලතම නොවුනත්, මෙම ගූ රාජාලියා තවමත් ගනුදෙනු කිරීමට අපහසුම පළමු දස දෙනා අතරට වර්ග කළ හැකිය, ඌව එක් පිඬකට ගිලදැමීම වළකාගැනීමට නොහැකි තරම් බලවත් යමක් මේ ලොව පවතීනම්, එය - එය කෙතරම් භයානක දෙයක් විය හැකිද?

ලොව පුනරුත්පත්තිය සඳහා බොහෝ මාර්ග තිබේ, ස්වර්ගීය තාඕ වඩාත්ම අගනා වූද, අසුර තාඕ වඩාත්ම මාරාන්තික වූද, කුසගින්නෙන් පෙළෙන සොල්මන් තාඕ වඩාත් කුරිරු වූද, දුගති තාඕ වඩාත් බලවත් වූද යන ලෙස වේ. ලොව මෙතෙක් නොදුටු බොහෝ ජීවීන් සිටින අතර, ඔවුන් ඒ ගැන සිතන්නේ මන්දැයි ඔවුන් නොදනිති, නමුත් මෙම මාර්ග සය අතරින්, අසුරයන් සහ යක්ෂයන් මරා දැමීමට සමත් වන්නේ ස්වර්ගීය තාඕ සහ අසුර තාඕ පමණි.

නමුත් අසුරයන් මරා දැමීමේ අරමුණින් මෙම කුඩා ගුහාවේ හදිසියේම අමරණීයයෙකු හෝ අසුර තාඕ කෙනෙකු පෙනී සිට අතුරුදහන් වූ බව ඔවුන් විශ්වාස කිරීම සූඛර ධේනුවකට කතාබහ කළ හැකි බව විශ්වාස කිරීමටත් වඩා දුෂ්කර ය.

දෙදෙනා සුසුම්හෙලා අවසානයේදී කාර්‍යය අතහැර දැමීමට තීරණය කළහ.

"අපි නැවත යමු." දොං ෆං චිංචි පැවසීය, "අපි ලූතායි නගරයේ සිටිමින් බොහෝ කාලයක් ප්‍රමාද වුණා, අපට පුෂ්ප මංගල්‍යයට යා නොහැකි වේද කියා මට බියක් දැනෙනවා."

චු යිං හොං හිස සැලුවද ඇගේ දෑස් යොමු වුණේ දැව වෙළුමක් සහිත ඔහුගේ දෑත දෙසටයි.

ඇය අදහස් කළේ කුමක්දැයි වටහා ගත් ඔහු සිනාමුසු මුහුණින් වෙළුම් පටිය ගලවා දැව පතුර බිම හෙළා, සිය ඇඟිලි පස ඉතා හොඳින් දිගු කර, එකවරම ගුහාවේ බිත්තියට තට්ටු කරන අභිනයක් දැක්වූයේය.

සුන්බුන් කිසිවක්, කිසිදු ශබ්දයක් එහි නොතිබූ අතර, ඔහු තම අත්ල ඉවත් කරන විට, ගුහා බිත්තියේ අත්ලේ ගැඹුරු සලකුණක් පමණක් ඉතිරි විය. ඔහු ටෝෆු[1] කැබැල්ලක් කුඩු කර දමන්නාක් මෙන් සැහැල්ලුවෙන් තම නිදහස් අතින් පාෂාණය මත අත්ල සලකුණක් සටහන් කළේය.

"දීප ප්‍රධානීතුමාගේ මියැන්‍ රොඋ[2] මුද්‍රාව විශිෂ්ටයි" චූ යිං හොං සිනාසෙන අතරතුරේ තම ප්‍රශංසාව එක් කළාය.

කිහිප වතාවක්ම සිනාසුණු දොං ෆං චිංචි , තුවාල වූ දෑතට ඔහුගේ අනෙක් අතින් දෙවරක් තට්ටු කර, "ෂාඕයැන්ග් හි ජින්චුවැන්[3] ඖෂධය ඉතා ප්‍රසිද්ධයි, එයට ස්තූතිවන්ත වන්නට තුවාලය ඉක්මනින්ම සුවවේවි." යැයි පැවසීය.

