2) ෂාඕයැන්ග්

එය ග්‍රීෂ්ම ඍතුවේ මැද භාගයයි, දිවා කල රස්නය ඇතුළට සහ පිටතට පෙරළෙමින් තිබුණි. ෂාඕයැන්ග් කඳු මුදුන පිටුපස වූ කුඩා උද්‍යානය බොහෝ සිසිල් වූ අතර මද පවන දසතින් හමා යමින් තිබුණි, එමෙන්ම එහි වූ රූස්ස වෘක්ෂයන් දීප්තිමත් හිරු එළිය අවහිර කරන්නට විය. රූස්ස වෘක්ෂයන් අතරින් සුළඟ හමා ගියේ ලාලිත්‍ය ගීතයක් මෙනි.

වයස අවුරුදු දහයක් පමණ වූ කුඩා දැරියක්, පොකුණක් අසල වූ විශාල හරිත වර්ණ පර්වතයක් මත අසුන් ගෙන සිටි අතර ඇගේ දිගු , කාල වර්ණ, දිලිසෙන ලිහිල් කෙස් කලඹ පිටුපසින් දිගහැරී තිබුණි. එමෙන්ම ඇගේ දෑතෙහි විශාල පුස්තකයක් වුවත් ඈ එය කියවන්නට වූයේ බොහෝ අලසකමකිනි.

"...සැතපුම් තුන්සියයක් දකුණට වන්නට ග'න්ග් නම් කඳුකරයක් තිබේ, එහි කිසිදු වෘක්ෂයක් හෝ තණ පැලෑටියක් නොවීය, එහි වූයේ මහා ජල කඳන් සහ විශාල සර්පයින් ය. එමෙන්ම එහි මෘගයින්ද විය..."

සියළු අසුරයන්ගේ ලැයිස්තුව කියවීමෙන් අනතුරුව ඇයට දැනුනේ අලස බවකි, තම පාවහන් ගලවා එහි වූ පොකුණට පා ඇඟිලි දිගු කරමින් එහි ආහාර සොයමින් සිටි විශාල රන්වන් පැහැ වලිග ඇති කාෆ් මත්‍ස්‍යයින් හට ඈ සරදම් කරන්නට වූවාය. "මෘගයන් සහ මසුන් දඩයම් කිරීම. මම රසවත් දෙයක් දඩයම් කරන්නම්!"

"කුමක්ද රසවත්?" සිනහව මුසු වූ තරුණයෙකුගේ හඬක් පසුපසින් ඇසුණි.

කුඩා දැරිය ඉතා අලස ලෙස තම දෙපා පසුපසට ඔසවා පාවහන් දමමින් පිටුපස නොබලාම මෙසේ විමසන්නට විය, "කුමන රසද අයියණ්ඩි?"

ඈ වෙතට පැමිණි දූ මිංෂිං ඇගේ හිස පිරිමැද්දේ ඉතා සෙනෙහසිනි, ඔහු සිනාසෙමින් ඇගෙන් නැවත මෙසේ විමසන්නට වූයේය, " මම ඔබෙන් විමසන්නේ. ඔබ මේ දැන් මුමුණමින් සිටියේ කුමක්ද?"

කුඩා දැරිය තම අත වූ පුස්තකය ඔහුට පෙන්වූවාය. "මම අසුරයන්ගේ ලැයිස්තුව සිහිකරමින් සිටියේ, එය බොහෝ නීරසයි."

ඇගේ අලස පෙනුම දුටු දූ මිංෂිං හට තම සිනහව තව දුරටත් රඳවාගෙන සිටීමට හැකි වූයේ නැත: "ඔබ බොහෝ සෙයින් අලස බවත් පුහුණු වීම් සඳහා නොයන බවත් ඇදුරුතුමා සහ මැතිණිය නිතරම පැවසීම අරුමයක් නෙවෙයි. අවම වශයෙන් ඔබට අසුරයින්ගේ ලැයිස්තුව සිහි තබා ගැනීමටවත් අවශ්‍යතාවයක් නැහැ."

වචනයකුදු කතා නොකළ කුඩා දැරිය හිස නවා තම අඳනයෙහි වූ ජේඩ් පෙන්ඩනය සමග සෙල්ලමෙහි යෙදෙන්නට විය. මද වේලාවකින් ඇය මෙසේ පැවසුවාය, "ඔහ්, සෑම දිනකම මම අභ්‍යාසයන්හි යෙදෙනවා. එය මගේ ඉණ තුවාල කරනවා වගේම පාද වලට වේදනාවක් ගෙනදෙනවා. මම දන්නේ නැහැ එය කුමක්ද කියලා. අමරණීයයෙක් බවට පත්වීම පිළිබඳව මට කිසි විශ්වාසයක් නැහැ. සෑමදිනම මිනිසුන් , අර නිකාය සහෝදරයන් මෙන් වෙහෙස වෙනවා, ඔවුන් හරිම අප්‍රසන්නයි."

ඇයට සවන් දුන් දූ මින් ෂිං නැවතත් සිනාසුණි: " අභ්‍යාස සිදුකරන්නේ ශරීරය ශක්තිමත් වීම සඳහා. ඔබ කවර හෝ අවස්ථාවක දැක තිබෙනවාද අසනීප වී දුර්වල වූ අමරණීයයෙක්? ශරීරය ශක්තිමත් නම් පමණයි ඔබට මායාව පුහුණු කළ හැක්කේ, එසේ නොමැතිව ඔබ ගුවන්ගත වන්නේ කෙසේද? අසුරයන් විනාශ කර දමන්නේ කෙසේද?"

