2) යකඩ දොරවල් සහ යතුරු
පහුවදා පහන් වෙද්දි, ඊයේ රෑ තිබුණ බියකරු බව අතුරුදහන් වෙලා ගිහින්.
ලින් ජියුෂ' දෙවෙනි මහලේ කොරිඩෝව දිගේ පහළ මාලයට යන ගමන් හිටියේ, ඒ අතරතුරේදී ඔහුට තුන්වෙනි මහලෙන් කොඳුරන හඬවල් වගේම ඝෝෂාකාරී හඬක් ඇහුණා. කීප දෙනෙක් කතා බහ කරන බවක් තමයි පේන්න තිබුණේ. ඔහු එතනට ගිහින් බලන්න අදහස් කළේ නැතත් වැඩි වෙලාවක් නොගිහින් කාන්තාවකගේ විලාපයක් ඔහුට ඇහුණා. මේ ඇඬිල්ල දුකෙන් වගේම හද කම්පාවෙන් පිරිලා තිබුණේ, මේ කාන්තාව දරුණු ඛේදවාචකයකට මූණ දීලා වගේ.
උඩුමහලේ සිද්ධ වෙලා තියන දෙය බලන්න යන්න තුන්වෙනි මහලට යන පඩිපෙළ නගින්න කලින් ලින් ජියුෂ' මොහොතකට පසුබට වුණා.
මේ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ලී වලින් හදපු එකක්. පඩිපෙළේ ලෑලි තරමක් පරණයි; එක්කෙනෙක් ඒවා උඩ කකුල් තිබ්බ ගමන්ම ඒවායින් ක්‍රීක් හඬක් ඇහෙනවා. පඩිවලට මිනිස් ශරීරයේ බර දරාගන්න බැරුව යන්තම් හෙලවෙන තැනුත් මේ අතරේ තිබුණා.
තුන් වෙනි මහලට ගිය ලින් ජියුෂ' ට කොරිඩෝවේ කීපදෙනෙක් හිටගෙන ඉන්න ආකාරය පෙනුණා.කොහොම වුණත්, ඔහුගේ විශේෂ අවධානය යොමු වුණේ වාතයේ තිබුණ ප්‍රබල ලේ ගඳට.
එතන හිටපු මිනිස්සුන්ගේ නහයට පීඩාකාරී වෙන තරමටම ඒ ගඳ ප්‍රබල වුණා. ඒ කොහොම වුණත්, ලින් ජියුෂ'ට ඇතිවුණේ සැනසිලිදායක හැඟීමක්. ඔහු සැහැල්ලුවෙන් පියවර කීපයක් ඉස්සරහට තියලා ප්‍රවේශමෙන් ඔවුන්ගේ පිටිපස්සට වුණා.
"මම ඒක දැනගත්තා" ඊයේ ලින් ජියුෂ' ට ආචාර කරපු දැවැන්ත මිනිහා ෂියොං චි, කතා කළේ පහත් වගේම බරපතල හඬකින්; ඔහු අනිත් අය එක්ක යමක් සාකච්ඡා කරන ගමන් හිටියේ. "අනිවාර්‍යයෙන්ම, ඊයේ මොකක් හරි වැරදීමක් වෙලා..."
ෂියාඕ ක' ත් මේ කතාබහට සම්බන්ධ වුණා; ඇය තවදුරටත් මෙහෙම කිව්වා, "මටත් ඒක දැනුණා, ඒත් මම හිතුවේ ඒක..." මේ වෙලාවෙදි, ඇය හැරිලා තමන්ගේ පිටිපස්සෙන් හිටපු ලින් ජියුෂ' දිහා බැලුවා. "ඒක අමතක කරන්න."
ලින් ජියුෂ' මෙහෙම හිතුවා,මේකෙන් ඔයා මොකක්ද අදහස් කළේ? ඔයා හිතුවේ ඒ කවුරු කියලද? මට කියන්න එපා ඔයා හිතුවේ ඒ රුඅන් බයිජිඒ යි මමයි කියලා? ඔහු ඇස් ඔසවලා ෂියාඕ ක' ට පිටිපස්සෙන් තිබුණ දොර දිහා බැලුවා.
දොර ඇරලා තිබුණේ,ඒ වගේම බිම ලේ ඉහිරිලා තිබුණේ. සීතල කාලගුණය නිසා, ලේ දැනටමත් කැටි ගැහිලා; කොහොම වුණත් ලේ විශාල ප්‍රමාණයක් විසිරිලා තිබුණ බවක් ඕනිම කෙනෙක්ට පෙනුණා.
"මොකක්ද වෙලා තියන්නේ?" ලින් ජියුෂ' ඇහුවා.
"මරණයක් වෙලා." ෂියොං චි ගෙ කට හඬ සම්පූර්ණයෙන්ම උදාසීන වෙලා.
ලින් ජියුෂ': "...මරණයක්?" ඒ ඊයෙ වුණා නම්, මිනිස්සු ටිකක් එකහෙලාම, කිසිම උනන්දුවක් නැතුව, මේ සිදුවුණ දෙයට තමන්ට සම්බන්ධයක් නෑ වගේ මෙහෙම දෙයක් ගැන කියනවා අහන්න ලැබෙන එක බොහෝවිට ඔහුට අදහාගන්න බැරිවෙන්න ඉඩ තිබුණා. ඒත් ඊයේ අත්වින්ද දේවල් වලින් පස්සේ, තමන් මේ මොහොතේ ඉන්න ලෝකය ගැන පැහැදිලි කරන්න සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න බැරි බව ඔහුට පැහැදිලිවම තේරුණා.
"ඔව්," ෂියොං චි අමනාපයෙන් වගේ කිව්වේ.
ලින් ජියුෂ' තමන් බලන කෝණය වෙනස් කරන ගමන් එහා මෙහා ගිහින් දොර දිහා තව පාරක් බැලුවා. මේ එක බැල්මෙන් ඔහු නිරායාසයෙන්ම දැඩි, බය හිතෙන හුස්මක් ගත්තා. කැටි ගැහුණ ලේ වලින් මුළු කාමරම වැහිලා ගිහින්. මළ සිරුරු දෙකක් අපිරිසිදු විදිහට බිම පුරා විසිරිලා තිබුණා. මුල් සිරුරු සම්පූර්ණයෙන්ම අඳුරගන්න බැරි වෙන තරමටම විකෘති වෙලා තිබුණේ. ඒ මිනිස්සු කියලා කියනවට වඩා, හම නැති මස් කෑලි දෙකක් කියන එක වඩා නිවැරදියි. අනික් මහල් වලට යනකල්ම කාමරය පුරාම ලේ ගලාගෙන ගියා.මේ තුන්වෙනි මහලේ බිත්තිවල ඉඳන් බිම වෙනකන්ම පිරිසිදු තැනක් තිබුණේ නැති තරම්.
ලින් ජියුෂ' මානසිකව සූදානම් වෙලා හිටියත්, ඔහුට තවමත් ඒ දර්ශනය පිළිකුල්. ඔහු තදින් කට වහගෙන වටේ කැරකුණා. පුදුමයට කාරණයනම් ෂියාඕ ක' මේ ගැන අවබෝධයෙන් හිටියේ, "ඊළඟ කාමරයේ වැසිකිළියක් තියනවා" ඇය පෙන්නුවා.
