4) සිරගත කිරීම [2]

 ජොං මින් යෑන් ෂාඕ යැන්ග් නිකායෙහි පිරිමි ශිෂ්‍යයින් අතර ලාබාලතම ශිෂ්‍යයා වූ අතර මුළු නිකායෙහිම වයසින් අඩුම ශිෂ්‍යයා වූයේද ඔහුයි. එම නිසා තමාට පැවරුණු කාර්‍යයක් ඉටු කිරීමට අලස වන බොහෝමයක් ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයින් තම කාර්‍යයන් ඔහුට භාර දුණි. එබැවින් ඔහු අනෙක් සියළුම ශිෂ්‍යයන්ට වඩා කාර්‍යබහුල අයෙක් විය.

එහෙයින් යම් යම් දෑ අමතක වීම ඔහුගෙන් දක්නට ලැබුණු සුලබ ලක්ෂණයක් විය.

එදින දිවා ආහාරයෙන් පසුව, ඔහු සටන් කලා පුහුණු බිමට වේලාසනින්ම පැමිණියේය. ඔහු තම අසිපතින් පුහුණුව ආරම්භ කිරීමට සැරසෙත්ම ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙක් පැමිණ ඔහු සමග විවාද කිරීමට පටන් ගත්තේය. දෙවන ජ්‍යේෂ්ඨ සහෝදර චන් මින්ග්ජුඒ ඉතා කපටි අයෙක් වූ අතර තමන්  මින් යෑන් හට පැරදෙන්නට යන වග දැනගත් වහාම මෙසේ පවසන්නට විය, "මින් යෑන් , ඔබ ඉක්මනින්ම නැගණියට ආහර ලබා දියයුතුයි නේද?"

එයින් ජොන් මින් යෑන් ගේ අවධානය මදක් බිඳුණු හෙයින් අසිපත් චලනයේ යම් වරදක් සිදුවිය, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මින්ග්ජුඒ ඔහුගේ මැණික් කටුව කරකවා, අසිපත බිම හෙළමින් සිනාසුණි, "ඔබ පරාජය වුණා. දැන් ඔබ රාත්‍රී ආහාරය පිළිගැන්වීමට යන්නේ නැත්තේ ඇයි? ඔබ ප්‍රමාද බව දැනගතහොත් මැතිණිය අප්‍රසාදයට පත් වේවි."

ඔහුට සත්‍ය වශයෙන්ම එය අමතක වී ගොස් තිබුණි. සටන් කලා පුහුණු පිටියෙන් වහාම පිටත් වූ ජොං මින් යෑන් මුළුතැන්ගෙය වෙත දිව ගියේ ආහාර රැගෙන ඒමටයි.ෂුවැන්ජි පුහුණු පිටියේ පෙනී සිටින්නේ ඉතා කලාතුරකින් වන නිසා, ඔහු මෙම බාල කණිෂ්ඨයන්ගේ කාර්‍යයන් කෙරෙහි තම අවධානය දැක්වූයේ නැත. උදෑසන ඔහු ඉගෙනගත් ධ්‍යානවේදී සිද්ධාන්තය සම්පූර්ණ කර තිබුණි.ඔහුට මතකයේ තිබුණේ අසිපත් පුහුණුව පමණි. ෂුවැන්ජිගේ සිරගත කිරීම පිළිබඳව ඔහුට අමතකව ගොස් තිබුණේය.

සත්‍ය වශයෙන්ම එය කරදරකාරි දෙයක් විය. ෂුවැන්ජි හට ඔහු කෙරෙහි වෛරයක් තිබිය යුතුමය. සිරගතකළේ ඇය වුවත් අවාසනාවන්තයා වූයේ ඔහුය. ඔහුට සෑම දිනකම බියජනක මින්ග්ෂියා ගුහාව වෙත තෙවරක් ගමන් කිරීමට සිදුවූ අතර එයින් ඔහුගේ දහවල් පුහුණු කාලයද කෙටි විය.