තවදුරටත් ඔහු සමග තර්ක කිරීමට තරම් හේතුවක් ඈ සතුව නොවීය, තම සහෝදරයා පවසන දේ සත්‍යක් ඇති බව ඇගේ හදවතට දැනුනත්, ඇයට අසිපත සමග අභ්‍යාස කිරීමටවත් නර්තනයේ යෙදීමටවත් නොහැකි විය.

දූ මින් ෂිං හට තව දුරටත් එම දැරියට අවවාද කිරීමට සිත් නොවීය.

මෙම තරුණිය ලින්ග් ලොං ට වඩා බොහෝ සෙයින් වෙනස්. ඔබ ලින්ග් ලොං හට කතා කිරීමේදී ඇය සවන් දීමට අකමැති නම් ඇය වාද කිරීමට පටන් ගනී, නමුත් ඇයගේ අකමැත්තක් නොමැති නම් ඇය ඉතා කීකරු ලෙස ඇයට පැවසූ දෙය සිදු කරයි; නමුත් ඔබ ඇයට තෙදිනක් පුරාවට කතා කළහොත්, ඇය එකඟ වන ආකාරයට හිස සලමින් ඒ සියල්ල අමතක කර ඇයට අවශ්‍ය දේ සිදුකරයි.

"අද දින, කුඩා නැගණිය ලින්ග් ලොං හට මැතිණිය දුවන් ජින්[1] ලබා දුන්නා." ඇයට සරදම් කරමින් ඔහු මෙසේ පවසන්නට විය, " මෙතැන් සිට ඔබේ සොයුරියට පහරදීම් සහ ඉරියව් පුහුණු කිරීමට සිදුවන්නේ නැහැ, ඇයට අසිපත් සටන් පුහුණු විය හැකියි."

"ඔහ්," ඇය පැවසීය. උදාසීන ලෙස එතැන සිටි ඇය එයට සිහියෙන් සවන් දුන් බවක් පෙනෙන්නට තිබුණේද නැත.

"චූ ෂුවැන්ජි." ඔහු ඉතාමත් බැරෑරුම් ලෙස ඇයව ආමන්ත්‍රණය කළේය.

තුෂ්නිම්භූත වූ ෂුවැන්ජි අකමැත්තෙන්ම හරිත පැහැ පර්වතය මතින් පැන ඔහුට හිස නමා ආචාර කළාය, "ෂුවැන්ජි වාර්තා කරනවා, මට ඔබ වෙනුවෙන් කළහැක්කේ කුමක්ද අයියණ්ඩි?"

දූ මිංෂිං ඇගෙන් දැඩි ලෙස මෙසේ විමසීය," ඇයි ඔබට අභ්‍යාස කිරීමේ වුවමනාවක් නැත්තේ?"

තම දෙතොල් සපාගත් ඇගේ මුහුණ මුරණ්ඩු සහ ළදරු ස්වභාවයක් ගන්නට විය, මද වේලාවකින් තම දෙතොල් උල් කරමින් ඈ මෙසේ පිළිතුරු දුනි, " මගේ දෙමාපියන්, මාමණ්ඩිය සහ ඇදුරුතුමන් පවසන දෙය මට වැටහෙනවා, නමුත් වටහා ගත් පමණින් එයින් අර්ථවත් වෙන්නේ නැහැ එය ඔබට සිදු කළ හැකි බව. මට වැටහෙන්නේ නැහැ මම පුහුණුවීම් සිදු කළ යුත්තේ ඇයි කියලා. ඔබ මට දහස් වතාවක් එය පවසා තිබෙනවා, නමුත් තවමත් මට එය වැටහුනේ නැහැ."

දූ මිංෂිං සුසුම්ලන්නට වූයේය. ඔහු තම නැගණියන් දෙදෙනාට සෙනෙහස දැක්වුවේ තමාගේම යැයි සලකමිනි. කෙසේවෙතත්, ලින්ග් ලොං මදක් මිත්‍රශීලී සහ උනන්දු අයෙකි, කිසිවකුගේ උපකාරයකින් තොරවම නොමග යන්නීය. නමුත් සත්‍ය වශයෙන්ම සමහර අවස්තාවන්හිදී තම අමනාපය පෙන්වීමට , උපදේශකයින්ට වාර්තා කිරීම වෙනුවට ෂුවැන්ජි හට පහර දීමට ඔහුට අවශ්‍ය විය. කුඩා පර්වතයක් කැබලි කර දැමීමට අවශ්‍ය වන්නේ කා හටද? ඔබ ඇයට කෙතරම් බැණ වැදුනත් ඇය ඊට ප්‍රතිචාරයක් හෝ නොදැක්වීම කණගාටුවට කරුණකි.

"ඇදුරුතුමා සටන් පිටියේදී කෝපයට පත් වුණා," කළකිරුණු ස්වභාවයකින් ඔහු පැවසුවේය, "ඔහු පවසා සිටියා ඔබ දින දහයක් තිස්සේ පුහුණුවීම් කර නොමැති බව, ෂාඕයැන්ග් නිකායෙහි නීති අමතක කර ඇති බව. දැන් ඔහු මට පැවසුවා ඔබට බොහෝ සෙයින් දඬුවම් විඳීමට සිදුවන බව ඔබ වෙත පැමිණ දැනුවත් කරන ලෙස. සිදුකළ යුත්තේ කුමක්දැයි ඔබම සිතන්න."

තම පියාගේ කෝපය පිළිබඳව ඇසූ ෂුවැන්ජි තරමක් තැති ගත්තාය. ඇය මෙසේ මුමුණන්නට විය, " මට ... එහි නොයා සිටිය හැකිද? පවසන්න මා සොයාගැනීමට නොහැකි වූ බව..."