කිසිම ප්‍රමාදයක් නැතුව, ලින් ජියුෂ' වැසිකිළියට ගිහින් වමනය කරන්න පටන් ගත්තා.
ඔහු වමනය කරලා ඉවර වෙනකල් බලන් ඉන්න අතරේ, ෂියාඕ ක' මෙහෙම කිව්වා, "ඔයා අතාරී කියලා මම බලාපොරොත්තු වුණේ නෑ."
ලින් ජියුෂ': "හහ්?"
ෂියාඕ ක',"ඔයයි රුඅන් බයිජිඒ යි දැනට ඉන්න හොඳම අළුත් අය. සාමාන්‍යයෙන්, අළුත් අයට පළවෙනි දොරේ වාතාවරණය විශේෂයෙන්ම නරකයි, බේරෙන අනුපාතය 20% ට වඩා වැඩි නෑ." කියලා කිව්වා.
ලින් ජියුෂ' : "..."
"අපි පහළට ගිහින් උදේට කෑම ටිකක් කමු." ෂියාඕ ක' යෝජනා කළා.
ලින් ජියුෂ' බාධා කළා, "අපි මළ මිනී දෙක ගණන් නොගෙන ඉන්නද යන්නේ?"
මේක අහපු ගමන් ෂියාඕ ක' ගේ මූණේ අමුතු බැල්මක් ගලාගෙන ගියේ. "ඔයාට, ඒවට මොනවා හරි කරන්න ඕනිද?"
ලින් ජියුෂ' ට කියන්න දෙයක් තිබුණේ නැහැ. ඔහු පහළ මාලයට යන මිනිස්සු පස්සේ යද්දී හදිසියේම දෙයක් මතක් වුණා. අන්දබූත වුණ ඔහු පුදුම වුණා,"පොඩ්ඩක් ඉන්න. මම දෙවනි තට්ටුවේ ඉන්නකොට, තුන්වෙනි තට්ටුවේ ගෑණු කෙනෙක් අඬනවා ඇහුණා..." ඒ ගැන සලකලා බලපු ඔහුට මෙතන ඉන්න කිහිප දෙනා අතරේ එකම තරුණිය ෂියාඕ ක' පමණක් බව තේරුණා. ඔහු ඇයගේ නොසන්සුන් පෙනුම දිහා බැලුවා; ඇය අඬන කෙනෙක් වගේ පෙණුනේ නැහැ.
"ගෑණු කෙනෙක් අඬනවා?" ෂියාඕ ක' ආයෙත් ඇහුවා. "අපිට කිසිම දෙයක් ඇහුණේ නැහැ. ඔයාට වැරදියට ඇහිලා වෙන්න ඇති."
ලින් ජියුෂ': "... මට පේන්නේ ඒ වගේ."
පළවෙනි මහලේ උදේ ආහාරය පිළිගන්වන්න සූදානම් කරලා තිබුණේ; මේසය උඩ උණුසුම් ආහාර වේලක් සකස් කරලා තිබුණා. කෝකියො සාමාන්‍ය ගම් වැසියෝ, ඔවුන් සාමාන්‍ය සිවිල් වැසියන්ගෙන් වෙනස් වුණේ නැහැ.
තමන්ගේ උදේ ආහාරය ගත්ත ලින් ජියුෂ', ඔවුන්ගෙන් ඝන ඇඳුම් කීපයක් ණයට ගන්න අතරතුරේ ගම ගැන විස්තර ඇහුවා.
"අපේ ගමේ කිසිම දෙයක් නෑ." ගම්මු කිසිම ප්‍රයෝජනවත් තොරතුරක් දුන්න් බවක් පේන්නෙ තිබුණේ නැහැ. "හැම ශීත සෘතුවකම සංචාරය කරන්න සංචාරකයෝ කීපදෙනෙක් එනවා, එච්චරයි."
ලින් ජියුෂ': "ඔහ්... එතකොට ඔයාලගෙ දෛනික ඌමනාවන්?"
ගම්මු පිළිතුරු දුන්නා, "ඒවා මිලට ගන්න අපි එළියට යනවා. කඳුකර පාරේ ලේසියෙන් යන්න බැරි වුණත්,හැමවෙලේම මොකක් හරි ක්‍රමයක් තියනවා.ඒත් හිම වැටෙනකොට නම් පිටවෙන්න ක්‍රමයක් නෑ. කඳුකර පාර සම්පූර්ණයෙන්ම වැහෙනවා, ඔයාට ශීත ඍතුව පුරාම මෙහේ ඉන්නවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ."
ලින් ජියුෂ' මොහොතක් කල්පනා කළා, "ඔයාලගෙ ගමේ හැම ළිඳක්ම තියන්නේ මිදුල මැදද?" ඔහු හදිසියේම ඇහුවා.
එය තමන්ගේ සිතුවිල්ලක් විතරක්ද කියලා ලින් ජියුෂ' දැනගෙන හිටියේ නැහැ. ඒත් ඔහු මේ ප්‍රශ්නය අහපු මොහොතෙම ගම්මුන්ගේ මූණු වල නොසන්සුන් කමක් මතු වුණ බව පේන්න තිබුණේ . කොහොම වුණත්, ඔවුන් වෙන විශේෂ තොරතුරක් කිව්වේ නැහැ; තමන්ගේ ඔලුව වනලා, 'ඔව්' කියලා එකඟ වුණ ඔවුන් හැරිලා එතනින් අයින් වෙලා ගියා.
මේ ගැන කල්පනා කරපු ලින් ජියුෂ' ට තවම සිද්ධවෙන්නේ මොකක්ද කියන එක ගැන හෝඩුවාවක් තිබුණේ නැහැ, ඒ නිසා ඔහු මුලින්ම රුඅන් බයිජිඒ ට ඇඳුම් ටික දීලා පස්සේ අනිත් අය එක්ක කතා කරන්න තීරණය කළා.
ඔහු කාමරයට ඇතුල් වෙනකොට,රුඅන් බයිජිඒ ඇඳ මත වැතිරිලා තමන්ගේ ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරමින් හිටියේ. ඔහු කාමරයට එනවා දැක්ක ඇය, "ඔයා හරිම හෙමින්නේ වැඩකරන්නේ" කියලා හෙමින් මිමිණුවා.
ලින් ජියුෂ' ණයට ගත්ත ඇඳුම් ඇඳ උඩින් තිබ්බා. "නැගිටින්න. පළවෙනි තට්ටුවේ උදේ කෑම තියනවා. "
රුඅන් බයිජිඒ මිමිණුවා.
ලින් ජියුෂ' තව දුරටත් මෙහෙම කිව්වා, "මම ඔයා එනකම් එළියට වෙලා ඉන්නම්."
"ඉන්න!" රුඅන් බයිජිඒ එකපාරටම කෑගැහුවා, "ඔයාගෙ ඔළුවෙ ඔය මොකක්ද තියෙන්නේ?"