ඔහු සාමාන්‍යයෙන් විහිළු කිරීමටද කිසිවක් සිදුනොවූ ආකාරයට සිහනවෙන් ගත කිරීමටද ප්‍රිය කළ අයෙක් වුවත් සැබවින්ම ආඩම්බර පුද්ගලයෙක් විය. ජ්‍යේෂ්ඨත්වයෙන් අඩුම තැනැත්තා වූ ඔහුට ලැබුණේ අඩු වටිනාකමකි. ඔහුට සැමවිටම කුමක් හෝ සිදු කිරීමට අණ ලැබුණි. එම නිසා ඔහු තම පුහුණුවීම් වලදී අතිශය දැඩි අයෙක් විය. තම ජ්‍යේෂ්ඨ සහෝදරයන් අභිබවා යන බවත් නැවතත් කිසිවෙකුට තමාව පහත් කොට සැලකීමට ඉඩ නොතබන බවටත් ඔහු තමාටම දිවුරා ඇත. දැන්, ඔහුට ෂුවැන්ජි වෙත දිවා ආහාරය රැගෙන යාමට සිදුවී ඇති නිසා දිවා පුහුණු කාලය අඩකින් අඩු විය.

මුළුතැන්ගෙයි වූ කත ඒ වනවිටත් ෂුවැන්ජිගේ ආහාර කූඩයකට දමා සූදානම් කර තිබුණි. මින් යෑන් එනු දුටු ඈ, ඔහුට සිනහවකින් සංග්‍රහ කොට කූඩය ඔහු වෙත පාමින් මෙසේ පැවසීය, "ඉක්මන් කරන්න, දැන්ම යන්න. ෂුවැන්ජිව කුසගින්නේ තබන්න එපා. එය ඉතා කණගාටුදායකයි."

කණගාටුදායකයි! මම ඇයට වෛර කරනවා!ඇය තමන්ගේ අලස බවට දඬුවම් ලබනවා පමණක් නෙවෙයි අන් අයවත් ඊට ඈඳා ගන්නවා!

ගමනෙහි අඩක් යනවිට කූඩය විවෘත කර බැලූ ඔහුට දක්නට ලැබුණේ එළවළු පිගන් දෙකක්, බත් පිඟානක් සහ සුප් බඳුනකි. එහි වූ ප්‍රණීතම සහ විශාලම සූඛර මස් කැබැල්ල මුවට දාගත් ඔහු එහි රස බලන්නට විය.

හ්ම්... ඒ කෙල්ලට කන්න දෙන්න අවශ්‍ය නෑ!

මින්ග්ෂියා ගුහාවෙහි ආලෝකය නොවූ බැවින් ඔහු පන්දමක් සූදානම් කරගත්තේය. අවසානයේ ගුහාව වෙත ඔරුවෙන් ලඟා වීමෙන් අනතුරුව එහි වූ අඳුරු සහ නිහඬ බව ඔහුට පෙණුණි. ඔහු දැඩි හඬින් මෙසේ පවසන්නට වූයේය, "චූ ෂුවැන්ජි, ඔබේ ආහාර ලබාගන්න."

කිසිවකුගේ අවධානයක් ඔහු වෙත යොමු වූයේ නැත.

ජොං මින් යෑන් කෝපයට පත් විය, "ෂුවැන්ජි, ආහාර!." ඔහු තම හඬ පෙරට වඩා වැඩි කළේය.

අවසානයේදී, ජොං මින් යෑන් හට යම් වැරදි දෙයක් සිදුවී ඇති බව වැටහුණි. ඔහු වැලිතලාවට පැන ලෙලදෙන පන්දමත් අතැනිව ශෛලමය නිවස දෙසට දිව ගියේය,ඔහුට දක්නට ලැබුණේ කුඩා දැරිය යහන මත ගුලිවී නිදා සිටින ආකාරයයි. පසෙක වූ  අසුන මත දැවී අවසන් වූ ඉටිපන්දමක්, නොදැල්වූ ඉටිපන්දම් තුනක් සහ ගිනිගල් අතලොස්සක් විය.

සුසුම්ලන්නට වූ මින් යෑන් තම දෑතින් ඈව තල්ලු කිරීමට සැරසෙමින් මෙසේ පැවසුවේය, "චූ ෂුවැන්ජි, අවදිවෙන්න, ආහාර ගැනීමට වෙලාව ඇවිත්."