දූ මිංෂිං තම හිස සැලුවේය: "ඇදුරුතුමා මෙවර නිශ්චය කර අවසන්. ඔබේ නිවුන් සහෝදරිය ලින්ග් ලොං හට දුවන් ජින් උරුම වී තියනවා, නමුත් ඔබට ෂුවැන් මිං පහරදීමවත් සම්පූර්ණ කරගැනීමට හැකි වී නැහැ. ඔහු නිකාය ප්‍රධානියා, ඔහු තම දියණියන් ආරක්ෂා කරන්නේ කෙසේද? ඔහු ඔබට මෙවර දැඩි ලෙස දඬුවම් නොදුනහොත් අනෙක් ශිෂ්‍යයන් කුමක් සිතාවිද?"

ෂුවැන්ජි එයට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි, " අනෙක් පුද්ගලයින් සිතන දේ පිළිබඳව ඔබ වද විය යුත්තේ ඇයි... අප දඩයම් සුනඛයන් නොවේ, අපට නීති අවශ්‍ය වන්නේ ඇයි?"

දූ මිංෂිං තම සාක්කුවෙන් කාල වර්ණ යකඩ රුයි යෂ්ටිය පිටතට ගෙන එය අහස දෙසට විසි කළේ ය. අඩි දෙකක් පමණ දිග කළු රුයි යෂ්ටිය දෙවරක් ගුවනේ පැද්දී ක්‍රමයෙන් නතර වුණි.

ඒ මතට නැගුණු දූ මිංෂිං පහතට නැමී ඈ වෙත දෑත දිගු කළේය," එන්න,තවත් විවේචන නවත්වන්න. ඉක්මන් කර ඇදුරුතුමා වෙත යන්න. ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන් ඔබ වෙනුවෙන් මැදිහත් වේවි. මීළඟ අවස්ථාවේදී ඔතරම් අලස වෙන්න එපා!"

ෂුවැන්ජිගේ සිතෙහි මිලියන ගණනක සැකයක් පැවතුණත් , තම පියාගේ දැඩි අධිකාරියට මුහුණ දීමට වූ නොහැකියාව හේතුවෙන් ඈ තම ජ්‍යේෂ්ඨ සහෝදරයාගේ දෑත සෙමෙන් අල්ලාගත්තාය. තම පියාගේ වදන් පිළිබඳව සිතූ ඈ අනුකම්පාවෙන් ඔහුගෙන් අයැද සිටියේ, " අයියණ්ඩි... මට පහර ලැබීමට අවශ්‍ය නැහැ..." ලෙසයි.

ඇයගේ මෘදු අයාචනාත්මක වදන් හමුවේ දූ මිංෂිං ගේ හදවත අනුකම්පාවෙන් පිරී ගියේය. " හරි, මම ඔබ වෙනුවෙන් කතා කරන්නම්. ඔබ නැවතත් මෙලෙස දින දහයක් එක දිගට පුහුණුවීම් නොකළොත් අයියණ්ඩි නැවත ඔබට උපකාර කරන්නේ නැහැ." ෂුවැන්ජි පිළිතුරු ලබා නොදෙන විට හදවතින් සුසුම්ලන්නට වූ දූ මිංෂිං තම දකුණු පාදය මත පීඩනය මදක් වැඩි කර කාලවර්ණ රුයි යෂ්ටිය වටා හැරී කඳු මුදුනේ සටන් කලා පුහුණු පිටිය දෙසට පියාසර කළේය.

ෂාඕයැන්ග් කඳුකරයේ සටන් කලා පුහුණු පිටි දොළොසකට වඩා වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා විවිධ නිකායන්හි ශිෂ්‍යයන් විසින් පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලැබේ. ෂාඕයැන්ග් නිකාය විශාල ශිෂ්‍යයන් ප්‍රමාණයකගෙන් සහ අති බහුල ආශිංසනයන්ගෙන් සමන්විත ලොව විශාලතම අමරණීය නිකායන්ගෙන් එකකි.හිටපු ප්‍රධානී ජිං‍යැන්ග් අමරණීයයාගේ පටන්, ෂාඕයැන්ග් නිකාය ශාඛා හතකට බෙදා තිබුණි. පළමු ශාඛාව , යාඕ රි හි ප්‍රධානියා ෂිඒ ලෙයි වන අතර චෙන්ග් ෂූ, ෂූයැන්ග් වැනි ඉතිරි ශාඛා සයෙහි ප්‍රධානත්වය දැරුවේ ඔහුගේ අනෙකුත් සහෝදර සහෝදරියන් විසිනි.

විවිධාකාරයේ වූ ශිෂ්‍යයන් ගණනාවකින් සමන්විත වූ ෂාඕයැන්ග් නිකායෙහි සියළු දෙනා එක්වූයේ අමරණීයත්වය වැඩීමට මිස අනෙකුත් නිකායන් හා තරඟ වැදීමේ අරමුණින් නොවේ. නිකායෙහි ප්‍රධානියා කීර්තියට හා ප්‍රශංසාවට වැඩි නැඹුරුතාවක් දැක්වූයේද නැත. ෂාඕයැන්ග් නිකාය වසර සිය ගණනක් තිස්සේ පැවතියේ බලකොටුවක් ලෙසය.