"මොකක්ද?" ලින් ජියුෂ' සම්පූර්ණයෙන්ම කලබල වුණා.
ඇඳෙන් නැගිටපු රුඅන් බයිජිඒ, ලින් ජියුෂ' ට තමගේ ළඟට එන්න කියලා ඉඟි කළා; ලින් ජියුෂ' ඇය ළඟට ආවා.
"හැමතැනම රතු පාටයි..." අතදික්කරපු රුඅන් බයිජිඒ තමන්ගේ නිකැළල් අත්වලින් ලින් ජියුෂ' ගේ ඔලුව අතගාලා බැලුවා; පස්සේ තමන්ගේ අල්ල හරවලා බැලුවා. "මේ මොනවද?"
රුඅන් බයිජීඒගේ අතේ තිබුණ දේ අසාමාන්‍ය විදිහට මිදුණ ලේ වලට සමාන වුණ නිසා, ඇගේ අත දැක්ක සැණින් ඔහුට නරක හැඟීමක් දැණුනේ.
"මම ඒක පොඩ්ඩක් බලන්නම්." ලින් ජියුෂ' ඉක්මනින්ම නාන කාමරයට ගියා. ඒක රුඅන් බයිජිඒ කිව්ව විදිහම වුණා. ඔහුගේ කොණ්ඩය අයිස් කුඩු වගේම රොන් මඩ වලින් පිරිලා තිබුණේ. කොණ්ඩයේ තැනින් තැන පේන්නේ නැති වෙන්න තද රතු පාට රොන් මඩ තිබුණා,ඒ නිසා ඔහු ඒ වෙලාවෙ ඒක දැක්කේ නැහැ. මේවා තමන්ගේ ඔලුවට වැටුණෙ කොයි වෙලාවෙද කියලාවත් ඔහු දැනගෙන හිටියේ නෑ.
" මගුල." ලින් ජියුෂ' සාප කරන ගමන් තමගේ ඔලුව තුවායෙන් පිහදැම්මා. ඒත් කොණ්ඩය පිහිදාන එක ප්‍රමාණවත් වුණේ නැහැ. ඔහු තව තව අතුල්ලනකොට, ඒක තවත් භයානක වගේම කම්පනයට පත් වෙන දර්ශනයක් වුණා. උණුසුම් තුවාය රතු පාට වුණත් ඔහුගේ කොණ්ඩය තවම පිරිසිදු වෙන්න හිතලාවත් තිබුනේ නෑ.
ඝන ඇඳුම් ඇඳගත්ත, රුඅන් බයිජිඒ ඔහු ළඟට ගිහින්, "හොඳයි, ඒක කොළ පාට නොවුණ එක හොඳයි" කියලා බයෙන් වගේම නොසැලකිල්ලෙන් කිව්වේ.
ලින් ජියුෂ' : "...ඔයා කවදා හරි කොළ පාට ලේ දැකලා තියනවද?"
රුඅන් බයිජිඒ: "ඒ ලේ ද?"
ලින් ජියුෂ' හූල්ලන ගමන් තුන්වෙනි මහලේ යම් දෙයක් වුණ බව කෙටියෙන් කිව්වා. මරණ දෙකක් ගැන ආරංචිය අහපු රුඅන් බයිජිඒ ආයෙමත් කෝමල විදිහට අඬන ගමන්, "ලින් ග', මට ගොඩක් බයයි. අපි ඊළඟට මැරෙයිද? "
අවසානෙදි රූමත් තරුණියක් මේ වගේ අවාසනාවන්ත විදිහට අඬනවා දකින්න කැමති කවුද.
ලින් ජියුෂ' ඇයව සනසන්න ඉස්සරහට ගියා, රුඅන් බයිජිඒ ත් ඔහුගේ උරහිසේ තමගේ ඔලුව තියන්න ලෑස්ති වෙලා හිටියේ,ඒත් හදිස්සියේම ඇය පුදුම වුණා, "ලින් ග' , ඔයා කොච්චර උසද?"
ලින් ජියුෂ': "... සෙන්ටිමීටර් 180යි [1] ."
"අනේ." රුඅන් බයිජිඒ කිව්වා. "ඔයා මට වඩා මිටියි."
ලින් ජියුෂ': "..." ඔයාට අසාධරණයක් වෙලා වගේ, ආ.
ලින් ජියුෂ' ආපහු හැරිලා තමන්ගේ කොණ්ඩය හෝදගත්තා; ඒ අතරේ, ලේ ආවේ කොහෙන්ද කියලා ඔහු කල්පනා කළා. අන්තිමේදී, ඔහු ගොඩක් බය හිතෙන උපකල්පනයකට ආවා... ඒ තුන්වෙනි මහලේ සිවිලිමෙන් බිමට වැටුණා වෙන්න බැරිද?"
"මට ඒ ගැන ටිකක් බලන්න තුන්වෙනි තට්ටුවට යන්න ඕන." ලින් ජියුෂ' කිව්වා. "ඔයා පලවෙනි තට්ටුවට ගිහින් මොනවා හරි කන්න."
"තනියමද යන්නේ?" රුඅන් බයිජිඒ ඇහුවා "අපි එකට යමු."
"ඔයා බය නැද්ද?" ලින් ජියුෂ' ට විශ්වාසයක් තිබුණේ නැහැ. මොහොතකට කලින් මේ රුඅන් බයිජිඒ පැහැදිලිවම අඬමින් හිටියේ.
"ඔයා මාත් එක්ක ඉන්නේ නැද්ද?" රුඅන් බයිජිඒ තමන්ගේ සිනිඳු කළු කෙස් කන පිටිපස්සට දාලා හෙමින් හිනාවුණා. "ඔයා මෙතන ඉන්නකොට, බය වෙන්නේ මොකටද?"
ලින් ජියුෂ' ටිකක් කල්පනා කළා. ඒක හරි, ආ. සමස්ථයක් විදිහට, අපි ඊයේ රෑ සැලකිල්ලට ගත්තොත්, ඔයාට ඒකාන්තයෙන්ම මට වඩා වේගෙන් දුවන්න පුළුවන්.
ඊට පස්සේ, දෙන්නා කොරිඩෝව දිගේ තුන්වෙනි මහලට ගියා.
කලින් වගේම හැමතැනම ලේ වලින් වැහිලා ගිහින් තිබුණේ, අතහැරලා දාපු මළසිරුරු තාමත් තැන තැන වැටිලා තිබ්බා. ඒත් මේ වෙනකොට ලින් ජියුෂ' ගේ අවධානය උඩ තිබුණ සිවිලිමට යොමු වෙලා තිබුණේ. ඔහු ඔලුව උස්සලා බැලුවා, හිතුවා වගේම සිවිලිමේ ලේ වයිරම් තිබුණා. මේ සලකුණු වලට ඒ දෙන්නාව අතිශයින් කලබල කරන්න පුළුවන් වුණා; යමක් සිවිලිමට සම්බන්ධ වෙලා හෙමින් අහකට ඇදගෙන ගිය බවක් පේන්න තිබුණේ. ගොඩක් වෙලා ගත වුණ නිසා, සිවිලිමේ ලේ පැල්ලම් මිදුණත්, බිමට වැටුණ ලේ වලින් හැඳුණ පැල්ලම් අපැහැදිලි විදිහට පේන්න තිබුණා.
