3) සිරගත කිරීම [1]

එදින රාත්‍රියේ ෂුවැන්ජි තම ඇඳුම් සූදානම් කරගත්තේ පසුදා උදෑසන මින්ග්ෂියා ගුහාවට යාමේ අරමුණෙනි.

තම කඳුලු පිසලමින් රසවත් ආහාර එහි රැගෙන ආ හ' දන් පිං ෂුවැන්ජි හට මෙසේ පැවසීය, "මෙතැන් සිට ඔබ වෙහෙස මහන්සි වී පුහුණුවීම් කටයුතු සිදු කළයුතුයි... ඔබේ පියාණන්ව නැවත වතාවක් කෝප ගන්වන්න එපා. බිය වෙන්න එපා. ඔබ සිතනවාටත් වඩා ඉක්මනින් ඔබව රැගෙන යන්න මෑණියන් පැමිණෙනවා."

එයට එකඟ වූ ෂුවැන්ජි තම හිස සැලුවාය.

සිය ලිහිල් කේශ කලාපය එක් කොට කරකවමින් ලින්ග් ලොං පැවසුවේ, " බිය වෙන්න එපා, ෂුවැන්ජි. දින දෙකකින් මම ඔබව ගුහාවේදී මුණගැසෙන්නම්. මම එනතෙක් බලාසිටින්න! මම ඔබව බලාගන්නම්." ලෙසය.

තම කඳුලු පිසලමින් ලින්ග් ලොං ගේ වදන් වලට සිනා සෙමින් හ' දන් පිං මෙසේ පිළිතුරු ලබා දුණි, "නිවට දරුවා, මින්ග්ෂියා ගුහාවට එකවරම අයෙක් ඇතුළු වන්නේ කෙසේද? ෂුවැන්ජි, ඔබේ පියාණන් දරුණු වීම පිළිබඳව ඔහුට දොස් පවරන්නට එපා. මින්ග්ෂියා ගුහාව මුතුන් මිත්තන්ගේ අධිෂ්ඨාන ශක්තිය පුහුණු කිරීමට නිර්මාණය කරන ලද්දක්. එය සිත එකඟ කර ගත නොහැකි ශිෂ්‍යයන්ට විශේෂයෙන් සකසා තිබෙන්නේ. ඔබේ පියාණන් ඔබව එහි යවන්නේ ඔබේම යහපත වෙනුවෙන්. ප්‍රධාන ඇදුරුතුමාගේ දියණිය ලෙස ඔහුට ගරු කරන්නට නොහැකි නම් අවම වශයෙන් ඔහුට අවමන් කරන්නටවත් එපා. අද අභ්‍යාස පිටියේදී සිදු වූ දෙය නැවත සිදු නොවිය යුතුයි, තේරුණාද?"

ෂුවැන්ජිට කිසිත් පැවසීමට ඉඩ නොදෙමින් ලින්ග් ලොං කෝපයෙන් මෙසේ පැවසීය, "පියාණන්! ඔහු දන්නේ මුහුණ බේරා ගැනීමට පමණයි! අවම වශයෙන් ඔහුට, දුර්වල ශරීර සෞඛ්‍යක් ඇති කුං ෆු පුහුණු කිරීමට ශාරීරික යෝග්‍යතාවක් නොමැති මගේ නැගණිය පිළිබඳව අනුකම්පාවක්වත් දැනෙන්නේ නැහැ!"

හ' දන් පිං තම නළලත රැළි කරගනිමින්, "ලින්ග් ලොං, කතා කිරීම නවත්වන්න! ඔබේ පියාණන්ගේ කටයුතු වලට මැදිහත් වන්නට එපා." ලෙස පැවසුවාය.

ලින්ග් ලොං මැසිවිලි නඟමින් පසෙකට වූවාය.

ෂුවැන්ජි ගේ දෑත අල්ලාගත් හ' දන් පිං ඈ හට මෙසේ පවසන්නට විය, "ගුහාව තුළ තෙතමනය සහිතයි, සීතලයි. එම නිසා මතක ඇතිව තව ඇඳුම් කිහිපයක් අසුරාගන්න. ඔබේ සය වැනි අයියණ්ඩි ඔබට සැමදා ආහාර රැගෙන ඒවි. ඔබට අසනීපයි නම්, ඒ පිළිබඳව ඔහුට පැවසිය යුතුයි. එවිට අපට ඔබව ආපසු ගෙන්වා ගත හැකියි." ඇගේ මවගේ හදවත ශෝකයෙන් පිරී ගොසිනි, ඇය සෑම සුළු දෙයක් පිළිබඳවම තම දරුවාට උපදෙස් දෙන්නට විය.

රාත්‍රී ආහාරයට වෙලාව පැමිණ ඇති බව දැන්වීමට ඔවුන් වෙත පැමිණෙන ශිෂ්‍යයන් කිහිප දෙනෙක් දුටු ඈ ෂුවැන්ජි හට කතා කිරීම නවතා සුසුම්ලමින් ඇගේ හිස අතගාන්නට වූවාය.

"මැතිණියනි, ඇදුරුතුමා පැවසුවා ඔහු අද ෂාඕයැන්ග් කඳුමුදුනේ රාත්‍රී ආහාරය ලබා ගන්නා බව, එමෙන්ම පැමිණෙන අතරතුරදී මීළඟ මාසයේ පැවැත්වීමට නියමිත පළඳනා තරඟාවලිය පිළිබඳ සාකච්ඡා කිරීමට වෝ යැන්ග් ඇදුරුතුමා සහ අනෙක් පිරිස හමුවට යන බව. එම නිසා ඔහු අද රාත්‍රියේදී පැමිණෙන්නේ නැහැ. කරුණාකර ඔබ  නැගණියන් දෙදෙනා සමග ආහාර ලබා ගන්න."