මෙම අවස්ථාවේදී නිකාය ප්‍රධානී ෂිඒ ලෙයි කඳු මුදුනේ සටන් කලා පිටියෙහි තම ශිෂ්‍යයන් පුහුණු කරවමින් සිටියේය. ඔහුගේ බිරිඳ, හ' දන්පිං බැරෑරුම් ලෙස තම ශිෂ්‍යාවන් හට පහරදීමේ ඉරියව් පුහුණු කරවන්නට විය. දිවා කාලයේදී සටන් කලා පිටිය ඉතා උණුසුම් වූ අතර සියළු දෙනාගේ වතින් දහඩිය වැගිරෙන්නට වූයේ වර්ෂාවක් මෙනි. නමුත් ඉඳහිට චලනයන් සඳහා වූ සිදුකරන කැඳවීම් හැරෙන්නට අභ්‍යාස පිටිය පැවතියේ දැඩි නිහඬතාවයකයි. ඒ, ෂිඒ ලෙයි ගේ බාල දියණිය සටන් කලාවෙහි දියුණුවක් නොලබා අලස බවට පත්වීම නිසාවෙනි. ඔහු කෝපයට පත් වේ යැයි බියෙන් තමාට කෙතරම් වේදනා ගෙනදුනත් වෙහෙස මහන්සි වී පුහුණුවීම් සිදුකිරීමට ශිෂ්‍යයන්ට සිදුවිය. වේදනාව දැනෙනවිටදී පවා ශබ්දයකුදු හෝ නැගීමට කිසිවෙකුත් එඩිතර වූයේ නැත.

අසිපත් හුවමාරු කරගනිමින් ඉතා හොඳින් පුහුණුවෙහි යෙදෙන ශිෂ්‍යයන් දෙදෙනෙකු අධ්‍යයනය කළ හ' දන්පිං තේ ස්වල්පයක් පානය කිරීම සඳහා පසෙකට ඇවිද ගියාය. අවාසනාවකට, දූ මිංෂිං ඒ වන විටත් ෂුවැන්ජිව ඈ කරා රැගෙන ආවේ නැත. ඇය ෂිඒ ලෙයි ගේ මුහුණ දෙස හැරී බලන විට, එම මුහුණ නිල් සහ කළු පැහැයට හැරෙනා ආකාරය ඇයට දිස් විය, ඉඳින් ඔහු තම කෝපය යටපත් කරගන්නවා විය යුතුය.

සුසුම්ලන්නට වූ ඈ ඔහු දෙසට සෙමෙන් පියමැන මෙසේ පවසන්නට විය, "ස්වාමීනී... ෂුවැන්ජි මේ දිනවල එතරම් සුවෙන් නෙවෙයි. ඒ නිසා ඇය හා කෝප ගන්න එපා. ඇය තවමත් කුඩායි,මට බියක් දැනෙනවා ඔබ ඇයට තරවටු කළහොත් එයින් යහපතක් සිදු නොවේවි යි කියලා..."

ෂිඒ ලෙයි ඊට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත, ඒ වෙනුවට අවඥ්ඥාසහගත බැල්මක් හෙලීය. ඔහු තම හිස ඔසවා බලනා විට ඔහුට දක්නට ලැබුණේ තම වැඩිමහල් දියණිය, ලින්ග් ලොං, මවගේ අසිපත ගෙන එයින් පුහුණුවීම් සිදු කරනා ආකාරයයි. ඇයගේ කුඩා මුහුණ රත්පැහැ ගැන්වී තිබුණේ දැඩි රශ්මිය නිසායි, නමුත් ඈ ඒ පිළිබඳව කිසි විටෙක මැසිවිලි නැගුවේ නැත. "ඇය තවමත් කුඩායි? ලින්ග් ලොං හා ඇය නිවුන් සහෝදරියන්. ඇයට අසිපත් පුහුණුවීම් සිදුකළ හැකියි. ෂුවැන්ජිට නොහැකි ඇයි? ඒ ඔබ ඕනෑවටත් වඩා ඇයව මුරණ්ඩු කරන නිසා! ඇය මුරණ්ඩුයි, කිසිවක් ඉගෙනගන්නේ නැහැ!"

තම ස්වාමියා මෙම අවස්ථාවේදී කෝපයට පත්ව ඇති බව හ' දන්පිං දැන සිටියාය, එසේ නොවන්නට කිසිවිටකත් ඔහු ඈ හට මෙලෙස කතා කරන්නේ නැත. කෙසේවෙතත් ඈ පැවසූ සියල්ල ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි, එම අවස්ථාවේදී ඇය කිසිවක් නොපවසා සිටියේ නම් අගනේය.

එක් අතකින් එකොළොස් වියැති ලින්ග් ලොං පුහුණුවීම් නිම කර තම සය වන ජ්‍යේෂ්ඨ සහෝදරයා වන ජොං මින්‍ යෑන් සමග සටනකට සූදානම් වන්නීය. "මා හා සටන් වදින්න!"

බිම වැතිර සිටි ජොං මින් යෑන්ගේ මුහුණ දහඩියෙන් තෙත්වී ගොසිනි. තම ඇහිබැම හැකිළූ ඔහු මෙසේ පවසා සිටියේය, "මම සටන් වදින්නේ නැහැ."

තම දෙපා පොළවේ වද්දමින් ලින්ග් ලොං ඔහුට සටන සඳහා ඇරයුම් කරන්නට විය, "ඉක්මන් කරන්න! පැමිණ මා හා සටන් වදින්න!"

ඔහු ඊට එකඟ නොවුණත් ඔහුගේ වදන් වල යම් සිනහවක් ගැබ්ව තිබුණි: "මම ඔබට සූදානම් වන ලෙස පැවසුවෙත් නැහැ."

තම පියාට මෙන්ම ලින්ග් ලොං හට පැවතියේද ප්‍රචණ්ඩකාරී ස්වභාවයකි. දෙවරක් ඔහුව ආමන්ත්‍රණය කිරීමෙන් පසුවත් ඔහුගේ කිසිදු චලනයක් සිදු නොවූ නිසා කෝප වූ ඈ මෙසේ පැවසීය, " ඔබ මා හා සටන් වදින්නේ නැතිනම් මම ඔබට අසිපතෙන් අනිනවා!"

ඈ කෝප වී ඇති ආකාරය දුටු ජොං මින් යෑන් ඈ වෙත හැරී සිනාසෙන්නට වූයේය, "මම ඔබ හා පුහුණුවීම් සිදු කරන්නේ ඔබ මට "මින් යෑන් අයියණ්ඩිය" කියා ඇමතුවොත් පමණයි."