මේක දැකපු ලින් ජියුෂ' ගේ ඔලුව පුපුරන්න වගේ. තමන් පළවෙනි වතාවට තුන්වෙනි මහලට ආපු වෙලේ සිවිලිමේ හිරවෙලා තිබුණේ මොනවද කියලා හිතන්න අවංකවම ඔහුට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.... ඒවගේම, ඇරඹුමේ ඉඳන් අවසානය වෙනතුරුම කිසිම කෙනෙක්ට මේක හොයාගන්න බැරි වුන එක ගැන හිතන්නත් ඔහු කැමති වුණේ නැහැ.
රුඅන් බයිජිඒ දිග වේලාවක් සිවිලිම දිහා බලන් හිටියා.
අවසානෙදී, ඇය බලන් ඉන්නේ මොකක් දිහාද කියලා ලින් ජියුෂ' ඇගෙන් ඇහුවා.
"මම සිවිලිම දිහා බලන් ඉන්නේ," රුඅන් බයිජිඒ පිලීතුරු දුන්නා, "මේක ඇරෙන්න වෙන මොනවද මට පේන්න පුළුවන්? තරු පිරුණ අහසක්? හීන ගොඩක්?"
ලින් ජියුෂ': "..."
ඇගේ ධෛර්යය ත් තරමක් විශිෂ්ටයි. ටික වෙලාවක් සිවිලිම දිහා බලගෙන හිටපු ඇය, මළ සිරුරු අධ්‍යයනය කරන්න ඇවිදගෙන ගියා. මුළු කාලය පුරාවටම, ඇය කිසිමවෙලාවක අපහසුතාවෙන් ඉන්න බවක් පෙන්නුවේ නෑ; ඇත්තටම, ඇය තරමක් උද්‍යෝගිමත් බවක් පෙන්නුවේ.
ලින් ජියුෂ' ඇය දිහා සැකෙන් බලන ගමන් ප්‍රශ්න කළා "ඔයා බය නැද්ද?" ක්ෂණයකින් ඇයට යමක් මතක් වුණ බවක් පෙනුනේ, පුරුදු විදිහටම ඇය පොඩි දරුවෙක් වගේ විලාප දෙන්න ගත්තා[2].
ලින් ජියුෂ': "... ඔය අඬන එක නවත්තන්න. ඔයාට තවමත් උදේ කෑම කන්න ඕනිද? "
"කනවා කනවා කනවා!"රුඅන් බයිජිඒ කෑ ගැහුවා. "මට බඩගිනියි."
දෙන්නා පහළට ගියා; හැමෝම උදේ කෑම කාලා ඉවර වෙලා තමන් එනකම් බලන් ඉන්න ආකාරය ඔවුන් දුටුවා.
"ඔයාලා කොහෙද හිටියේ?" ෂියොං චි ඇහුවා. "අපි ඔයාල එනකම් බලන් හිටියේ."
පිරිසේ සියුම් පරීක්ෂාවට ලක්වුණ රුඅන් බයිජිඒ කොහෙත්ම කලබල වුණේ නැහැ.. ඇය බොහොම ලාලිත්‍යයෙන් වාඩිවෙලා තමන්ගේ උදේ කෑම කන්න පිඟාන අතට ගත්තා.
අනික් අතට, ලින් ජියුෂ' ට රුඅන් බයිජිඒ වගේ ඒ තත්ව වලට ඔරොත්තු දීමේ හැකියාවක් තිබුණේ නැහැ. තමන්ගේ කොණ්ඩයේ ලේ තිබුණ බව ඉක්මනින් පැහැදිලි කරපු ඔහු තුන්වෙනි මහලේ සිවිලිමේ අමුතු සලකුණු කීපයක් දැකපු බවත් මතක් කළා.
මේක ඇහුවට පස්සේ හැමෝගෙම පෙනුම එච්චර හොඳ වුණේ නෑ; ඔවුන්ගෙන් සමහර අය ඉබේම ඔලුව උස්සලා සිවිලිම දිහා බැලුවා.
ඊයේ රෑ මැරුණ මිනිස්සු වගේම තුන් වෙනි මහලේ තියන ඒ අමුතු සලකුනු ගැන ඔවුන්ගේ කතාබහ අතරතුරේදි, වයස අවුරුදු හතළිහකට වැඩි මැදිවයසෙ මිනිහෙක් දොරෙන් ඇතුල් වුණා. කොළ පාට හමුදා කබායක් ඇඳගෙන තෙල් පහනක් අතේ තියන් ඒ මිනිහා කාමරයට හෙමින් ආවා.
"ආයුබෝවන්." මිනිහා පටන් ගත්තා. "මම තමයි මේ ගමේ ප්‍රධානියා. මම උදව් ඉල්ලපු අය ඔයාලද?"
ඔහු කතා කරන්න ගත්ත ගමන් කාමරයේ හිටපු හැමෝම නිහඬ වුණා.
"සීතල දවසක්. එන අවුරුද්දට ලෑස්ති වෙන්න, අපේ ගම මිනී පෙට්ටි හදන්න බලාපොරොත්තු වෙනවා." ගොරෝසු කටහඬින් ඒ මිනිහා කියාගෙන ගියා, "මම ඔයාලා හැමදෙනාටම වඩුවාට උදව් කරන වගකීම බාර කරනවා."
කිසි කෙනෙක් ගම්මුලාදෑනියාට ප්‍රතිචාර දැක්වුවේ නැහැ, ඒ වගේම ගම්මුලාදෑනියාත් ඔවුන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුන බවක් පේන්න තිබුණේ නෑ.
කතාව ඉවර කරපු ඔහු කීපවතාවක්ම කැස්සා, පස්සේ තෙල් පහන අතට අරන් සැල්ලුවෙන් ඒක එහා මෙහා කරමින් කාමරයෙන් එළියට ඇවිදගෙන ගියා. හිම පතනය නතර වෙලා තිබුනත් හුලඟේ සද්දය නොනවත්වාම තිබුණා. මුලදී, දොරට වදින දරුණු හුලඟ වගේම ගස් මුදුන් සර සර ගාන සද්දය මිනිස්සු යටිගිරියෙන් කෑ ගහන සද්දෙට සමාන වුණා.
"පටන්ගමු." ෂියොං චි සැහැල්ලුවෙන් කිව්වා.
ඔහු එහෙම කිව්ව සැණින්, හුළඟක් හමාගෙන ගියේ, බාගෙට ඇරුන දොර බිත්තියේ වද්දමින්; ඒ සැනින්ම කන් බීරි කරවන හඬක් එක්ක, තරමක් ඝනකම වගේ පෙනුන ලී දොර කෑලි වලට කැඩිලා ගියා.
මුළු කාමරයම නිහඬ වුණා. අවසානෙදි ෂියොං චි ආයෙම කතාවට මුලපිරුවා. "අපි මිනී පෙට්ටියක් හදන්න ඕනි."