තුෂ්ණිම්භූත වී තම දෑස් විවර කළ ෂුවැන්ජි හට දක්නට ලැබුණේ ඇය ඉදිරිපස වූ දීප්තිමත් ආලෝකයක් සහ කළු පැහැ විශාල බඳුනක් අතැතිව නොඉවසිලිමත්ව තමා දෙස බලා සිටින ජොං මින් යෑන් වයි.

"ඔබේ ආහාර වේල ලබාගන්න." ජොං මින් යෑන් ආහාර බඳුන මේසය මත තබා හැරී බලන විටත් ඈ එලෙසම නොසෙල්වී සිටියාය. ඔහුට කෝපය පාලනය කරගැනීමට නොහැකි විය, "ඔබ ආහාර ගන්නේ නැතිනම් එය පවසන්න, මට දිනපතා එහා මෙහා යන කාලය ඉතිරි කරගන්න පුළුවන්..."

ෂුවැන්ජිට දැඩි සීතලක් දැනුණි, ඇයට හුන් තැනින් සෙලවීමටවත් අවශ්‍ය වූයේ නැත. මෙම පුද්ගලයා සෑමවිටම ඈ හට දරුණු ලෙස සැලකුවේ ඈ ඔහුට ණයක් පියවීමට ඇතිවාක් මෙනි. ඇයට ඔහු සමග රණ්ඩු වීමට අවශ්‍යවුවත් මේ අවස්ථාවේ ඈ සතුව ශක්තියක් නොවීය. තමා ආහාර නොගතහොත් මව කනස්සල්ලට පත් වේ යැයි ඇය බිය වූවාය. බොහෝවේලාවක් පසුබට වූ ඈ අවසානයේ යහනෙන් බැස තමා වටා සළු කිහිපයක් ඔතාගනිමින් ආහාර බඳුන දෑතට ගත්තාය.

වාසනාවකට මෙන් ඒ වන විටත් ආහාර උණුසුම් සහ රසවත් විය. එයින් බොහෝමයක් ආහාරයට ගත් ඈ ජොං මින් යෑන් දෙස බලනවිට දැකගතහැකි වූයේ ඔහුද ඈ දෙස බලා සිටින ආකාරයයි, "ඔබටත් ආහාර ගැනීමට අවශ්‍යද?" ඇය විමසීය.

එය ඇසුණු වහාම ජොං මින් යෑන් ගේ මුහුණ රත් පැහැයට හැරුණි,"ඔබ ඉක්මනින්ම ආහාරගෙන අවසන් කරන්න. එවිට මට නැවත පුහුණුවීම් වලට යා හැකියි." ඔහු කොඳුරන්නට විය.

සුප් බඳුනෙන් උගුරක් බිව් ෂුවැන්ජි මෙසේ පැවසුවාය, "ඔබට දැන් යා හැකියි. මේ ආහාර බඳුන් රාත්‍රී ආහාර රැගෙන ආ විට ගෙන යන්න, එවිට ඔබේ කාලය අපතේ නොයාවි."

ඇය එසේ පවසාවි යැයි ඔහු කිසිවිටෙකත් අපේක්ෂා කළේ නැත. මද වේලාවකට පසු ඔහු තම හඬ අවදි කළේය, "ඔබ මෙහි සිටින්නේ තනිවම, ඔබට කතා බහ කිරීමට කිසිවෙක් අවශ්‍ය නැතිද?"

ඊට පිළිතුරු නොදුන් ෂුවැන්ජි ආහාර ගැනීම ඉක්මනින් අවසන් කර බඳුන් ඒවා රැගෙන ආ කූඩයට දමා මින් යෑන් හට ලබා දුන්නාය, " මම ආහාර ගෙන අවසන්, ඔබට දැන් එය රැගෙන යන්න පුළුවන්."

ජොං මින් යෑන් හට ලැජ්ජාවක් දැණුනි. ඔහු පැකිලෙමින් කූඩය අතට ගත්තේය. ඔහුට යමක් පැවසීමටද අවශ්‍යව තිබුණි. සීතල නිසා නිල් පැහැයට හැරුණු ෂුවැන්ජිගේ මුහුණ දුටු මින් යෑන් මෘදු ස්වරයෙන් මෙසේ පැවසුවේය,"මම ඔබට නැවත පැමිණෙන විට පොරවනයක් සහ ඝන ඇඳුම් කිහිපයක් ගෙනෙන්නම්, හරිද?"