ලින්ග් ලොං තම අඩි පොළවේ හප්පමින් කෑ ගසන්නට විය, "ජොං මින් යෑන්! නුඹ අමනයෙක්! ඔබ මා හා පුහුණුවීම් සිදු කරන්නේ නැතිනම්, එයින් අදහස් කරන්නේ ඔබ යාඕහුආ අසිපත් හරඹය ප්‍රගුණ කර නොමැති බවයි! මට ඔබ සමග තවත් කතාවක් නැහැ!"

"හරි!හරි!" ජොං මින් යෑන් තමා අසල සිටි ශිෂ්‍යාවගෙන් අසිපතක් ගෙන සිනාසෙමින් මෙසේ පැවසුවේය, "මා ඔබ සමග පුහුණුවීම් සිදු කරන්නම්. ඔබ ඇත්තටම කෝප අරන්."

ලින්ග් ලොං සිටියේ කනස්සල්ලට පත්වය. ඔහු සූදානම් බව දුටු ලින්ග් ලොං තම අසිපත රැගෙන සූදානම් වූවාය. ඇගේ ග්‍රහණය කෙතරම් දුර්වල වීද යත් අසිපත ඇයගේ අතින් විසිවී යන්නට විය. ඉක්මනින්ම එය අතට ගත් ජොං මින්‍ යෑන් සිනාසෙමින් මෙසේ පැවසුවේය: "ඔබට අසිපත තදින් අල්ලාගන්නටවත් නොහැකියි, කුමක්ද ගැටලුව?"

ලැජ්ජාවෙන් රතු වූ ලින්ග් ලොං ඊට පිළිතුරු දීමට සූදානම් වුවත්, ඔවුන්ගේ කන වැකුණේ ෂිඒ ලෙයි ගේ කටහඬයි: "මින් යෑන්, මෙහි පැමිණෙන්න."

තම සිනහමුසු මුහුණ ක්ෂණයෙන් ඉවත් කරගත් මින් යෑන් , ෂිඒ ලෙයි අසලට ගොස් ආචාර කරන්නට විය, "ඇදුරුතුමනි, ඔබගේ අණ කුමක්ද?"

ෂිඒ ලෙයි දැඩි ලෙස, "ඔබේ ජ්‍යේෂ්ඨ සහෝදරයා ,ඔබේ බාල නැගණිය සෙවීම සඳහා පිටව ගියා. ඔහු තවමත් නැවත පැමිණියේ නැහැ. මම බිය වන්නේ මෘදු හදවතක් ඇති ඔහු ඒ කපටි දැරිය විසින් රවටා ඇත් දැයි කියලා. ඔබ දැන් ගොස් පරීක්ෂා කරන්න. ඇය දුටු විට කිසිවක් පවසන්න එපා. අල්ලාගෙන මෙහි රැගෙන එන්න."

තම අවාසනාව පිළිබඳව ජොං මින් යෑන් හදවතින්ම හඬා වැටෙන්නට විය. ඔහු බොහෝ සෙයින් අවාසනාවන්ත අයෙක් විය. සමස්ථ ෂාඕයැන්ග් නිකාය තුළ චූ ෂුවැන්ජි හැර වෙනත් ඕනෑම අයෙක් සමග ඔහුට කතා කළ හැක, ඔවුන් දෙදෙනා නිතරම අමනාපයෙන් සිටි අතර ඔහු යමක් පැවසුවහොත් ඔහුට පහර කෑමට සිදු විය. මෙම කාර්‍යය වෙනත් අයකුට පැවරුවා නම් ඉතා සුදුසුය.

තමාට ලැබුණු විධානය ප්‍රතික්ෂේප කිරීමට ක්ෂණිකව මගක් සොයාගත් ඔහු මෙසේ පැවසීය, "ඇදුරුතුමනි, මම... මම... ලින්ග් ලොං සමග පුහුණුවීම් කරමින් සිටියේ..."ඔහු එසේ පැවසුවත් තම ඇදුරුතුමාගෙන් ඔහුට පිළිතුරක් ලැබුණේ නැත, රහසේම තම දෑස් එසවූ ඔහුට දක්නට ලැබුණේ තම ඇදුරුතුමා අහස දෙස නෙත් යොමා සිටිනා ආකාරයයි. තම ජ්‍යේෂ්ඨ සහෝදරයා, ෂුවැන්ජි සමග ඉහළින් පැමිණෙන ආකාරයද පිටුපස බැලූ ඔහුට දැකගත හැකි විය.

මදකට තම කාර්‍යයන් නැවැත්වූ අභ්‍යාස පිටියේ සිටි සියළු දෙනා ඉදිරියට සිදුවන්නට යන දර්ශනය දෙස බලා සිටියහ. නිකාය තුළ ශිෂ්‍යයන්ගේ ෂුවැන්ජි කෙරෙහි වූ ගරුත්වය ලින්ග් ලොං කෙරෙහි මෙන් නොවීය. ඇය වෙනස් අයෙක් වීමත්,ඇසුර අපහසු වූ අයෙක් වීමත් නිසා සියළු දෙනා අපේක්ෂාවෙන් සිටියේ ඇයට දඬුවම් දෙන ආකාරය අපූරු දර්ශනයක් ලෙස නැරඹීමටයි.

සිතෙහි වූ බියත් චකිතයත් සමග කාල වර්ණ යකඩ රුයි යෂ්ටියෙන් බිමට පැනගත් චූ ෂුවැන්ජි, අභ්‍යාස පිටියේ වාතාවරණය එතරම් යහපත් නොවන බවත් තම පියා තමා දෙස දැඩිව බලාසිටින බවත් දැකීමෙන් අනතුරුව මදක් පසුබට විය.