ශිෂ්‍යයා සිටියේ දොරටුව පිටුවස වුවත් , ඒ සයවන ශිෂ්‍ය ජොං මින් යෑන් බව ඔහුගේ කටහඬින් හඳුනාගැනීමට හැකි විය.

ඒ සිටින්නේ ජොං මින් යෑන් බව හඳුනාගත් ලින්ග් ලොං සිනා මුසු මුහුණින් තිර රෙදි ඔසවා පිටතට දිව ගියේ, "එසේ නම් පුංචි සය වැනියාටත් අද අප සමග ආහාර ගත හැකියි." යනුවෙන් පවසමිනි.

ජොං මින් යෑන් නිහඬව ඈ දෙස බලා සිටියා මිස කිසිවක් පැවසුවේ නැත. හ' දන් පිං ෂුවැන්ජිව ඇගේ බාහුවෙන් අල්ලාගෙන පිටතට පැමිණෙමින් සිනා සෙන්නට විය, "දරුවා, ජොං අයියණ්ඩි ඔබට වඩා වසර තුනක් වැඩිමහල්. ඔබ කෙසේද ඔහුට පුංචි සයවැනියා ලෙස අමතන්නේ! මින් යෑන්, ඔබේ ඇදුරුතුමා සහ අයියණ්ඩි අද දින රාත්‍රී ආහාරය සඳහා නොපැමිණෙන නිසා, ඔබේ සියළු ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන් එක් රැස් කරන්න. සියළු දෙනාට මෙහි ආහාර ගැනීමට පැමිණෙන ලෙස පවසන්න. මම සිතනවා සියළු දෙනා එක්ව විනෝද විය හැකියැයි කියා."

ජොං මින් යෑන් එයට එකඟ වන බවට සිනහවකින් පිළිතුරු දී ඉදිරියට ඇදුණේය. මින් පරම්පරාවේ කුඩාම ශිෂ්‍යයා වූයේ ඔහුයි. ලින්ග් ලොං සහ ෂුවෑන් ක'යි එක්ව ඔහුව අනුගමනය කළහ. ඔහු ඉතා කඩවසම්‍ ය, කඩිසර, දක්ෂ, ප්‍රිය උපදවන අයෙක් විය, ඔහුගේ ඇදුරුතුමා සහ මැතිණිය ඔහුව වඩාත් ප්‍රිය කිරීමට හේතු වූයේද එයයි, ලින්ග්ලොං ඔහුට දිනපතා කරදර කිරීමට හේතු වූයේද එයයි.

මැතිණියගේ පසෙකින් සිටි සුදුමැලි වූ කිසිදු භාවයක් නොමැති ෂුවැන්ජිගේ මුහුණ දුටු මින් යෑන් හට ඇති වූයේ මහත් කළකිරීමකි.

ලීයෙන් තැනූ අයෙක් මෙන් මුහුණෙහි කිසිදු භාවයක් නැති, කිසිදා සිනා නොවන ෂුවැන්ජි හට ඔහු එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැත. ඈ වෙතට සමීප වන විට ඇති වන තැති ගැනීම සහ තමා වටා හිමායනය වී ඇතෙයි දැනෙන හැඟීම වළක්වාගත හැකි වූයේ නැත. ඔහු ස්වභාවයෙන්ම කෙතරම් දක්ෂ අයෙක් වීද යත් ඔහුට තම ඇදුරුතුමා සමග කතා කළ හැකි වුවත්, ෂුවැන්ජි සමග තර්ක කිරීමට හැකි වූයේ නැත. ඇය නැවත නැවතත් ශීර්ෂ ප්‍රණාම දක්වන විට ඔබ සිතන්නේ ඈ විනීත සහ නිරහංකාර අයෙක් බවයි, නමුත් අවසානයේදී ඇය හැරී සිදු කරන්නේ ඈට අවශ්‍ය දෙයයි.

ජොං මින් යෑන් විශ්වාස කළ පරිදි ඈ මුහුණු දෙකක් සහිත දක්ෂ යුවතියකි, නමුත් ඔහු ඈ හා කිසිදා කතා බහ කර තිබුණේ නැත. යම් අයෙක් වේ නම් ලින්ග් ලොං මෙන් වීම අගනේය, කුඩා යුවතියක් වුවත් ඈ අසිපත් සටන් කලාවෙහි ඉතා දක්ෂ අයෙක් විය, එමෙන්ම ඉතා අහිංසක වූ අතර ඈ සමග තර්ක කිරීම මහත් විනෝදනයක් ගෙන දෙන්නක් විය. එසේත් නොමැති නම්, රූකඩයකින් ඈ වෙනස් වන්නේ කෙසේද?

තම සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රාත්‍රී ආහාරය සඳහා ආරාධනා කිරීමට සැරසුණු ජොං මින් යෑන් යම් දෙයක් සිහියට නැගීම නිසා ආපසු හැරී මෙසේ පැවසුවේය, " හරි, ඇදුරුතුමාට ෂුවැන්ජි හට පැවසීමට යමක් තිබුණා. ඔහු පැවසුවා, " නැවතත් අලස වී අපක්ෂපාතී වීමට සිතන්නවත් එපා, ගුහාව තුළදී ආත්ම පරීක්ෂාවන් සිදු කර පුහුණු වීම් වල නිරත වෙන්න. මීළඟ වතාවේදීත් ඔබ ෂුවෑන් මින් පහර දීම් නොදැන සිටියහොත්, ගුහාවෙන් පිටතට පැමිණීම පිළිබඳව සිතන්නටවත් එපා."

ෂුවැන්ජි එයට නිහඬව පිළිතුරු ලබා දුන්නාය, "ඔහ්."

ජොං මින් යෑන් හට අවශ්‍ය වුණේ ඈ හඬා වැටෙනු දැකීමටයි, නමුත් ඔහුට සිදුවූයේ තම බලාපොරොත්තු කඩ කරගනිමින් එතැනින් පිටව යාමටයි.