"මෙහෙම වෙන්නෙ කොහොමද! ඇයි මෙහෙම වුනේ!!" කන් විදගෙන යන විදියේ කාගේ හරි අඬන හඬක් කාමරය ඇතුලෙ කොහෙන් හරි දෝංකාර දුන්නා. ලින් ජියුෂ' තමන්ගෙ ඔලුව හරවලා අස් පිහදාල බැලුවේ ඇත්තටම මානසිකව බිඳවැටුණ කවුරුහරි මේ කණඩායම ඇතුලේ ඉන්නවද කියලා දැනගන්න. "මේක ඇත්තටම ගොඩක් අමාරු ලෝකයක් - අපිට බේරෙන්න පුළුවන් කොහොමද; මිනී පෙට්ටියක් හදන්න පුළුවන් කාටද; අපි මැරෙයි, අපි හැමෝම මෙතන මැරෙන්න යන්නේ..."
ෂියොං චි ට ඒ වගේ දර්ශන පුරුදු බවක් පේන්න තිබුණේ; ඔහුගේ ඉරියව් වල පොඩි වෙනසක්වත් වුණේ නෑ.
මානසිකව කඩාගෙන වැටුණ මිනිහා කෑ ගහලා මේසය උඩ තිබ්බ හැමදේම බිමට වීසි කළා. ඔහුගේ මූණේ පුරාවටම කඳුලුයි හොටුයි. "මිනිස්සු දහතුනක් ඇතුළට ආවා, පළවෙනි දවසේ දෙන්නෙක් මැරුණා ... මම මීට කලින් කවදාවත් මේ තරම් අමාරු දේකට මූණ දීලා නෑ!!!"
"හොඳයි!" ෂියොං චි කෑ ගැහුවේ තවත් ඉවසගන්න බැරුව. "අඬන එකෙන් තමුන් මැරෙන එක නවතිනවද? තමුන්ගේ හැඟීම් ඔක්කොම මෙහෙම පිටකරන්නේ, තවම තමුන් අළුත් කෙනෙක් කියලා හිතාගෙනද ඉන්නේ?! මේ ඉන්න අළුත් අයගේ හැකියාවල් දිහා බලනවා! "
ලින් ජියුෂ' සම්පූර්ණයෙන්ම අවුල් වුණේ මේ වාක්‍ය කියද්දි ඒ මිනිහා ඔහු දිහා දරුණු විදිහට බලපු නිසා. ලින් ජියුෂි' හිතාගත්තේ, කැපී පේන මානසික යෝග්‍යතාවයක් තියනවා කියලා හිතන එකත් තමන්ගේම වැරැද්දක්, ආහ්!
කොහොම වුණත්, මේ මිනිහගේ ස්නායු බිඳවැටීමක් වෙන එක අමුතු දෙයක් නෙවෙයි. මේක සාමාන්‍ය ලෝකයේ සංසිද්ධි වලට වඩා හාත්පසින්ම වෙනස් , බිහිසුණු දේවල් වල පෙරනිමිති ගොඩක් තිබුණා, හැම බිහිසුණු පෙරනිමිත්තක්ම; ඒවගේ තත්වයකදී සන්සුන් වෙලා ඉන්න එක ගොඩක් අපහසුයි.
"දැන් එහෙනම් අපි මුලින්ම කතා කරමු හරියටම මොකක්ද කරන්න ඕනේ කියලා." ෂියොං චි විශේෂ කරලා කිව්වා. "ගම්මුලාදෑනියා කිව්වා මිනී පෙට්ටි හදන්න කියලා. ඒ අනිවාර්‍යයෙන්ම යතුර. "
ලින් ජියුෂ': "මට සමාවෙන්න, ඔයා 'යතුර' කියලා අදහස් කරන්නේ මොකක්ද?"
ෂියොං චි ඔහු දෙස බැලුවා "ඒක දොර අරින්න පාවිච්චි කරන දෙයක්. අපි ඇතුල් උනාට පස්සේ ඇතුලේ ඉන්න චරිත වලින් අපිට දෙන ඉඟි වලට අනුව යතුරක් හොයන්න ඕනේ. ඊට පස්සේ අපිට යකඩ දොරක් හොයන්න වෙනවා, ඊට පස්සේ අපිට මෙතනින් යන්න පුළුවන්."
ලින් ජියුෂ': "කාල සීමාවක් තියනවද?"
ෂියොං චි මහ හයියෙන් හිනා වුණා, "අනිවාර්‍යයෙන්ම, ඒ ඔයා මැරෙන්න කලින්."
එහෙනම් ඒක මේ විදිහට තමයි වෙන්නේ. ලින් ජියුෂ' ගේ හිතට සහනයක් දැනුනා, අඩුම තරමේ පිටවෙන්න මාර්ගයක් තවම තියනවා. ඔහු ඇත්තටම බය වුණේ ගොඩක් ඒවා විසඳන්න බැරි බිහිසුණු ඒවා වෙයි කියලා, මිනිහෙකුට ගැලවෙන්න බැරි ඒවා වෙයි කියලා, මිනිහෙකුට අතඇරලා යන්න බැරි, කවුරු මොනවා කලත් නිෂ්ඵල වෙන විදිහේ දෙයක් කියලා.
"ඉඟිය මිනී පෙට්ටිය." ෂියොං චි එලියේ කාලගුණය පරීක්ෂා කළා "අපි ඉස්සෙල්ලම ගමේ වඩුවාව හොයාගෙන තත්ත්වය ගැන අහමු."
"හොඳයි." ෂියාඕ ක' කතා කළා. "මම ඔයා එක්ක යන්නම්."
ලින් ජියුෂ' අත ඉස්සුවා. "මමත් යන්න ආසයි."
ෂියොං චි උදාසීන විදිහට ඔලුව වැනුවා, "හරි" නොදැනුවත්වම ඔහු මේ කණ්ඩායමේ නායකයා වුණා. "ඔයාලා ගොඩනැගිල්ල පරීක්ෂා කරන්න, වෙන වැදගත් හෝඩුවාවල් තියනවද බලන්න." ඔහු නියෝග කළා.
මේ වෙලාවේ, රුඅන් බයිජිඒ ඉස්සරහට ඇවිත්, ලින් ජියුෂ' ගේ අත් සැහැල්ලුවෙන් ඇදලා , "මට බයයි. මට ඔයා එක්ක ඉන්න ඕන." කියලා රහසින් කිව්වා.
මේ තරුණිය ඇත්තටම තරමක් උසයි, නිතරම අනික් අය මත යැපෙන දුර්වල, අසරණ, අහිංසක පොඩි කුරුල්ලෙක් වගේ කියන හැඟීම ඇය පෙන්නුවේ නෑ, ඒත් ඇයගේ පෙනුම ඇත්ත වශයෙන්ම මිනිස්සුන්ට ඇය ගැන පොඩි අනුකම්පාවක් ඇති කළා. අවසානෙදී, අනුකම්පා හිතුන ලින් ජියුෂ' ඔලුව වැනුවා. "හොඳයි. කොහොම වුණත්, මට ඔයාගේ ආරක්ෂාව සහතික කරන්න බෑ."