දූ මිං ෂිං කාල වර්ණ යකඩ රුයි යෂ්ටිය පසෙකලා ඇගේ හිස අතගාමින් ඇයව සනසවන්නට වූයේය, "බියවෙන්න එපා, පැමිණෙන්න, ගොස් ඇදුරුතුමාට ආචාර දක්වන්න."

එසේ කිරීමට ෂුවැන්ජි අකමැත්තක් දැක්වූ නිසා ඔහු බලෙන්ම ඈව ෂිඒ ලෙයි ඉදිරියට තල්ලු කර දණ නවා මෙසේ පැවසීය, "ෂුවැන්ජි ඇදුරුතුමාට තම ආචාරය දක්වනවා."

ෂිඒ ලෙයි සංසුන්ව වුවත් දැඩි ලෙස ගෝරණාඩු කරන්නට වූයේය, "ඔබ තවමත් දන්නවා නිකාය ඇදුරුතුමාට ආචාර දක්වන ආකාරය! මම සිතා සිටියේ ඔබේ දෑස් වලින් මෙම ෂාඕයැන්ග් නිකාය අතුරුදන්ව ගොස් ඇති කියලා!"

ඔහු බොහෝ සෙයින් කෝපයට පත්ව ඇති බව ෂුවැන්ජි දැන සිටියාය, එම නිසා කිසිවක් පැවසීමට තරම් ඈ එඩිතර නොවීය, හිස පහත් කළ ඈ තම වස්ත්‍රයෙහි වූ බඳ පටියක් සමග ක්‍රීඩා කරන්නට වූවාය. තමා වරදක් කර නොමැති බව ඈ සිතුවත් මුරණ්ඩු වීමට එඩිතර වූයේ නැත.

"පවසන්න, ඔබ මුළු දවස පුරාවටම පිටුපස මළුවේ කුමක්ද සිදුකරනේ? අලස ලෙස සිටීමත් , නිදාගැනීමත් හැරෙන්නට එදිනෙදා ජීවිතයේදී ධ්‍යානවේදියෙකු කළ යුතු දෑ වලින් කුමක් හෝ ඔබ සිදු කර තිබෙනවාද?"

ෂුවැන්ජි තම හිස එසවීමට තරම් එඩිතර වූයේ නැත,ෂිඒ ලෙයි අසල සිටි දූ මිංෂිං සිනහ මුසු මුහුණෙන්, "ඇදුරුතුමනි, කෝප ගන්න එපා. මම මගේ කුඩා නැගණිය සොයාගත්තේ කඳුකරය පිටුපස මළුවේ සිටියදී.ඇය ඉතා ඕනෑකමින් අසුරයන් දසදහසක් නම් වූ පුස්ථකය කටපාඩම් කරමින් සිටියා, එයින් පෙනෙන්නේ ඇය අලස නැති බවයි. ඇය ඉතා ඕනෑකමින් පුහුණූවීම් සිදුකරනවා, නමුත් ඇයගේ ශරීරය දුර්වල නිසා පුහුණුවීම් වේගවත් කළ නොහැකියි. ඇදුරුතුමනි, කරුණාකර වටහා ගන්න." යැයි පවසා සිටියේය.

ෂිඒ ලෙයි උපහාසයට මෙන් සිනාසුණි, "එසේනම් ඇය ලොව කඳුකරයන්හි සියළු ජනප්‍රවාද කටපාඩම් කළහොත් කුමක් සිදුවේවිද? අප කඳුකරයෙන් පහළට ගිය දිනෙක ඔබට අවශ්‍ය අසුරයන් දෙස බලා සිටිමින් පොත් මෙනෙහි කිරීමටද? ඔබට පියාසර කළ නොහැකි නම්, ඔබ අසිපතින් සටන් වදිනා ආකාරය දන්නේ නැතිනම් හෝ වෙනත් ආකාශ කුසලතා නොමැති නම් ඔබ අමරණීයයෙකු වන්නේ කෙසේද?"

දූ මිංෂිං යමක් පැවසීමට සූදානම් වුවත් ෂිඒ ලෙයි අතින් සංඥා කොට ඔහුට බාධා කළේය, "පිටව යන්න, තව එක් වචනයක්වත් පවසන්නට එපා."

ඔහුට හැකිවූයේ දෑතින් ආචාර කර පසෙකට වීමට පමණි.ෂුවැන්ජි දෙස බොහෝ වේලාවක් තිස්සේ බලා සිටි ෂිඒ ලෙයි කිසිවක් පැවසූයේද නැත.

ෂුවැන්ජිගේ සුන්දර පෙනුම දුටු ඔහුට තම දියණිය පිළිබඳව ඇති වූයේ අනුකම්පාවකි. ජීවිත කාලය පුරාම ධ්‍යාන වැඩීමෙන් පසු ෂිඒ ලෙයි විවාහය හෝ දරුවන් ඇතිදැඩි කිරීම පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකළත් අවසානයේ ඔහුට මැදි වියේදී නිවුන් දියණියන් දෙදෙනෙකු ලැබුණි. ෂුවැන්ජි බොහෝ සෙයින් තම මවට සමාන විය, සිහින් සහ දුර්වල අයෙක් විය, එම නිසාම පුහුණුවීම් වලදී ඇයට දැඩි ලෙස කටයුතු කිරීමට ෂිඒ ලෙයිට සිත් දුන්නේ නැත. නමුත් එක් දෙයක් නම්, ෂුවැන්ජි බොහෝ සෙයින් අලස අයෙක් වීමයි. ඇයට අසුන් පැදවීම පවා නොහැකි විය.දෙවැන්න නම්, නිකාය ප්‍රධානියා වශයෙන් ඔහු තම දියණියට බුරුලක් ලබා දෙන්නේ නම් අනාගතයේදි මහජනයා තමව බැරෑරුම් ලෙස සලකාවිද යන්නයි.