ෂුවැන්ජි ඒ පිළිබඳව විමසන්නට ගියේ නැත, නමුත් ඔහු විසින්ම ඒ අදහස ඉදිරිපත් කළ හෙයින් ෂුවැන්ජි කීකරු ලෙස හිස සලා ඊට එකඟ වූවාය. හුරුපුරුදු මුරණ්ඩු සහ දෙබිඩි පිළිවෙතට වඩා හාත්පසින්ම වෙනස් වූ මෙතරම් මුදු මොළොක් මනා හැසිරීමක් ඔහු ඈ තුළින් දුටුවේ කලාතුරකිනි, එම නිසා ඔහු පිටව යාමට මදක් පැකිළුණි. වටපිට බලමින් ඔහු ෂුවැන්ජි හට මෙසේ පවසන්නට විය, "එසේනම්... තව මොනවාද ඔබට අවශ්‍ය? පොත්? ක්‍රීඩා උපකරණ? මේ ආකාරයට හුදකලාව සිටීම අසීරුයි."

"ඔබට කරදර කිරීමට මට අවශ්‍ය නැහැ." ඇය තම හිස සලමින් පැවසීය.

ඔහු තම කබාය ගෙන ඈ වටා පෙරවමින් , "මම මගේ ඇඳුම් ඔබට ලබා දෙනවා, ඒවා අපිරිසිදු කරන්න එපා. හවසට මම පොත් කිහිපයක් සහ ඉටිපන්දම් රැගෙන එන්නම්. කෙතරම් හිතුවක්කාර ගැහැණු ළමයෙක්ද ඔබ?" යනුවෙන් පැවසුවේය.

තම හිස පහත් කරගත් ෂුවැන්ජි කිසිවක් පැවසූයේ නැත. ඔහු සත්‍ය වශයෙන්ම එවන් විකේන්ද්‍රික පුද්ගලයන් සමග ගනුදෙනු කිරීමෙහි දක්ෂයෙක් නොවූ නිසා තම දේවල් එකතු කරගෙන ඉක්මනින් එතැනින් පිටවිය.

එදින රාත්‍රියේ ඔහු තම පොරොන්දුව ඉටු කළේය. ඇඳ ඇතිරිලි දෙකක් සහ විශාල ඇඳුම් කිහිපයක් පමණක් නොව පොත් මිටියක්, ලියන කඩදාසි රෝලක්, තීන්ත පාෂාණ, පින්සල් සහ කුඩා පැන්සල් රඳවනයක් පවා රැගෙන ආවේය. මෙම දේවල් අවට තැබීමෙන් පසු සීතල ශෛලමය ගුහාව මදක් උණුසුම් විය.

"මෙම ඉටිපන්දම් මුලින්ම භාවිතා කරන්න, ඔබ ඒවා භාවිත කර අවසන් වූ පසු මම තව රැගෙන එන්නම්. ගුහාව සීතල සහ තෙත නිසා ඔබ නිතරම පුහුණුවීම් සිදුකළයුතු බවත් එසේ සිදු නොකළහොත් ඔබ අසනීප වීමට හැකි බවත් පවසන ලෙස ඇදුරුතුමා මට අණ කළා. මෙය ෂුවෑන් මින් පහරදීම් පුහුණු වීම් සඳහා වන අත්පොත. එය අධ්‍යයනය කිරීමට සිහි තබාගන්න." ඔහු පැවසුවේය.

ෂුවැන්ජි ස්ථිර ලෙස හිස සැළුවත් මින් යෑන් මහ හඬින් සිනා සෙන්නට විය, "මෙය පොරොන්දු වූවායින් අනතුරුව නැවතත් ඔබ එය නොසලකා හැර දමන්න නේද සැරසෙන්නේ?"

ෂුවැන්ජි කිසිවක් සැඟවූයේ නැත, ඇය මෙසේ පැවසුවාය, " ඔව්, මට පුහුණුවීම් කිරීමට අවශ්‍ය නැහැ. නමුත් මට අවශ්‍ය නැහැ මගේ අලසබව නිසා පුද්ගලයින් මා සමග අමනාප වෙනවා දකින්න. මම හිස සැලීම වරදක්ද?"