ඔහුව අනුගමනය කරමින් ගුහාවෙන් පිටතට පැමිණි චූ යිං හොං මෙලෙස පැවසුවාය, "දීප ප්‍රධානීතුමාගේ බලය අතිවිශිෂ්ටයි, ඔහුගේ අභ්‍යන්තර ශ්වසනයන් සුපිරිසිදුයි, එබැවින් ඔහු දින කිහිපයකින් සුව වේවි. කෙසේ වෙතත්, මම කල්පනා කරන්නේ පුෂ්ප පළඳනා තරඟාවලියට ෆූයූ දිවයිනෙන් පිටත් කරවන නවක ශිෂ්‍යයා කවුරුන්ද කියලා?"

"ඒ පිළිබඳ කිසිවක් නොදන්නා බව පැවසීමත් ලැජ්ජාවට කරුණක්, තෝරාගන්නා ශිෂ්‍යයා තීරණය කරන්නේ මගේ බිරිඳ.." තම භාර්‍යාව පිළිබඳව පවසන විට, ඔහුගේ පිරිමි මුහුණේ මුදු මොළොක් බවක් අවසානයේ දිස් වූ අතර ඔහුගේ සාමාන්‍යය නොහික්මුණු බැල්ම වඩාත් මෘදු විය. "නමුත් මම විශ්වාස කරනවා ‍යූ නිං සහ පියැන් පියැන් අත් හල නොහැකි බව!"

මෙම දෙදෙනා ෆූයූ දිවයිනෙහි තරුණ ශිෂ්‍යයින් අතරින් වඩාත් කැපී පෙනෙන අයයි. ෆූයූ දිවයිනෙහි කුංෆු කලාව ෂාඕයැන්ග් හි ප්‍රබල වූත් සරල වූත් ක්‍රමවලට වඩා හාත්පසින්ම වෙනස් විය, ඒවා මෘදු බව, ද්‍රවශීලතාවය, සැහැල්ලු බව සහ දක්ෂතාවය අවධාරණය කරයි. ගියවර පුෂ්ප පළඳනා තරඟාවලියෙන් ජයග්‍රහණය කිරීමට පියැන් පියැන් සහ යූ නිං අපොහොසත් වුවද, අග්නි මෙන් රක්ත වර්ණ වූත් නැවුම් හිම මෙන් ශ්වේත වර්ණ වූත් අසිපත් ද්විත්වය, තවමත් පැමිණ සිටි සියල්ලන්ගේ මනසෙහි නැවුම්ව සටහන්ව තිබුණි. මෙම වර්ෂයේ පුෂ්ප පළඳනා තරඟාවලිය ජයග්‍රහණය කිරීමට වඩාත් උනන්දුවෙන් බලා සිටින අපේක්ෂකයන් ද ඔවුන්ය.

චු යිං හොං මීට පස් වසරකට පෙර පැවති අපූරු තරඟය පිළිබඳව සිතමින් සිනාසුණි, " මතකද, ෂියාඕ පියැන් පියැන්ට පස් වසයි. ඇපල් සඳහා මින්ෂිං හඹා එමින් ඇය අපගේ ෂාඕයැන්ග් නිකාය වෙත පැමිණෙද්දි ඇගේ හිස මත විශාල රක්ත වර්ණ සේද පටියක් තිබුණා. දැන් ඇය වැඩුණු සිහින් ගැහැණු දරුවෙක්."

හදිසියේම අමුතු ප්‍රකාශනයක් දැක්වූ දොං ෆං චිංචි දෙවරක් කහින්නට විය, පසුව ඔහු මෙසේ මිමිණීය: "ඒ යූ නිං, චූ ආර්යාවනි."

"අහ්?" චූ යිං හොං ප්‍රථම වතාවට ලැජ්ජා සහගත බැල්මක් පෙන්වූවාය "එසේනම්... ඒ පියැන් පියැන් ද...?"

"යූ නිං ගැහැණු දරුවෙක්, පියැන් පියැන් පිරිමි දරුවෙක්..." දොං ෆං චිංචි ලැජ්ජාවට පත් වුණි. "චූ ආර්‍යාව කලබල වෙන්න එපා. ෆූ යූ දිවයිනේ සිටින සෙසු ශිෂ්‍යන් පවා පටලවා ගන්නවා."