ජොං මින් යෑන් ගේ වදන් රාත්‍රී ආහාර වේල පැවති ස්ථානය බැරෑරුම් කිරීමට සමත් විය. හ' දන් පිං ගේ දෑස් රතුවී ගොසිනි, ඇය නැවත වතාවක් රහසේ හැඬුවා විය යුතුය, ලින්ග් ලොං ගේ මුහුණෙන් පවා දිස් වූයේ කටුක ස්වරූපයකි, ඈ කිසිවක් පැවසුවේද නැත. ජොං මින් යෑන් හට මහත් කණගාටුවක් දැනුණි, ඔහු රහසේම තම දෙවන සටන් සහෝදරයා වූ චන් මින්ග්ජුඒ හට පයින් පහරක් එල්ල කර වාතාවරණය යහපත් කිරීම සඳහා සරදමක් කරන ලෙස පවසා සිටියේය.

මෙහි ශිෂ්‍යයෙකු වීමට පෙර චන් මින්ග්‍ජුඒ කතන්දර පවසන්නෙකුගේ සහයකයෙකු වූ අතර කුඩා කාලයේ සිටම සරදම් කිරීමෙහි දක්ෂයෙක් විය. අන් කිසිවෙකුත් කතා කිරීමට ඉදිරිපත් නොවන බව දුටු ඔහු, තම උගුර පාදමින් ගුප්ත ස්වරයකින් මෙසේ පවසන්නට විය, "හේයි, ඔබලා දන්නවාද ඉතා විශාල දෙයක් අපේ නිකාය තුළ සිදුවීමට යනබව?"

ඉතා දක්ෂ ලෙස ඔහුගේ සිතෙහි වූ දේ වටහා ගත් ලින්ග් ලොං ක්ෂණිකව ඊට පිළිතුරු ලබා දුණි, "මම දන්නවා! ඒ ඊළඟ මාසයේ පැවැත්වෙන පුෂ්ප පළඳනා තරගාවලිය ගැන!"

එයට සිනාසුණු චන් මින්ග්‍ජුඒ රැවුල පිරිමදිනා ආකාරයට තම නිකටට අත ගසා ගනිමින් හිස සලන්නට විය, "එය සත්‍යක්, නමුත් ඔබ දන්නවාද එහි විශේෂත්වය!"

ඊට පිළිතුරු දීමට පෙර තම ඇහි බැම හකුළුවමින් ලින්ග් ලොං මදක් කල්පනාවෙහි යෙදුණි, "විශේෂත්වය? එහි සිදුවන්නේ පංච නිකායන්හි විශිෂ්ටතම ශිෂ්‍යයන් සටන් කලාව සහ අමරණිය කලාව භාවිතා කර තරඟ කිරීම නොවේද? මින්ග්ජුඒ අයියණ්ඩිගේ වයස් කාණ්ඩයේ සහෝදරයින්ට තවමත් ඒ සඳහා සුදුසු වයස එලැඹී නැහැ, ඔබ පවසන්න යන්නේ ඔබව ඒ සඳහා තෝරාගෙන ඇති බවද?"

කිසිවක් නොපැවසූ මින්ග්ජුඒ තම හිස සොලවමින් කෂ්ට සිනහවක් පාන්නට විය, නමුත් නොඉවසිලිවන්ත වූ ලින්ග් ලොං හට අවශ්‍ය කර තිබුණේ ඔහුගේ කොළරයෙන් අල්ලා එය පවසන ලෙස බලපෑම් කිරීමටයි.

හ' දන් පින් සිනාසෙමින් මෙසේ පවසන්නට වූවාය, "ඔබේ අයියණ්ඩිගේ දක්ෂතාව ඉතා දුර්ලභයි, නමුත් ඔබ තරඟාවලියට සහභාගී වීමට අවශ්‍ය වයස සපුරා නැහැ. තරඟාවලියට සහභාගී වීම සඳහා ඔබේ වයස අවුරුදු දහ අටක් විය යුතුයි. ඔපමණ මුඛර වෙන්න එපා, මින්ග්ජුඒ, පවසන්න."

එවර මින්ග්ජුඒ යොමුකළේ පැනයකි, "ඔබ දන්නවාද එම තරඟාවලියට පුෂ්ප පළඳනා තරඟාවලිය ලෙස නම් තැබීමට හේතුව?"

ජොං මින්‍ යෑන් එයට පිළිතුරු ලබා දුනි, "මම දන්නවා. තරඟාවලියේ ජයග්‍රාහකයාගේ හිසේ දොතිං නිම්නයේ ප්‍රධානියා පියෝනි පුෂ්පයක් පළඳවනවා, එම නිසා තරඟාවලිය පුෂ්ප පළඳනා තරඟාවලිය ලෙස නම් කරනවා. "

චන් මින්ග්ජුඒ සිනාසුණි, " වැරදියි! ජයග්‍රහණය කළ පමණින් පුෂ්පය හිසේ පළඳවන්නේ නැහැ.රොන්ග් ගු ඇදුරුතුමා පහසුවෙන් ජයග්‍රාහකයාට පුෂ්පය ලබා දේවිද, මෙය නිකන්ම පියෝනි පුෂ්පයක් පමණක් නොවේ, එයි ජයග්‍රාහකයාට තරඟයෙන් අනතුරුව ලබා දෙන අවසාන අභියෝගය සඳහන් කරනවා."

එවන් අවසාන අභියෝගයක් පිළිබඳව සියළු දෙනාම ඇසූ පළමු අවස්ථාව මෙයයි, ඔවුන් සියළු දෙනාම කුතුහලයෙන් එකිනෙකාගෙන් ප්‍රශ්න කරන්නට විය.ෂුවැන්ජි පවා තම දෑස් විශාල කරගනිමින් මින්ග්ජුඒ දෙස බලා සිටියාය. හ' දන්පිං , සිදුවන්නට යන දෙය පිළිබඳව ඇයට පැවතියේ පැහැදිලි අදහසකි, කිසිවක් නොපැවසූ ඇය සිනාසෙන්නට වූයේ දරුවන් හට විනෝද වන්නට ඉඩ හරිමිනි.