ජොං මින් යෑන් සිනාසෙමින් මෙසේ පවසන්නට විය, " එය කුහකකම, මිනිසුන් සිතුවොත් ඔබ එක් දෙයක් පවසමින් වෙනත් දෙයක් සිදු කරන මුහූණු දෙකේ පුද්ගලයෙක් බව, ඔවුන් ඔබ සමග අමනාප වේවි."

"එසේ නොවේ. මම කැමති නෑ මිනිසුන් මට දෝෂාරෝපණය කරනවාට, එසේම මම පුහුණුවීම් කරන්නත් කැමති නැහැ."

"ඇයි ඔබට පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍ය නැත්තේ? ඔබට අමරණීයයෙක් වීමට අවශ්‍ය නැතිද?"

"මට අවශ්‍යයි, නමුත් මට කම්මැලියි."

තමා මෙලෙස දිගටම ඈ සමග කතා කළහොත් ඇගේ ගෙල මිරිකා මරා දැමීමට තමා පෙළඹේයැයි ජොං මින් යෑන් හට සිතුණි. මෙතරම් නිර්ලජ්ජිත ලෙස උදාසීන, නමුත් අමරණීයයෙක් වීමේ ආශාව ඇති පුද්ගලයෙක් ඔහුට මුණගැසුණු පළමු අවස්ථාව මෙය විය.

"හොඳයි, එසේ නම් ඔබට එක් වර්ගයක අමරණීයයෙක් බවට පත් විය හැකියි, " ඔහු එසේ පවසමින් ඉටිපන්දම ඇගේ යහන මත තැබුවේය.

"කුමනාකාරයේ අමරණීයයෙක්ද?" එය සත්‍යක් නොවන බව නොදැන තවත් ඒ පිළිබඳව විමසීමට තරම් ඈ කුඩා දරුවෙක් විය.

ජොං මින් යෑන් තම දෙතොලෙහි කොනක් ඔසවමින් ඊට පිළිතුරු ලබාදුණි. "අලස අමරණීයයෙක්. ඔබට කිසිවක් සිදුනොකර සිටිය හැකියි, සමහරවිට දිව්‍ය අධිකරණය ඔබව රැගෙන යාමට දිනෙක කවුරුන් හෝ එවාවි, ඔබ එවිට අලස අමරණීයයෙක් වේවි."

ඔහු ඇයට මදක් සමච්චල් කළ බව පෙනී ගියේය. මදක් කලකිරීමට පත්වූ ෂුවැන්ජි දිගු නිහඬතාවයකින් අනතුරුව මෙසේ පැවසීය, "මට පුහුණුවීම් සිදු කිරීමට අවශ්‍ය නැහැ, නමුත් මම අනිවාර්‍යයෙන්ම අමරණීයයෙකු බවට පත් වෙනවා."

"ඔව් ඔව්, නිකරුනේ බලා හිඳ අලස අමරණීයයෙක් වෙන්න." තව දුරටත් ඈ සමග කිසිවක් කතා කිරීමට වද නොවී ඔහු බෝට්ටුව දෙසට හැරුණි.

ශෛලමය නිවහන නැවත වතාවක් මළ නිහඬතාවින් වෙලී ගියේය. ඉටිපන්දම් එළිය දෙස ඇසි පිය නොසලා බලා සිටි ෂුවැන්ජි තම දෛනික චර්‍යාව දිගටම සිදු කරගෙන ගියාය.

මම අනිවාර්‍යයෙන්ම අමරණීයයෙක් වෙනවා. ඇය දැන් පැවසුවාක් මෙන් දක්නට ලැබෙන්නේ එයයි. සත්‍ය වශයෙන්ම මෙවන් අර්ථශුන්‍ය දෑ පැවසීමට තරම් අහංකාර ආත්මවිශ්වාසයක් තමාට පැමිණියේ කොහෙන්ද යන්න පිළිබඳව ඇය විමතියට පත් විය. ඇය සටන් කිරීමට දන්නේ නැත, ඇය අවම වශයෙන් අසිපත අල්ලාගන්නේ කෙසේද යන්නවත් දන්නේ නැත, නමුත් ඇය තවමත් සිතන්නේ තමාට අමරණීයයෙක් විය හකි බවයි.