රුඅන් බයිජිඒ දිලිසුනා. "ඒකට කමක් නෑ." ඇය කොණ්ඩය උඩට විසිකළා. "ඔයා එක්ක ඉන්න හැම වෙලාවකම මම සැහල්ලුවෙන් ඉන්නේ."
ලින් ජියුෂ' මෙහෙම හිතුවා, කෙල්ලේ, ඔයා ඇත්තටම විහිළුකාරියක්.
පස්සේ හතරදෙනාම ඉතුරු වෙලා තිබ්බ වෙලාවෙන් ප්‍රයෝජන අරගෙන වහාම පිටවෙලා ගියා.
යන මාර්ගයේදී, ලින් ජියුෂ', ෂියොං චි ගෙන් මේ ලෝකය ගැන ප්‍රශ්න කීපයක් ඇහුවා; සාමාන්‍ය තත්ව යටතේ මෙහේ ඉන්න හොල්මන් අසීමිත විදිහට මිනිස්සු මරලා දාන්නේ නැති බව ඔහු දැනගත්තා.කොහොම වුණත්, එහෙම නොවෙන වෙලාවලුත් තිබුණා.ප්‍රශ්න වලින් පිරුණ ලෝකයක් හමුවුණොත්, හොල්මන් වලට සීමා පනවලා නෑ; ඔවුන්ට යමක් කරන්න අවශ්‍ය වුණොත්, ඔවුන් වහාම ඒ වෙනුවෙන් පිටත් වෙනවා. ඒවගේ වෙලාවකදී, සැකයක් නැතුවම ජීවත් වෙන්න හම්බවෙන අවස්ථාව ගොඩක් අඩුයි.
"මේ ලෝක තියන්නේ මොන හේතුවක් නිසාද?" ලින් ජියුෂ' තමන් ගොඩක්ම කුතුහලයෙන් හිටපු ප්‍රශ්නය යොමු කලා.
මේ ප්‍රශ්නය අහපු ෂියොං චි ගැඹුරු විදිහට ඔහු දිහා බැලුවා. "ඔයා පණපිටින් එළියට ගියොත් උත්තරය දැනගන්න පුළුවන් වෙයි."
ලින් ජියුෂ': "... ඔහ්."
ඔවුන් ගම්මුන්ගෙන් වඩූවාගේ ලිපිනය හොයාගත්තා. හිමෙන් වැහුණ මේ මාර්ගවල යන එක තරමක් අසීරු වුණා; ඒ හරහා යන්න පැයකට වැඩි කාලයක් ගත වුණා.
පහු කරන් යන අතරතුරේදි, ලින් ජියුෂ' ගමේ තත්වය නිරීක්ෂණය කළා.
ගම ලොකු නැහැ; ඒක ඝන පඳුරුවලින් වට වෙලා තිබුණේ. සාමාන්‍ය කාලවලදී, ඒක ප්‍රශ්නයක් නෑ,ඒත් දැනට, ප්‍රායෝගිකව හිම, පිට වෙන මාර්ගය අහුරලා. මේ ගමේ වැඩිය මිනිස්සු ජීවත් වුණේ නැහැ. ඉඳහිට දෙතුන් දෙනෙක් පාර අයිනේ ඇවිදගෙන යනවා දකින්න පුළුවන් වුණා.මෙතන විදේශිකයන් හමුවෙන එක ජීවිතයේ එක් පාරක් විතරක් වෙන එකක් කියන එක සාධාරණයි. ඒත් ගම්මු කියන දේවල් බලනකොට, ලින් ජියුෂ, වගේම අනිත් අයගේ පැමිණීම ගැන ඔවුන්ට පුදුමයක් ඇතිවුණ බවක් පේන්න තිබුණේ නැහැ.
වඩුවාගේ ගෙදර තිබුනේ ගමට නැගෙනහිරින්. එළියෙන්, දල්වලා තිබුණ භූමිතෙල් ලාම්පුවක දුර්වල දීප්තිය ඔවුන්ට දකින්න පුළුවන් වුණා.
ෂියොං චි දොරට තට්ටු කළා. ටික වෙලාවකින්, පොඩි වයසක මිනිහෙක් දොර පිටිපස්සෙන් මතු වුණා.ඔහු අවුරුදු හැටත් හැත්තෑවත් අතර කෙනෙක්; මූණ රැලි වැටිලා, කොණ්ඩය තුනීයි, ඒ වගේම ඔහුට තිබුනේ අසාමාන්‍ය විදිහේ අපැහැදිලි ඇස් දෙකක්. පරණ, අළු පාට කපු පුළුන් කබායක් ඇඳගෙන හිටියේ,"මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඔහු ඇහුවා
"එලියෙ හරිම සීතලයි. අපි ඇතුලට ගිහින් කතා කරමුද?" ෂියොං චි ඇහුවා.
වයසක මිනිහා උත්තර දුන්නේ නැහැ; ඔහු නිකම්ම හැරිලා දොරකඩින් එහාට වුණා.
එළියේ හිටපු හතරදෙනා එක පෙළට දොරෙන් ඇතුල් වුණා.
ගෙය තරමක් පොඩියි; හැම තැනම අවුල් වෙලා තිබුණේ. ඒ හරිය පරීක්ෂා කරපු ලින් ජියුෂ' ජනේලය කැඩිලා තියනවා දැක්කා. පහසුවෙන් හුළගෙන් ආරක්ෂා වෙන්න, මිනිහා ජනෙල් රාමුවට ලෑලි කීපයක් හයි කරලා සිදුර වහලා තිබුණා.
"මාමේ, ගම්මුලාදෑනියා අපිට මිනී පෙට්ටියක් හදන්න කිව්වා." ෂියොං චි කතාව පටන් ගත්තා. "ඒත් අපිට ඒක හරියට තේරෙන්නෙ නෑ. ඔයා ගමේ ඉන්න ප්‍රසිද්ධ වඩුවෙක් කියලා අපිට දැනගන්න හම්බුණා. කරුණාකර මට උපදෙස් ටිකක් දෙනවද?"
වයසක මිනිහා ෂියොං චි දිහා දැඩි විදිහට බැලුවා. "මිනී පෙට්ටියක් හදන්න, ඔයාලා ඉස්සෙල්ලම ගහක් කපලා, ලී කෑලි වලට පලලා, ලී ටික මට දීලා, පන්සල් ගිහින් වැඳ පුදා ගන්න, එතකොට ඔයාල වැඩේ පටන් ගන්න ලෑස්තියි."
ෂියොං චි මේ ඉඟිය අල්ලගත්තා. "පන්සල් ගිහින් වඳින්න?"
වයසක මිනිහා ඉක්මනින් ඔලුව වැනුවා. "මේ ගමට එහා පැත්තේ පරණ පන්සලක් තියෙනවා. මිනී පෙට්ටි හදන එක අකුසල කර්මයක්, ඒ නිසා අපි ඉස්සෙල්ලම පන්සලට ගිහින් යාඥා කරන්න ඕනි, යාඥා කරන්න, යාඥා කරන්න, යාඥා කරන්න."