සියළු දෙනාගේම කුතුහලය සංසිඳුවමින් චන් මින්ග්ජුඒ මෙසේ පවසන්නට විය, "ඒ අවසාන අභියෝගයේදී ජයග්‍රාහකයාට අතිදක්ෂ අසුරයෙකු සමග සටන් වැදීමට සිදු වෙනවා.ඔව් අනිවාර්‍යයෙන්ම එම අසුරයාව ජ්‍යේෂ්ඨයන් විසින් මීට පෙරදී අල්ලාගත් ජීව ශක්තිය හීන වූ අයෙක්, එසේ නැතිනම් කොතරම් බලවත් වුවත් සාමාන්‍ය ශිෂ්‍යයන් ඔවුන් සමග සටන් වදින්නේ කෙසේද? කෙසේ වෙතත් ඔබ කිසිවිටකත් තුවාල ලැබූ අසුරයාගේ ශක්තිය පිළිබඳව අවතක්සේරු කරන්න එපා. බොහෝ සෙයින් තුවාල ලැබූ අසුරයෙක් වුවත්, ඔහු සතුව 20% ක් 30%ක් පමණ ශක්තියක් පැවතියත් ශිෂ්‍යයින් ඉතා කිහිපදෙනෙක්ට පමණයි ඔහුව පරාජය කළ හැක්කේ. එසේ නොමැතිව එකිනෙකා හා සටන් වැදීමෙන් ජයග්‍රාහකයා තේරීමට පමණක්  නම් පුෂ්ප පළඳනා තරඟාවලියට මෙතරම් ප්‍රමුඛස්ථානයක් ලබා දෙන්නේ ඇයි? මෙම තරඟාවලිය ආරම්භ වූ දා පටන්ම මේ වන තෙක් ශිෂ්‍යයින් දස දෙනෙකුට වඩා පියෝනි පුෂ්පය ලබා ගැනීමට සමත් වී නැහැ. එම නිසා එය ඔබ සිතන තරම් පහසු එකක් නොවෙයි."

පුෂ්ප පළඳනා තරඟාවලිය ඉතා බැරෑරුම් එකක් බව තේරුම්ගත් සියළු දෙනා සුසුම්ලන්නට විය. එය ඇසීමෙන් විශ්මයට පත්වූ ලින්ග් ලොං තවත් ප්‍රශ්න යොමු කරන්නට වූවාය, "ඔබ දන්නවාද තරගාවලියේ සිටින අසුරයා කවුරුන්ද යන වග?"

චන් මිග්ජුඒ මෙලස පිළිතුරු ලබාදුණි, "මට මේ වනතාක් ඒ පිළිබඳව විශ්වාසයක් නැහැ, නමුත් මට අසන්නට ලැබුණා ලූතායි කඳුකරයේ මිනිසුන්ට කරදර කරනා අසුරයෙකු සිටින බව, මම සිතන්නේ ඔවුන් ඔහුව භාවිත කරාවි."

මින්ග්ජුඒ ගේ කතාව පිළිබඳව උනන්දු වූ ලින්ග් ලොං ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න විමසුවත් මින්ග්ජුඒ සුසුම්ලනට වූයේ අකමැත්තෙනි, "නැගණිය, මම දන්නේ නැහැ! ඇයි ඔබ නැන්දණියගෙන් විමසන්නේ නැත්තේ, පුෂ්ප පළඳනා තරඟාවලිය පිළිබඳව ඇය බොහෝ දේ දන්නවා."

හ' දන් පිං තම හිස සොලවා එය අනුමත කළාය, "මින්ග්ජුඒ නිවැරදියි.අසුරයාව පරාජය කළ නොහැකිනම් ඔබට පුෂ්පය ලබා ගත නොහැකියි. ඒ කාලයේ ඔබගේ ඇදුරුතුමාත් තරඟාවලිය සඳහා සහභාගී වුණා. ඔහු එහි වූ වයසින් අඩුම පුද්ගලයා වුවත් ඔහු කෙතරම් දක්ෂද යත් තරඟාවලිය ජයග්‍රහණය කරන්නට සමත් වුණා. අවසානයේ අසුරයාගේ බලපෑම නිසා ඔහු අනතුරට ලක් වුණා. මියයන්නට පවා තිබුණා. තවමත් ඔහුගේ සිරුරේ විශාල කැලැලක් තියනවා."

"කුමනාකාරයේ අසුරයෙක් සමගද පියාණන් සටන් වැදුනේ? ඔහු පියෝනි පුෂ්පය ලබා ගත්තාද?"

"ඒ ෆෙයි යී නම් ප්‍රසිද්ධ අසුරයෙක්. ඔහු වසර තුනක් තිස්සේ වයඹ ප්‍රදේශයේ සැරිසරමින් සිටියා, එකල ඒ ප්‍රදේශයට වර්ෂාව පවා ලැබුණේ නැහැ.අවසානයේ ඔබගේ මුත්තණුවන් සහ අනෙක් නිකාය වැඩිහිටියන් එම අසුරයාව යටපත් කිරීමට ඔවුන්ගේ උපරිමය සිදු කළා. පසුව පුෂ්ප පළඳනා තරඟාවලියේ අවසාන අභියෝගයට එම අසුරයා භාවිතා කළා. ඔබේ පියාණන් ජයග්‍රහණය උදෙසා එම අසුරයා සමග දින දෙකතුත් රාත්‍රී දෙකකුත් සටන් වැදුණා, ඔහු පිටත පැමිණෙන විට ඔහුගේ සිරුර වියළී ගොස් මියයාමට ආසන්නව සිටියේ. පසුව මම..."