සමහර විට ජොං මින් යෑන් නිවැරදි විය හැක, ඇයට පත්විය හැක්කේ අලස අමරණීයයෙක් බවට පමණි.

ඇය අලස අමරණීයයෙක්, වෙනත් අමරණීයයෙක් විය නොහැකියි.

නමුත් ෂුවැන්ජී තමා පිළිබඳව සිතනා අතරතුරේදී ෂාඕයැන්ග් නිකායෙහි සියළුදෙනා පුෂ්ප පළඳනා තරඟාවලියට සූදානම් වීමෙහිලා කාර්‍යබහුල වූ බැවින් ඔවුන්ට ෂුවැන්ජි පිළිබඳව අමතකව ගොස් තිබුණි.

අගෝස්තු මස 14 වන දින, මධ්‍ය සරත් ඍතු උළෙලට පෙර දින, පංච මහා නිකායන්හි නායකයන් ,එක් එක් නිකාය නියෝජනය කරමින් ප්‍රධානීන් කිහිපදෙනෙක් ෂාඕයැන්ග් කඳුමුදුනට රැස්වන්නේ පුෂ්ප පළඳනා තරඟාවලියෙහි අවසන් තේරීම් කටයුතු සිදු කිරීම සඳහායි. පසුගිය වසර වලදී මෙන්ම මෙවරද තරඟාවලියේ ප්‍රධාන ඉසව්ව වන අසුරයන් ඇල්ලීමට මුඩුබිමට යන පස් දෙනා තේරීමට කුසපත් අදිනු ලැබේ.

පුෂ්ප පළඳනා තරඟාවලිය පිළිබඳව මහත් ආශාවෙන් සිටිනා අයගෙන් එක් අයෙක් වන්නේ ලින්ග් ලොං ය. මුළු දිනය පුරාවටම ඇය තම දෙමාපියන් සොයමින් නිවස පුරා දිව යයි. පුෂ්ප පළඳනා තරඟාවලිය පවත්වන්නේ වසර පහකට වරක් ය.  නිකායෙහි ලාබාලතම ශිෂ්‍යයා වූ ජොං මින් යෑන් ඇතුළු මුළු ෂාඕයැන්ග් නිකායම මීට පෙර එය දැක ඇත. අනෙක් අතට මීට වසර පහකට පෙර වයස අවුරුදු හයක් වූ ලින්ග් ලොං තම ජීවිත කාලය පුරාවටම මෙවන් තරඟාවලියකට සහභාගී වී නැත. එම නිසා ඇයට තම උද්වේගය පාලනය කරගත නොහැක. මෙම අවස්ථාව පිළිබඳව බොහෝ ආශාවෙන් සිටියත්, මෙම දර්ශනය සජීවීව දැකබලාගැනීමේ අවස්ථාව අහිමි වන මින්ග් ෂියා ගුහාවෙහි තනිව සිරකර සිටින ෂුවැන්ජි පිළිබඳව ඇයට ඇති වූයේ කනස්සල්ලකි.

එදින උදෑසන මුළුල්ලේම ඈ තම මවට කරදර කළ අතර කුසපත් ඇදීම නැරඹීමට කඳුමුදුනට යාමට උත්සාහ කළාය. අවසානයේ හ'දන් පින් මිහිරි සුවඳැති ඔස්මන්තස් කේක් කැබැල්ලක් ලබා දී ඇයව රඳවා ගැනීමට සමත් විය. කෙසේවෙතත්, හ'දන් පින් පිටත් වූ වහාම ලින්ග් ලොං , ජොං මින් යෑන් හට කරදර කිරීමට පටන් ගත්තේ තමාව සමුළුවට කැටුව යන ලෙස පවසමිනි.

"කිසිසේත්ම නැහැ, මම වහාම ෂුවැන්ජි හට ආහාර ගෙන යායුතුයි. අනෙක, ඇදුරුතුමා පැවසුවේ ශිෂ්‍යන්ට එහි ගොස් විනෝද විය නොහැකි බවයි, එහි සිටින්නේ ජ්‍යේෂ්ඨ ප්‍රවීණයින් පමණයි, ඔබව හසිදියේ  කවුරුන් හට හෝ මුණගැසුණොත් එය ප්‍රශ්නයක් වේවි."