'යාච්ඤා' කියන වචනය ඔහු නැවත නැවත කියද්දී ඒකට ඇහුම්කන් දෙන එක විස්තර කරන්න බැරි තරම් අපහසුතාවක් ඇති කළා.
"අපි යාච්ඤා කරලා ඉවර වුනාට පස්සේ?"ෂියොං චි ඇහුවා.
වයසක මිනිහා වචනයක්වත් කතා කළේ නැහැ.
ෂියොං චි : "මාමේ?"
වයසක මිනිහා තවම උත්තර දුන්නේ නෑ.
ෂියොං චිගේ නවතින්නේ නැති ප්‍රශ්න නිසා; වයසක මිනිහා අන්තිමට හිනා වුණා; ඔහුගේ හිනාව කේන්තියෙන් ඇවිලුණා. ඔහු තමන්ගේ හඬ අඩු කරලා, "ඔයාලා ජීවත් වෙලා ඉන්න්කෝ, එතකොට ආයෙත් ඇවිත් මගෙන් අහන්න." කියලා කිව්වා.
ෂියොං චි ගේ මූණ ක්ෂණීකව අළු වෙලා ගියා.
කිසිම ගරුත්වයක් නොදක්වපු රුඅන් බයිජිඒ සමච්චල් කළා, "ආහ්, ඒක නවත්තනවා, වයසක මිනිහෝ. අද හරිම හීතලයි. අපි මේක සම්පූර්ණ කරන්න කලින් තමුන් මැරිලා ගියොත් මොකක්ද අපි කරන්නේ? "
"මේ වයසක මනුස්සයා අමාරුකාරයෙක්" වයසක මිනිහා සමච්චල් කළා.
රුඅන් බයිජිඒ: "මට පේන විදිහට,අමාරුවෙන්න යන එකම දේ තමුන්ගේ ජීවිතය විතරයි."
වයසක මිනිහා: "..."
අනික් අය: "..."
ලින් ජියුෂ' තනියම මෙහෙම හිතුවා, ඔයා කොහෙන්ද මේ වගේ දෙයක් ඉගෙන ගත්තේ, අහ්? NPCලාට අභියෝග කරන එකෙන් ඔයාට ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන්, ගොඩක් මිනිස්සු, දරුණු මිනිහෙක් මුණගැහුණාම තරමක බයක් නැත්තම් බයාදු බවක් පෙන්නන්නේ. කොහොම වුණත් රුඅන් බයිජිඒ තමන්ගේගේ ඇස් තදින් රෝල් කරගත්ත ආකාරය දිහා බලනකොට, ඇයට කිසිම ප්‍රශ්නයක් තිබුණෙ බවක් පෙනුණේ නැහැ.
"හරි හරි." ලින් ජියුෂ' කිව්වා. "එයාට මොකුත්ම කියන්න ඌමනාවක් නෑ වගේ, ඒ නිසා එයාට බල කරන්න එපා..."
රුඅන් බයිජිඒ පිළිතුරු දුන්නා, "බල කරන්න බැරිද? මුලින්ම අසරණ වෙන්නේ අපි නම් ඒක පිළිගන්න වෙනවා. එතකොට මුලින්ම අසරණ වෙන්නේ එයා නම්?" තරුණිය මෙහෙම කියන ගමන් තමන්ගේ ඇඳුමේ අත රෝල් කළා; මනුස්සයෙක්ගේ අතක් තරම් වෙන පොල්ලක් දකින තුරුම ඇගේ ඇස් කාමරය පුරාම ගියා.
ලින් ජියුෂ' කේන්තියෙන් තමන්ගේ හදවතින් සාප කරන්න ගත්තා. ඔහුට ඒක තේරුණා, ඇය ඇත්තටම ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරන්න ලෑස්ති වෙන්නේ,අහ්. මේක බිහිසුණු ලෝකයක්, ඒත් NPC ලාට අතින් පයින් පහර දෙන එක හොඳ දෙයක්ද?
කවුද හිතුවේ රුඅන් බයිජිඒ පොල්ල අතට ගන්නත් කලින් ගල් ගැහිලා හිටපු වයසක මිනිහා කලබලෙන් කෑ ගහයි කියලා,"ඔයාලා යාඥා කරලා ඉවර වෙලා ළිඳ පුරවන්න, එතකොට මිනී පෙට්ටිය ලෑස්ති වෙලා තියෙයි!"
රුඅන් බයිජිඒ: "වාව් වාව් වාව්, ජියුෂ', එයා මන් දිහා රවා බැලුවා ~"
ලින් ජියුෂ': "..." ටික වෙලාවකට කලින් ඔයාගෙ ඇස් වල තිබ්බ පෙනුම එයාගේ රැවිල්ලටත් වඩා භයානකයි.
ඔවුන්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා ෂියොං චි කොහෙත්ම හිතුවේ නෑ. ඔහු වගේම ෂියාඕ ක' ටික වෙලාවක් යනකම් ව්‍යාකූල වෙලා හිටියේ. ඔවුන් මුලින්ම ලෝකයට ඇතුල් වුණාම , ඔවුන් හැමවෙලේම ආචාරසම්පන්න වුණේ කවුරුහරි අමනාප වෙයි කියලා බයෙන්. රුඅන් බයිජිඒ සම්පූර්ණෙන්ම සීමාවෙන් පිටට පනියි කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත්, ඒ නිසා, ඔවුන්ට ලේසියෙන් උත්තරයක් ගන්න පුලුවන් වුණා- ඒ උත්තරය ඇත්තටම නිවරදි නොවුණත්.
ඔවුන් වඩූවාගේ ගෙදරින් එළියට ආවට පස්සේ, පැටලිලි සහගත් තත්වයක හිටපු ෂියොං චි, දෙගිඩියාවෙන් වගේ රුඅන් බයිජිඒ ගේ නම ඇහුවා.
වෙන කවරදාටත් වඩා සුන්දර වගේම අනුකම්පා සහගත පෙනුමක් තිබුණ රුඅන් බයිජිඒ පිළිතුරු දුන්නා,"මගේ වාසගම රුඅන්. මගේ සම්පූර්ණ නම රුඅන් බයිජිඒ. ඒත් අයියේ ඔයාට පුළුවන් මට ජිඒජිඒ කියන්න."
ෂියොං චි ඇයට ජිඒ ජිඒ කියලා කතා කළත්, ඒකෙ පැහැදිලි කරන්න බැරි වගේම අදහාගන්න බැරි අමුතු දෙයක් තියෙන බවක් ඔහුට නිතරම හැඟුණා. අවසානෙදි ඔහුත් ලින් ජියුෂ' වගේම ඇයට බයිජිඒ කියලා කතා කළා.
ඔවුන් මෙහේ ඇවිත් මුළු දවසම වගේ ගෙවිලා ගියත්, ෂියොං චි රුඅන් බයිජිඒ ගේ නම දැනගත්තේ දැන්. ඊයේ අසරණ කථානායිකාවක් වගේ අඬමින් හිටපු රුඅන් බයිජිඒව දැකපු ඔහු උපකල්පනය කළේ ඇයට වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වෙයි කියලා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඔහු ඇගේ නමවත් අහන්න කරදර වුණේ නැහැ.