ක්ෂණයෙන් ඇගේ කතාව නැවතුණි. ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්වෙන්නට විය. මෙවන් දෙයක් තම කණිෂ්ඨ ශිෂ්‍යයන්ට ඇය පවසන්නේ කෙසේද. තරඟාවලියෙන් පසුව ඔහුව දුටු ප්‍රථම අවස්ථාවේම ඇය මංමුලා සහගත ලෙස දිවගොස් ඔහුව වැළඳගෙන හඬාවැටෙන්නට විය. කෙසේ වෙතත්, විශාල කැපකිරීමක් කර ලබාගත් පියෝනි පුෂ්පය ඔහු ඇගේ හිසේ රඳවා සිනාසෙමින් මෙසේ පැවසුවේය, "මට මෙය දිගු කලක් තිස්සේ පවසන්නට අවශ්‍යව තිබුණා...සුගන්ධවත් පුෂ්පයන් කාන්තාවන්ට මනාව ගැලපෙනවා. අවසානයේ ඔබට සුදුසු පුෂ්පයක් මට හමුවුණා."

අහෝ, අතීතයේ වූ මිහිරි මතකයන් කාලයාගේ ඇවෑමෙන් මැකී ගොස් ය. ඇගේ හදවතේ පමණක් මේ වටිනා මතකයන් සියල්ල ජීවමානව ඇත්තේ අද ඊයේ  සිදුවූවාක් මෙනි.

රාත්‍රී ආහාරයෙන් අනතුරුව සියළු දෙනාම මද වේලාවක් කතාබහ කරමින් ෂුවැන්ජිව සනසවා විවේක ගැනීම සඳහා පිටත්ව ගියහ.

තම සිතෙහි ඇති ශෝකය හමුවේ කඳුළු කෙතරම් ප්‍රමාණයක් වැගිරුවාද යන්නවත්, තම දියණියගේ දෑත් අල්ලාගෙන කෙතරම් කනස්සලු වදන් පැවසුවාද යන්න හ' දන් පිං දැන සිටියේ නැත. ඇය දැනසිටියේ මෙම කෙටි රාත්‍රියටත්, දිදුලන ආකාශයටත් තමා වෛර කරන බව පමණි.

පසුදා, කුඩා පාර්සලයක් අතැතිව දොරටුව විවෘත කල ෂුවැන්ජි හට දැකගත හැකිවූයේ ජන්ෂියා ශාලාවේ ශිෂ්‍යයන් කිහිපදෙනෙකුත් යැන්ග් ඇදුරුතුමාත් ඈ ඉදිරිපස සිටිනා ආකාරයයි, ශ්වේත වර්ණ පසුබිමෙහි වූ රක්ත වර්ණ වස්ත්‍රයකින් ඔවුන් සැරසී සිටියහ.  හ' දන් පිං දුටු ඔවුන් ඈට ආචාර දක්වන්නට විය, " සුබ දවසක් මැතිණියණි, ෂුවැන්ජි නැගණිය මින්ග්ෂියා ගුහාවට කැඳවාගෙන යන ලෙස ඇදුරුතුමාගෙන් අපට නියෝග ලැබුණා."

නීති කඩ කරන සියළු දෙනා වෙනුවෙන් දඬුවම් පැමිණවීම ජන්ෂියා ශාලාවේ වගකීම විය, ෂිඒ ලෙයි ඔවුන්ට ෂුවැන්ජිව රැගෙන යාමට ඉඩදීමෙන් පෙන්නුම් කළේ ඔහුගේ පරාර්ථකාමී බවයි. කඳුළු නවතා ගැනීමට නොහැකි වූ හ' දන් පිං ෂුවැන්ජී හට අවසාන වතාවට යමක් පවසා , කඳුළු පිරි දෙනෙතින් යුතුව සිටින ලින්ග් ලොං සමග පසෙකට විය, ෂුවැන්ජිගේ දෑත් රන් දම කින් බැඳ ඈව ජේඩ් අසුනක හිඳුවනා ආකරය ඔවුන් බලා සිටින්නට විය. අසුනෙහි සිව් කෙළවරින් සිටගත් සිසුන් සිව් දෙනෙක් එය ඔසවාගෙන යන්නට වූහ.

"ෂුවැන්ජි, බිය වෙන්න එපා! ඔබව රැගෙන යාමට මෑණියන් ඉක්මනින්ම පැමිණෙනවා!" හ' දන් පිං ෂුවැන්ජි හට දෑත දිගු කරමින් පැවසීය.

අසුනේ සිටි ඈ එබී බලන විට මුහුණ සුදුමැලි වී තිබුණද ඇගේ මුහුණෙහි ශෝකයක් හෝ බියක් නොවිය. තම සහෝදරිය සහ මව හඬනු දුටු විට මදක් ශෝකයට පත්වූ ඈ ශබ්ද නගා මෙසේ පැවසුවාය, "මට කරදරයක් සිදුවන්නේ නැහැ! මෑණියණි, අක්කණ්ඩි, මා පිළිබඳව දුක් වෙන්න එපා!"

ඒ සමගම ගුවන් ගත වූ අසුන කළු පැහැ තිතක් ව ගොස් නොපෙනී ගියේය.

ෂුවැන්ජි, මින්ග්ෂියා ගුහාව පිළිබඳව අසා තිබුණත් කිසිදා එහි ගොස් තිබුණේ නැත, එම නිසා ඈ දඬුවම දරුණු ලෙස සැලකුවේ නැත, ඇයට තමා වාසනාවන්ත බව දැනුනේ පහර ලැබීමට වඩා සිරවී සිටීම වඩාත් හොඳ යැයි හැඟුණු හෙයිනි. තම පියාණන්ගෙන් කම්මුල් පහර ලැබීමට ඈ කැමති වූයේ නැත,එය ඉතා භයානකය.