එතරම් විකේන්ද්‍රික වූ ඔහුගේ භාර්‍යාව කුඩා පිරිමි දරුවකුට ගැහැණු දරුවකගේ නමක් තැබීමට බල කර සිටීම, මිනිසුන් තමන්ගේ නාමය අසනා විට පියැන් පියැන්ව දැඩිලෙස මානසික අවපීඩන තත්වයකට පත්කිරීමට සමත් විය. විසි වස් වියැති තරුණයෙක්ව දිනය පුරාවටම "පක්ෂියා" ලෙස හැඳින්වීම සත්‍ය වශයෙන්ම ගැටලුවකි.

"හහ් හහ්, මම ව්‍යාකූල වුණා . . ." චු යිං හොං ලැජ්ජා සහගත තත්වය මකා දැමීමට සිනාසුණි. "ඔබේ බිරිඳත් මෙම පුෂ්ප පළඳනා තරඟාවලියට පැමිණෙනවාද?"

දීප ප්‍රධානීතුමා හිස සලා සිනාසුණි, "පසුගිය වතාවේ මගේ බිරිඳ අසනීප වුණ නිසා සහභාගී වුණේ නැහැ, ඒ නිසා මම පසුගිය දින කිහිපයේ ඇය පිළිබඳව කරදරයෙන් සිටියේ. මට විශ්වාසයි මෙවර ඇය පැමිණේවි කියලා. මට විශ්වාසයි ඇය දැනටමත් ශිෂ්‍යයන්ව ෂාඕයැන්ග් කඳුකරය වෙත ගෙන ගොස් ඇති."

ඔහු එසේ පැවසීම පිළිබඳව චූ යිං හොං සතුටු විය. ඔහු ආපසු ගොස් තම භාර්‍යාව ඉක්මනින් මුණ ගැසිය යුතුය. "දීප ප්‍රධානීතුමා සහ බිරිඳ ඉතා ආදරණීයයි, ඔවුන් සත්‍ය වශයෙන්ම මිනිසුන්ට ඊර්ෂ්‍යා ඇති කරවනවා." ඇයට මෘදු ලෙස පැවසුවාය.

දොං ෆං චිංචි මහා හඬින් සිනාසුණි, "චූ ආර්යාව සහ හ' යැං දෙව්ලොවින් කරවන ලද ගැලපීමක්."

ඔහු තම ස්වාමිපුරුෂයා පිළිබඳව සඳහන් කරනු ඇසුණු චූ යිං හොං ගේ හදවතට මිහිරි බවක් දැණුණි.

ගුරුකුලයේ නව ප්‍රධානියා තෝරන විට ඇය ද අභිලාෂකාමී විය. ඇතුලට යන ලෙස නියෝග කළ ඇයගේ උපදේශකයා ඇයට පැවසුවේ මෙසේයි, "යිං හොං, ඔබ ඉතා දක්ෂයි. ඔබ කෙතරම් දක්‍ෂද යත් ඔබ එය ඔබගේ දුර්වලකමක් බවට පත් කරගෙන තිබෙන්නේ."

තෙදිනකට පසු, ප්‍රධානීතුමා ක්‍රේන්[4] පිළිරුවක්ද අතැතිව මියගොස් සිටියේ සටහනක් ඉතිරි කරමිනි: චූ ලෙයි ගුරුකුලයේ මීළඟ ප්‍රධානියා විය යුතුයි.

එම මොහොතේ ඇයට දැනුණේ ගුවනත් පොළවත් දෙකඩ වන ආකාරයයි. ස්වභාවයෙන්ම අහංකාර වූ ඇය මෙවන් නින්දාවක් කෙසේ පිළිගන්නද? එදින රාත්‍රියේදී ඇය තමාගේ විශ්වාසවන්ත මිත්‍රයන් එක්රැස් කර ෂාඕයැන්ග් හැර ගොස් ඇගේම නිකායක් ආරම්භ කළාය.

ජ්‍යෙෂ්ඨ සොහොයුරු හ'යැං පැමිණ ඇය සමඟ ෂාඕයැන්ග් කඳු මුදුනට ගොස් මුළු රාත්‍රියම කතාබහ කරමින් ගත කළේ ඒ මොහොතේය. ඔහුගේ විනෝදකාමී සැහැල්ලු බව ඇයව ආකර්ෂණයට පත් කරගෙන තිබුණි. හ'යැං ගුවනෙහි වූ මේඝයන් වැනිය, ආචාරසම්පන්නය, ත්‍යාගශීලී සහ දර්ශනීය ය. දරුවෙකු මෙන් ඇය යටහත් වීමට කැමැත්තක් ඇති කිසිවෙකු ලොව සිටීනම් ඒ ඔහුම පමණි.