මේ පිළිබඳව සිතූ ඔහු නැවතත් කෝපයට පත් විය, "නැගී සිටින්න, ඔබ කෙතරම් හොඳින් ෂුවෑන් මිං පහර දීම් පුහුණු කර ඇත්දැයි මට බැලීමට අවශ්‍යයි. මෙහි, ඔබේ සියළු ඇදුරන්, සහෝදර සහෝදරියන් ඉදිරියේ. ලැජ්ජා වන්නට එපා."

ෂුවෑන් මිං පහරදීම් පුහුණූවන්නේ කෙසේදැයි ෂුවැන්ජි දැනසිටියේ නැත,ඉරියව් පවා අමතක වී ගොසින් ය. නමුත් නිකාය ප්‍රධානියාගේ අණ හමුවේ ඇයට නැගී සිටීමට සිදු විය.

මද වේලාවකට එම ස්ථානය, අල්පෙනෙත්තක් බිම පතිත වන ශබ්දය ඇසෙනා තරමටම දැඩි නිහඬතාවයකින් පිරී ගියේය. දිවාකල උණුසුම් සුළඟ ෂුවැන්ජිගේ දිගු කෙස් කළඹ හරහා හමා ගියත් ඇයට අධික ලෙස දහඩිය දමන්නට විය. දෑස් දස දහස් ගණනක් ඈ වෙත යොමු වී ඇත, නමුත් ඈට තම ඇඟිල්ලක් හෝ සෙලවිය නොහැකි පරිදි තමා හිමායනය වී ඇති බවක් දැනුණි.

ෂුවැන්ජි මෙලෙස ප්‍රසිද්ධියේ අපහසුතාවයට පත් වන ආකාරය බලා සිටීමට නොහැකි වූ හ' දන්පිං යමක් පැවසීමට සූදානම් වුවත් ෂිඒ ලෙයි සංඥා කොට ඇයව නැවැත්වීය. තම හිස හැරවූ ඔහු මෙසේ පවසා සිටියේය,"නුඹ එය පුහුණු කරන්නේ කෙසේ දැයි දන්නේ නැතිද? එසේ නම් මම විමසන්නේ,මේ වසර ගණනාවක් තිස්සේ නුඹ සිදු කළේ කුමක්ද?"

ෂුවැන්ජි තවමත් කිසිත් පැවසුවේ නැත. දැඩි හිරු රශ්මිය ඇගේ මුහුණට වැටී දිදුලන්නට වීම ඇයව තවත් දුර්වල කරන්නට විය. බොහෝ දුරින් වූ නිසා ඇගේ ඉරියව් කිසිවෙකුටත් පැහැදිලිව දැකගැනීමට හැකිවූයේ නැත. පෙර බොහෝ අභිමානයෙන් අසුන් ගෙන සිටි අයවත් මේ වන විට දහඩියෙන් නැහැවී ගොසිනි. ඇය මෙසේ තවත් නිශ්ශ්බ්දව සිටියහොත් ඇදුරුතුමාගේ කෝපය තව වැඩි වන බව නොඅනුමානය.

"චූ ෂූවැන්ජි, කතා කරනවා." ෂිඒ ලෙයිගේ ස්වරය අයිස් කැබැල්ලක් ඉරිතලා යන්නාක් මෙන් විය.

ෂුවැන්ජි එකවරම දණි වැටී ගැඹුරු හඬින් මෙසේපැවසුවාය, "මම එසේ කරන්නේ නැහැ! කරුණාකර මට දඬුවම් කරන්න ඇදුරුතුමනි!"

ෂිඒ ලෙයි මහ හඬින් සිනාසෙනට වූයේය, " දඬුවම්? කුමන දඬුවමක්ද? ඔබ "දඬුවම් " කියන වචනයත් හඳුනනවා." ඔහු හදිසියේම තම සිනහව නැවැත්වීය. "සවන් දෙන්න, අද රාත්‍රියේ නිවසට යන්න, ඇඳුම් කිහිපයක් අසුරගන්න, හෙට පටන් ඔබ ජීවත් විය යුත්තේ බෙයිෂාන් සූර්‍ය කඳුමුදුනේ මින්ග්ෂියා ගුහාවේ. මම පිටතට පැමිණීමට අවසර දුන් විටෙක පමණක් ඔබට පිටතට පැමිණිය හැකියි."

එහි සිටි පිරිස බොහෝ සෙයින් විමතියට පත් විය. මින්ග්ෂියා ගුහාව අඩි දහසක් ගැඹුරු, පාතාලය මෙන් අන්ධකාරයේ ගිලී පැවතුණූ ස්ථානයකි.වසර පුරාවටම එය බෝහෝ සෙයින් සීතල සහ තෙත් බවින් යුක්ත විය. එමෙන්ම එය කෘමීන් සහ උරගයින් බහුල ස්ථානයක්ද විය. එහි මොහොතකට හෝ සිටින ඕනෑම අයෙක් උමතු භාවයට පත් වන නිසා සාමාන්‍යයෙන් ශිෂ්‍යයන් අවිනිශ්චිත කාල සීමාවක් පවතින මෙවැනි දඬුවම් පිළිබඳ පවසන්නේවත් නැත. ඇය එකොළොස් හැවිරිදි ගැහැණු දරුවෙකි, කෙසේ වෙතත් මෙම දඬුවම ඉතා දරුණු එකක් විය.