ඇගේ මව ඈ හට ගමන් මළු දෙකක් සූදානම් කර තිබුණි, එකක සම්පුර්ණයෙන්ම වස්ත්‍ර වූ අතර අනිකෙහි වූයේ වියළි ආහාරයි, ඇගේ සළුවෙහි සාක්කු සහ ඉදිරිපස් වූ වස්ත්‍ර සියල්ලම විවධ භාණ්ඩයන් වලින් පිරී තිබුණි. ඇගේ අලස බව නැති කරගැනීමට ලින්ග්ලොං විසින් ඈ හට කුඩා ක්‍රීඩා උපකරණයක්ද එවා ඇත. නමුත් අවාසනාව නම් ඒ අවස්ථාවේදී ඇගේ දෑත් බැඳ දමා තිබූ නිසා ඒ සියල්ල සමීප ලෙස පරීක්ෂා කළ නොහැකි වීමයි.

ඔවුන් පවසා තිබූ ආකාරයට මින්ග්ෂියා ගුහාව ෂාඕයැන්ග් කඳුවැටියේ වඩාත්ම ආකර්ෂණීය ස්ථානයක් වූ සූර්‍ය කඳුකරයෙහි පිහිටා තිබුණි. සූර්ය කඳුකරය, ෂාඕයැන්ග් කඳුවැටියෙහි වූ උසින් අඩුම කඳුකරයයි. වෘක්ෂයන් අධික ලෙස නොවූ එහි වන සතුන් බොහෝමයක් හමුවූ ස්ථානයක් වූ අතර ගුප්ත බවකින්ද යුක්ත විය. මින්ග්ෂියා ගුහාව එහි වූ ගැඹුරුම සහ විශාලම ගුහාව විය.

කාලවර්ණ ජේඩ් අසුනෙහි පැමිණි ෂුවැන්ජි මද වේලාවකින් මින්ග්ෂියා ගුහාවෙහි ද්වාරය වෙත ළඟා වුණි. අසුනෙන් හිස ඔසවා බැලූ ඈ හට දක්නට ලැබුණේ එම භූමිය පයින් සහ සයිප්‍රස් වෘක්ෂයන්ගෙන් වට වූ සමතලා පෙදෙසක් බවයි. නමුත් පුදුමයට කරුණ නම්, මින්ග්ෂියා ගුහාව ඉදිරිපස අඩි තුනක් පමණ වූ භූමිය කිසිදු තෘණ වෘක්ෂයකින් තොරව වියළි රුධිරය මෙන් රක්ත වර්ණයක් ගෙන තිබීමයි.

එක් ශිෂ්‍යයෙක්, ෂුවැන්ජීව බැඳ දමා තිබූ රන් දම් ගලවා ඉවත් කරන අතරතුරේදී, තවකෙක් ඇගේ ගමන් මළු දෙකොසවා ගත්තේය. තවකෙක් පැවසීමටත් පෙරම ෂුවැන්ජිව අසුනෙන් බිමට බැස්සවිය, "ෂුවැන්ජි නැගණිය, දැන් අප ඔබව ගුහාව තුළට රගෙන යා යුතුයි."

ඈ කීකරු ලෙස හිස සැලුවාය, නමුත් ගුහාව තුළට යාම සඳහා ඔවුන් තමා සමඟ පැමිණෙන්නේ මන්දැයි ඈ ඔවුන්ගෙන් විමසුවේ නැත. ඇය පලායාවි යැයි ඔවුන් බියෙන්ද?

ගුහාවට ඇතුළු වීමට අඩි දහයක් පමණ උස යකඩින් තැනූ අද්භූත දොරටුවක් ඇති බව දන්නේ කවුද? දොරටුවේ අගුල ඇගේ කලවා වලටත් වඩා පුළුල් බවින් යුක්ත විය, යම් අයෙක්ට පිටත යාමට හෝ ඇතුළට පැමිණීමට අවශ්‍ය වුවත් යතුර නොමැතිව කිසිවක් සිදු කළ නොහැක. සිරමැදුරක් වූ මෙම ගුහාවට මින්ග්ෂියා වැනි හොඳ නමක් ලබා දීම අපරාධයකි.

දොරටුව විවෘත කර අඩි කිහිපයක් ඉදිරියට යත්ම එහි වූ ආලෝකය කෙමෙන් කෙමෙන් අඩු වන්නට විය. පියවර පහකට වඩා ඈතින් සිටින අයකුගේ මුහුණ යන්තම් දැකගැනීමට හැකිවන තරමට පමණක් එහි ආලෝකය පැතිරී තිබුණි. වටපිටාව නිරීක්ෂණය කළ ෂුවැන්ජි හට එහි බිත්ති වල වූ පාසි දැකගත හැකි වූ අතර වවුලන් නොසිටීම පිළිබඳව ඈ මහත් සේ සතුටට පත් විය. සමහරවිට කවුරුන්හෝ උන්ව මරාදැමුවා විය හැක, ඈ සිතන්නට වූවාය.

මදක් ඉදිරියට ඇදෙන විට ඇයට ඇසුණේ ගලා යන ජල පහරක ශබ්දයයි, ඒ ඇසුණු ඈ නිගමනය කළේ එහි භූගත උල්පතක් තිබිය යුතු බවයි.

මින්ග්ෂියා ගුහාවෙහි මෙතරම් දෑ ඇති බව ෂුවැන්ජි කෙදිනකවත් සිතුවේ නැත. ගුහාවට ඇතුල් වන දොරටුව යකඩ ගේට්ටුවකින් අගුළු දමා තිබීම පමණක් නොව, ගුහාවට ඇතුල් වී ගමනාන්තයට එලැඹිමට පෙර කෙටි බෝට්ටු සවාරියක යාමටද ඇයට සිදු විය. එම අවස්ථාවේ ඈ හට කිසිවක් නොපෙණුන නිසා තම දෑත් ඇස් ඉදිරිපසින් තබාගෙන ඒ දෙස බලා සිටීමට ඈ උත්සාහ කළාය.