පසුදින කඳු මුදුනෙන් බැස එන විට දෙදෙනා එකට දෑත් අල්ලාගෙන සිටියහ.

සය මසකට පසුව ඔවුන් විවාපත් විය.

වසර ගණනාවක් සැණෙකින් ගෙවී ගියද ඔවුන් කිසිසේත්ම වෙනස් නොවුණි. තවමත් ඔහු, ඇගේ දෑතින් අල්ලාගෙන හිමිදිරි උදෑසන සැහැල්ලුවෙන් පර්වත මතින් පැන යමින් සිටින්නාක් මෙනි.

ඇය ක්‍රමක්‍රමයෙන් තම උපදේශකවරයාගේ දූරදර්ශී බව අවබෝධ කර ගත් අතර, ඇයට වඩා නායකත්වයට චූ ලෙයි සත්‍ය වශයෙන්ම සුදුසු වී තිබුණි.

ඇය තියුණු තලයක් සහිත අසිපත් කෝෂයක් නැති කිණිස්සකි. එය සතුරාට පමණක් නොව තමාටද රිදවීමට තරම් තියුණුය.

හ' යැං යනු ඇගේ අසිපත් කෝෂය වන අතර, ඇගේ සියලු කණ්ටක බව සහ තියුණු බව සියුම් ලෙස සඟවයි.

ඔහු නොමැති වූවා නම් චූ යිං හොං අද වන විට කෙබඳු අයෙක් බවට පත් වේවිද?

අතීතය සිහිපත් කරන විට, ගූ රාජාලියා පිළිබඳව අමතක වී ගොස් ඇගේ මුවගට සිනහවක් නැගුණු අතර යම් දුකක්ද දැණුනි.

ඔවුන් නැවත තානායම වෙත පැමිණෙන විට, දරුවන් තිදෙනාම සිනාසෙමින් අභිරහස් ලෙස සිටි අතර, ඔවුන් සිදු කළේ කුමක්ද යන්න කිසිවෙක් දැන සිටියේ නැත.

ඔවුන් දෙස බලන විට මට දැනෙන්නේ ඒ දින වල මාව දුටුවා වගේ.

යම් දිනක මේ දරුවන් වැඩිහිටියන් වී නිකාය දීප්තිමත් කිරීමේ භාරදූර කාර්යය භාර ගනු ඇත. මේ අතරතුරේදී, වැරදි වැටහීම් ඇති විය හැකි අතර, බිඳී යාම් වලට ලක් වීමට පවා ඉඩ ඇත. නමුත් ඔවුන් එකම විශ්වාසයන් බෙදා ගන්නා තාක් කල්, ඔවුන්ට ඉදිරියට යාමට හැකි වනු ඇත.

********************

[1]: Tofu (ජපන්: 豆腐,කොරියානු: 두부; චීන: 豆腐; පින්‍ යින්: dòufu)- සෝයා බෝංචි වලින් සාදන ටෝෆු , මෘදු, රසවත් ආහාරයකි.


[2]: Mianrou (綿柔/Miánróu) පරිවර්තනය 'මෘදු', වචනාර්ථයෙන් 綿[පුළුන්] 柔[මෘදු]. - මෘදු අත්ල මුද්‍රාව, ගුහාව සලකුණු කිරීමට දොං ෆං චිංචි විසින් සිදු කරන ලද පියවරේ නාමය වේ.

[3]: Jinchuang - (එය රත්න ක්ෂතය/තුවාලය ලෙස පරිවර්තනය කළ හැක) , ෂුවැන්ජි විසින් පෙර පරිච්ඡේදයේදී කිඳුරාට ලබා දුන් ඖෂධයම වේ.

[4]: Crane - ඌ සංතෝෂයේ පක්ෂියා ලෙස සැලකේ. වසර 1,000 ක් ජීවත් වන බව කියනු ලබන හෙයින් ඌ වාසනාවේ සහ දීර්ඝායු බවේ සංකේතයක් ලෙස කලාව, සාහිත්‍යය සහ මිත්‍යා කථා වල දැක්වේ. 



Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)