කඳුලින් පිරී සිටි හ' දන් පිං අසලට ගොස් දණින් වැටුණු ලින්ග් ලොං මෙසේ ආයාචනා කලාය, " මගේ නැගණියට සමාව දෙන ලෙස ඇදුරුතුමාට පවසන්න. ඇය අසනීපෙන්. මින්ග්ෂියා ගුහාවට ඇතුළු වුවහොත් ඇය මියයාවි!"

දූ මිංෂිං, ජොං මින් යෑන් ඇතුළු නිකායෙහි තරුණ ශිෂ්‍යයන් තම දණින් වැටී මෙසේ ඉල්ලා සිටියහ, " ඇදුරුතුමනි, කරුණාකර ඔබේ අණ ඉල්ලාඅස් කරගන්න! මට බියක් දැනෙනවා මගේ නැගණියට මෙවන් දඬුවමක් දරාගත නොහැකිවෙයි කියලා! කරුණාකර ගුරුතුමනි, ඇයට යම් සහනයක් දෙන්න!"

ෂිඒ ලෙයි මුරණ්ඩු ලෙස තම සළුව ගසා මෙලස පවසන්නට විය, "නැගීසිටින්න! මේ කාරණාව සම්බන්ධයෙන් මම සියල්ල තීරණය කර අවසන්, තව දුරටත් ඒ පිළිබඳව කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ." එසේ පැවසීමෙන් අනතුරුව ඔහු හැරී බැලුවේ ෂුවැන්ජිගේ මුහුණ දෙසයි. ඇගේ මුහුණ සුදුමැලි වී ගොස් තිබුණද එයින් බියක් පෙනෙන්නට තිබුණේ නැත.

ඔහුගේ කෝපය දරුණු වුවත්, හදවතට එය දරාගැනීමට හැකිවූයේ නැත. සුසුම්ලන්නට වූ ඔහු ෂුවැන්ජි ආමන්ත්‍රණය කළේය, " ෂුවැන්ජි... මේ ලෝකයේ මහළුවන, අසනීප වන, මිය යන, සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිසුන් ඕනෑ තරම් සිටිනවා.නමුත් ඔබට නොහැකියි. ඔබ ෂාඕයැන්ග් නිකායෙහි ශිෂ්‍යයෙක්. ෂාඕයැන්ග් නිකායෙහි ශිෂ්‍යයෙක් ලෙස ඔබගේ ජීවන අරමුණ විය යුත්තේ අමරණීයභාවයයි. ඔබ... සාමාන්‍ය මිනිසෙකු මෙන් වීමට අපේක්ෂා කරන්නේ කෙසේද?"

බොහෝ වේලාවක් තිස්සේ නිහඬව සිටි ෂුවැන්ජි මෙසේ පැවසුවාය, "අප සාමාන්‍ය මිනිසුන් නොවේද?"

මෙම වචන ඇසීමෙන් පසු ෂිඒ ලෙයි නිහඬ වූ අතර, දැඩි නිහඬතාවකින් අනතුරුව ඔහුගේ මුවින් මෙසේ නිකුත් විය, "නුඹ... පිටව යන්න."

කුඩා දැරියගේ සිහින් පිටිපස දෙස බලා සිටි ඔහුට තමාට දැනෙන්නේ කුමක්ද යන්න පිළිබඳව වත් අවබෝධයක් තිබුණේ නැත.

දිරාගිය දැව කඳන් කැටයම් කළ නොහැක.

නමුත් මෙම දිරා ගිය දැව කඳ තම දියණියයි, කැටයම් කළ නොහැකි වුවත්, යම්කිසි හැඩයකට කපා ගැනීම හෝ සිදු කළ යුතුය.

දූ මින් ෂිං හට තවමත් අවශ්‍යව තිබුණේ ෂුවැන්ජි වෙනුවෙන් තම ඇදුරුතුමා වෙත ආයාචනා කිරීමටයි, නමුත් ඔහු තම සළුව ගසා දමමින් අභ්‍යාස පිටියෙන් ඉවතට ඇවිද යන්නට විය. "මින් ෂිං, අද රාත්‍රියේ මගේ කුටිය වෙත පැමිණෙන්න. ඔබ කෙතරම් දුරට යැන්ග් ධූලක ශිල්පය දියුණු කර ඇත්දැයි මට දැකිය යුතුයි."

"යැන්ග් ධූලක ශිල්පය" යන්න ඇසුණූ ප්‍රථම වතාවේදී ඔහු අතිශයින් සතුටට පත් විය. මෙය ෂාඕයැන්ග් නිකායෙහි ප්‍රබලතම මන්ත්‍රයක් වන අතර එය පුහුණු කළ හැක්කේ වයස අවුරුදු විස්ස වන සිසුන්ට පමණි. දැන් ඔහුට වයස අවුරුදු දහ අටකි, "අපි බලමු ඔහු කෙතරම් දුරට යැන්ග් ධූලක ශිල්පය පුහුණු කර ඇත්දැයි කියා." ඔහු මෙසේ පවසමින් මවා පෑමක් සිදු කළත් ඔහුට සත්‍ය වශයෙන්ම අවශ්‍යව තිබුණේ දූ මින් ෂිං හට මෙය ඉගැන්වීමටයි.

දූ මින් ෂිං වටා සිටි තරුණ ශිෂ්‍යයන් ඔහු දෙස බලා සිටියේ ඊර්ෂ්‍යාවෙනි. ඔවුන් සියල්ලන්ගේම සුබපැතුම් හමුවේ ඔහු කෙතරම් උද්දාමයට පත් වූවාද කිවහොත් ෂුවැන්ජි ව සම්පූර්ණයෙන්ම ඔහුගේ මතකයෙන් ගිලිහී ගියේය.

********************

[1] දුවන් ජින් : ලින්ග් ලොං හට ඇගේ මව, හ' දන්පිං විසින් ලබා දුන් අසිපතේ නාමයයි.

Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)