පන්දමක් දල්වා ගත් ශිෂ්‍යන් සිව් දෙනාට එහි ශෛලමය කුටීරයක් ඇති බවත්, ශෛලමය යහනක් ඇති බවත් දැක ගැනීමට හැකි විය.එහි වූ මේස පුටු ආදී සියල්ලම හරිත ශෛලමය ඒවා විය. යහන පැතලි ගල් තට්ටුවකින් නිමවා තිබුණි. එහි තෙත් පිදුරු තට්ටුවක් පමණක් වූ අතර බ්ලැන්කට්ටුවක් හෝ නොවීය.

ශිෂ්‍යන් සිව් දෙනා ෂුවැන්ජි හට ශෛලමය ආයුධ කිහිපයක් සහ ඉටිපන්දම් කිහිපයක් ලබා දී නැවත් පිටත් වීම සඳහා සූදානම් වූහ, " එසේ නම් ෂුවැන්ජි නැගණිය මෙහි ධ්‍යාන වැඩීම සඳහා නවතින්න. අප පිටත්ව යා යුතුයි."

ඇගේ අඳුරු වී ගිය හිස් බවක් ඇති මුහුණ දුටු ඔවුන්ට එය දරාගත නොහැකි වූ තැන ඈ හට පන්දම ලබා දීමට ඔවුන් තීරණය කළහ, " නැගණිය, ප්‍රවේශමින්!මම බලාපොරොත්තු වෙනවා ඔබ ඉක්මනින්ම ඉහළ ධ්‍යානයන් ප්‍රගුණ කරයි කියා."

ඔවුන් පිටත් වීමෙන් අනතුරුව ගුහාව නැවතත් බොහෝ සෙයින් නිහඬ ස්ථානයක් වූ අතර එය මළ නිහඬතාවයක් මෙන් විය.

ෂුවැන්ජි මින් පෙර කිසිම දිනෙක මෙතරම් නිහඬ සහ බිය උපදවන පරිසරයක සිට නැත. බොහෝ වේලාවකට පසුව ඇගේ හදගැස්ම පවා ගිගුරුම් දෙන ආකාරය ඇයට ශ්‍රවණය කළ හැකි විය, එපමණක් නොව ඇයට තම නහර සහ ධමනි චලනය වන ශබ්දයද ඇසුණි.

බොහෝ සෙයින් බියට පත්වූ ඈ ආපසු හැරී ශෛලමය කුටීරය වෙත පිවිස එහි වූ යහන ස්පර්ශ කරන්නට වූවාය.බලාපොරොත්තු වූ පරිදිම, එය බොහෝ සෙයින් තෙත්ව තිබූ අතර එය කොපමණ කළක් තිස්සේ එහි තිබෙනවාද යන්න ඈ දැන සිටියේද නැත. එහි දිගාවීමට ඇය උත්සහ කළත්, එය ඉතා දුෂ්කර සහ අපහසු විය.

ඇය කුඩා කල සිට මේ දක්වා කිසිදු දිනක මෙවන් දුෂ්කර අත්දැකීමකට මුහුණ දී නැත, වත්මන් තත්වය බොහෝ සෙයින් වෙන්ස් ය, ඇයට වරදකාරී හැගීමක් දැනුණි, හැඬීමට අවශ්‍ය වුවත් වෙනත් සිතුවිලි මගින් එය නවතා දැමීය. ඇය එහි සිටියේ තනිවමය. එම නිසා තම උගුර රිදුම් දෙනතුරු කෑ ගසා හැඬුවත් ඉන් පලක් නැත. එම නිසා තම ධෛර්‍යය වඩවා ගෙන එහි සන්සුන්ව සිටීමට ඇයට සිදුවිය. තම මෑණියන් තමාව රැගෙන යාමට කවදා පැමිණේදැයි ඇය දැන සිටියේ නැත, නමුත් තවදුරටත් මෙම ස්ථානයේ සිටීමට ඇයට කිසිදු ආකාරයක අවශ්‍යතාවයක් නොවීය.

කොතරම් වේලාවක් ගතවී ගියාදැයි ඈ දන්නේ නැත, යහනෙහි නිදමින් සිටි ඈ හට ගුප්ත සිහින බොහෝමයක් පෙණුනි. තම පියාණන් තමාට පහරදීමට යන අවස්ථාවකදී මෑණියන් විසින් තමාව බේරාගැනීමට උත්සහ කරමින් තිබුණි. කොහිදෝ සිට පැමිණි ජොං මින් යෑන් ඈ දෙස අමුතු බැල්මක් හෙලා මෙලෙස පැවසුවේය, "ඔබට එලෙස සිදුවිය යුතුයි." ක්ෂණයෙන් එහි පැමිණි දූ මින් ෂිං ඇගේ හිස අත ගා ඈ වෙනුවෙන් කතා කරන බවට පොරොන්දු විය.

ඈ ඔහුගෙන් අයැද සිටියේ තමාව ගුහාවෙන් පිටතට ගන්නා ලෙස පියාණන් හට පවසන ලෙසයි, එවිටම ජල බඳුනක් ඇගේ මුහුණට විසිකළ ලින්ග් ලොං, "ඔබ නැවතත් දවල් සිහින දකිනවා!" යැයි පැවසීය.

නින්දෙන් අවදි වූ ඈ වෙව්ලන්නට වූ අතර මුළු පරිසරයම අන්ධකාරයෙන් වෙලීගොස් තිබුණි. පන්දම නිවී ගොස් ඇති බව වටහා ගැනීමට ඇයට බොහෝ වේලා ගත විය. ඇගේ සිරුරට යටින් වූ පිදුරු වල තෙතමනය ඇගේ ඇඳුම් අතරින් කාන්දු වන්නට විය. තවදුරටත් වෙව්ලීම නවතා ගත නොහැකි වූ කල්හි ඈ ඇඳීම සඳහා ඇඳුම් කිහිපයක් සෙව්වාය.