කොහොම වුනත්, රුඅන් බයිජිඒ ගේ කැපී පෙනෙන ක්‍රියාවෙන් පස්සේ, මේ තරුණිය පේන තරම් සියුම් වගේම කෝමල නොවෙන බව ෂියොං චි ට දැනුණා.
"ඔයාට බය හිතුණේ නැද්ද?" ෂියොං චි ඇයගෙන් ඇහුවා.
රුඅන් බයිජිඒ ගේ සිත් ඇදගන්නා සුළු පිළිතුරෙන් හැමෝමව වසඟ කරගන්න පුළුවන් වුණා. ඇය මෙහෙම කිව්වා, "බය? ඒකෙ බයවෙන්න මොකක්ද තියන්නේ? ඔයා හොල්මන් වලට බය නම් ඒක තේරුම් ගන්න පුළුවන්, ඒත් ඔයා බය වුණත්, ඒක ගොඩක් නරකයි; ඔයාට ඒකට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒත් මේ මිනිහා වැදගත් NPC කෙනෙක්. එයා ඇත්තටම මැරුණා නම්, අපිට ඉතුරුවෙන තොරතුරු ප්‍රමාණෙ බොහොම පොඩ්ඩයි, එහෙම වුණොත්, අන්තිමට අපි බේරෙන්නේ කොහොමද? "
මිනිස්සු තුන්දෙනාම කියාගන්න දෙයක් නැතුව හිටියත් ඔවුන්ට තේරුණා ඇය කිව්ව දේ සම්පූර්ණෙන්ම සාධරණයි කියලා.
කොහොම වුණත් ඔවුන් වඩුවාගෙන් වැදගත් තොරතුරු ටිකක් ගත්තා. හැමෝගෙම හිත් දැන් සාමකාමී නිසා, ඔවුන් හැමෝම එක්ක මේ ගැන කතාබහ කරන්න ආපහු ගෙදර යන්න තීරණය කළා.
ඒ දවල් වුණත්, අහස ඝන වලාකුළු වලින් වැහිලා ගිහින්. හිම පතනය නතර වෙලා තිබුණත් සීතර හුළෙඟේ ඝෝෂාකාර හඬ නැවතුණේ නැහැ. දිග සුදු ගවුමයි උඩින් ඝනකම කපු ජැකට් දෙකකුයි ඇඳගෙන බයිජිඒ ලින් ජියුෂ' ගේ පස්සෙන් ගියා. ඇගේ කෝමල වගේම පහසුවෙන්ම බිඳෙන ස්වභාවය ඕනිම වෙලාවක හුලඟට ගහගෙන යන බවක් පේන්න තිබුණේ.
ලින් ජියුෂ' ගේ හිතට තවත් මේක බලාගෙන ඉන්න බැරි වුණා. ඔහු තමන්ගේ අත දික් කරලා ඇය වෙතට ගිහින්, ඇය හිටපු තැන අරගත්තේ පිටිපස්සෙන් එන හුළඟ අවහිර කරලා ඇයට තමන්ගේ ඉස්සරහින් යන්න සලස්වමින්.
රුඅන් බයිජිඒ ඇඬුවා. ඇය හෙමින් තමන්ගේ ලස්සන ඇස් පිය ගහන ගමන් ලින් ජියුෂ' ට මෙහෙම මිමිණුවා, "ඔයා හරිම කරුණාවන්තයි."
ලින් ජියුෂ': "ඒ සාමාන්‍ය ආචාරශීලීකම."
රුඅන් බයිජිඒ: "ඔයා හැමෝටම මේ වගේ හොඳයිද?"
ලින් ජියුෂ': "...ඔයා හිතන්නේ මම ෂියොං චි වෙනුවෙන් මේ වගේ දෙයක් කරයි කියලාද?" ඔහු විහිළුක් කළා "ඒ ඔයාගේ පෙනුම හොඳ නිසා විතරයි."
ෂියොං චි ඉස්සරහින් යනගමන් හිටියේ : "මට ඒක ඇහුණා, අහ්."
මේක අහපු රුඅන් බයිජිඒ ගොඩක් හිතලා මෙහෙම කිව්වා,. "ඒ කියන්නේ එයාලට හොඳ පෙනුමක් තියන තාක් කල් ඒක ප්‍රශ්නයක් නෑ?"
ලින් ජියුෂ' හිතුවේ ඇය විහිළු කරනවා කියලා, ඔහු මෙහෙම කිව්වා, "අනිවාරෙන්ම,උස වෙන්නත් ඕනෙ."
රුඅන් බයිජිඒ: "හ්ම්..."
-----------------------------------------------------------------
කතෘ සටහන්:
රුඅන් බයිජිඒ: වාව් වාව් වාව්!
ලින් ජියුෂ': ඔය අඳෝනාව නවත්තගන්න. ඔයා මට එක දෙයක් නිතරම මතක් කරනවා.
රුඅන් බයිජිඒ: මොකක්ද?
ලින් ජියුෂ': රාජාලියො පොඩි කුරුළු පැටව් අල්ල ගන්නවා.
රුඅන් බයිජිඒ: ඔහ්, එහෙනම් ඔයා කුරුළු පැටියෙක්ද?
ලින් ජියුෂ' :...
-----------------------------------------------------------------
[1] මීටර 1.8 ක් කියන්නේ සෙන්ටිමීටර් 180 ක් නැත්තන් ආසන්න වශයෙන් අඩි 5 යි අඟල් 11 ක්. වෙන විදියකට කියනවනම් ලින් ජියුෂ' ඇත්තටම එච්චර මිටි නෑ. රුඅන් බයිජිඒ ගොඩක් උසයි.
[2] 嘤嘤嘤— Yingyingying, මිනිස්සුන්ගේ හදවත් අල්ලගන්න පුළුවන් විදිහට පොඩි ගෑණු ලමයි/පිරිමි ළමයි හුරුබුහුටිව අඬන එක. 'Ying' කියන්නේ කුරුල්ලෝ තමන්ගේ සහකාරිය හොයාගන්න සියුම් විදියට අඬන එක.
NPC - non-Player Character (වීඩියෝ ක්‍රීඩා වලදී ක්‍රීඩකයන්ට පාලනය කරන්න බැරි චරිත, මේ චරිත සාමාන්‍යයෙන් පාලනය කරන්නේ ක්‍රීඩාවේ කෘතිම බුද්ධිය විසින්. සාමාන්‍යයෙන් ක්‍රීඩාව ඇතුලේදී විවිධ කාර්‍යයන් කරනවා, අයිතම විකුණන එක, තොරතුරු සපයන එක වගේ දේවල්. ක්‍රීඩාවේ කතා වස්තුව ඉදිරියට අරගෙන යන්න වගේම ගතික ක්‍රීඩා පරිසරයක් නිර්මාණය කරන්න NPC ලා අත්‍යාවශ්‍යයි.)
Comments
Post a Comment