එහි කිසි ශබ්ධයක් නොවීය, ඉතා නිහඬය. දැඬි නිහඬතාව සහ අන්ධකාරය , මරණයටත් වඩා දරාගත නොහැකි දෙයක් විය. ඇය ශෛලමය යහන මත ගුලි වුවද වෙව්ලීම නවතා ගැනීම අපහසු විය. තමා වෙව්ලන්නට වූයේ සීතලටද එසේත් නැතහොත් එහි වූ දැඩි නිහඬියාවට ඇති බිය නිසාවෙන්ද යන්න ඇයට වැටහීමක් නොවුණි.

එකෙනෙහිම ඇයට සිහි වූයේ ෂියාතැන්ග් ශාලාවේ ශිෂ්‍යයන් ඇය වෙනුවෙන් ඉටිපන්දම් සහ ගිනිසිළුවක් තබා ගිය බවයි. යහන මත බොහෝ වේලා දඟලමින් ශෛලමය ආයුධයක් සොයාගත් ඈ එය පිරිමැද ඉටිපන්දමක් දල්වා ගත්තාය. ආලෝකයත් සමග ඇයට දැණුනේ සහනයකි.  එම සහනයත් සමගම තව දුරටත් යහනෙහි රැඳුනු ඈ ඉටිපන්දමෙන් නැගෙනා තැඹිලි පැහැ දැල්ල දෙස බලා සිටින්නට වූවාය.

එහි ඉටිපන්දම් හතරක් පමණක් තිබීම හේතුවෙන් ඒවා නිතරම භාවිතා කිරීමට නොහැකි නිසා ඇයට දවසේ වැඩි කාලයක් සිටීමට සිදු වූයේ අඳුරේය. ජොං මින් යෑන් ගෙන් තවත් ඉටිපන්දම් ඉල්ලා සිටිය හැකි වුවද, ඔහු කිසිදිනක ඈ සමග කුළුපඟ නොවූ හෙයින් එම ඉල්ලීමට කිසිවිටක අවනත නොවනු ඇත. එම නිසා ඒ පිළිබඳව අසා නින්දාවට පත් වනවාට වඩා කිසිවක් නොකියා සිටීම අගනේය.

ගුහාව තුළදී කාලය ගතවන්නේද නැත. දැනට කොපමණ වේලාවක් ගතවී ඇත්ද යන්න ඇයට අදහසක් නැත.

එහි කිරීමටද කිසි දෙයක් නොවීය. ඇය සාමාන්‍යයෙන් දවස ගෙවා දැමුවේ කිසිවක් සිදු නොකර තුෂ්නිම්භූතව බලාසිටිමිනි. එම නිසා ඈ ලින්ග් ලොං විසින් ලබා දුන් ක්‍රීඩා උපකරණ පිටතට ගත්තාය. එහි වූයේ කැටපෝලයක්, මැටියෙන් සෑදූ පක්ෂියෙක් සහ රක්ත වර්ණ සංගීත භාණ්ඩයකි.

මේවායින් ඇති ප්‍රයෝජනය කුමක්ද? පැටලිලිසහගතයි.

ඇයට නින්දට යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය, නමුත් යහන අධික ලෙස ශීතල වූ නිසාවෙන් නින්ද ඇගේ අසලට පැමිණියේ නැත. ඇය තනිකම මුසු ගුප්ත හැඟීමක් සමග වෙව්ලන්නට විය.

එක් වරම තම ළය තුළ තබා ගෙන සිටි කුඩා සංගීත භාණ්ඩය බිමට පතිත වී හැපෙනසුළු ශබ්දයක් ඇති කළේය.  අඳුරේම එය දෑතට ගත් ඈ මද වේලාවකින් සියුම් ලෙස කරකවන්නට වූවාය.

ඩොං ඩොං ඩොං, ඩොං ඩොං ඩොං.

එයින් නැගුණේ විශාල ශබ්දයකි.

එවන් නිහඬ සහ අඳුරු ස්ථානයක ඇගේ තනිකම නැතිකිරීමට ඇය හා එක් වූයේ එම ශබ්දය පමණි.

ඇය එය දිගටම කරකවන්නට වූවාය.

ඩොං ඩොං ඩොං, ඩොං ඩොං,ඩොං ඩොං.

එක් අතකින් සැලකූ කල්හි එය ඇයව නව අවුරුදු දර්ශනයක කාර්‍යබහුල කලාක් මෙනි.

වැඩිමහල් සහෝදරයා කුයි පෙයි රබානට රතු සේද කඩිප්පුවෙන් පහර දෙමින් සිටියේය, ඒ අතර ලින්ග් ලොං තම කුඩා ඉණ බෙරයට පහර දෙමින් උඩ පනිමින් සිටියාය. අවට වාතය මෑණියන්ගේ රසවත් රතු බෝංචි කේක් සුවඳින් පිරී ගොස් තිබුණි, පියාණන් විසින් තරුණ සිසුන් හට වයින් ගබඩාවේ වසරක් තිස්සේ සඟවා තිබූ රසවත් වයින් පිටතට ගැනීමට උපදෙස් දෙමින් සිටියේය.

ඇය කාර්‍යබහුල දර්ශන වලටද ප්‍රිය කරන්නීය. සියළු දෙනා විසින් අනුකම්පා විරහිතව තමාව නොසලකා හැර අමතක කොට ඉවත් කරනවා වෙනුවට මෙවන් කාර්‍යබහුල දර්ශනයක පසුබිම් වර්ණයක් වීමට ඇය කැමති විය.

අහඹු සිතුවිලි රාශියකින් සිත පුරවා ගත් ෂුවැන්ජි මෙම කරදරකාරීබව සහ අසරණ බව අමතක කර අවසානයේ නින්දට වැටුණාය.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)