ජොං මින් යෑන් ඇගේ ඉල්ලීම එක වරම ප්‍රතික්ෂේප කළේය.

"ආහාර ගෙනයාමෙන් අනතුරුව මාව රැගෙන යන්න!" ලින්ග් ලොං කනස්සල්ලෙන් පැවසුවාය, "අපි ඉක්මනට බලලා නැවත එමු, හරිද? මම පොරොන්දු වෙනවා හොඳින් ඉන්න බවටත් කිසිම ප්‍රශ්නයක් ඇති නොකරන බවටත්."

බඳුන ආහාරවලින් පුරවන අතරතුරේදී ජොං මින් යෑන් පිළිතුරු ලබා දුන්නේය, "ආහාර ලබාදීමෙන් අනතුරුව මම පුහුණුවීම් වලට යා යුතුයි. දුක් වෙන්න එපා, තව අඩ මසකින් ඔබට සියළු දේ උද්‍යෝගයන් බලාගත හැකිවේවි, එවිට ඔබව කිසිවෙකු නවත්වන එකක් නැහැ."

ලින්ග් ලොං ට තවත් එය දරා සිටීමට නොහැකි විය, ඇය ඔහුගේ අත අල්ලාගෙන තම නිකාය සහෝදරයාට දැඩි ලෙස කෑගැසුවාය, එමෙන්ම ඔහුගේ සළුවද අඹරා දැමුවාය.

"මාව කුඩා වේලාවකට පමණක් එහි ගෙනයන්න! අපි කුසපත් ඇදීම පමණක් බලමු! මින් යෑන් අයියණ්ඩි! ඔබ හොඳ අයියණ්ඩිනේ! කරුණාකරලා මාව එහි රැගෙන යන්න."

මෙවන් ප්‍රහාරයකට එරෙහිව කිසිදු ආරක්ෂක උපක්‍රමයක් තමා සතු නොවූ ජොං මින් යෑන් සුසුම්ලන්නට විය. "කුඩා තර්ජනකාරිය, හොඳයි, පළමුව මම යන්නම්. නිකායේ සහෝදර සහෝදරියන් කවුරුන් හෝ දැනගතහොත් ඇදුරුතුමා මාව පණ පිටින් හරින එකක් නැහැ. පලමුව මම ෂුවැන්ජි හට ආහාර ලබා දී එන්නම්, නැවත මම පැමිණි පසු අපට යා හැකියි, හරිද?"

ඔහු එකඟ වන බව දුටු ලින්ග් ලොං තව දුරටත් වාසිය තම පැත්තට හරවා ගැනීමට කටයුතු කළාය, "පළමුව අපි එය බලන්නට යමු, අප ඉක්මනින් නැවත පැමිණිය පසු ඔබට පුළුවන් ෂුවැන්ජි හට ආහාර ගෙන ගොස් ලබා දෙන්න! කුඩා වෙලාවක් පමණයි. එවිට ඔබව හසුවන එකකුත් නැහැ."

ආහාර බඳුන බිම තබා ඇයව කඳු මුදුනට ගෙන යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් ජොං මි යෑන් සතුව නොවීය.

ෂාඕයැන්ග් කඳුමුදුනේ ෂිඒ ලෙයි විසින් ප්‍රධානත්වය දරන ෂාඕයැන්ග් ශාලාවද අමුත්තන් පිළිගැනීමේ ප්‍රධාන ශාලාවද වේ. ඉහළට යාමට ඇත්තේ ක්‍රම දෙකක් පමණි: එක්කෝ කඳු මුදුන අද්දර ඇති දිගු ශ්වේත වර්ණ ජේඩ් ඵලකය භාවිතා කර ඉහළට පියාසර කළ යුතුය, නැතහොත්  අවම වශයෙන් පැය භාගයක්වත් කන්ද වටා වන පියගැටපෙළ තරණය කළ යුතුය.

මෙය ෂාඕයැන්ග් නිකායේ අභිමානය ගෙන විදහා දක්වන සලකුණක් වන අතර අදක්ෂයන් හට පහසුවෙන් ලබාගත් නොහැකි එක් අයෙක්ට පමණක් ආපසු යාමට හෝ තරණය කිරීමට හැකි එකක් විය. කඳුමුදුන පැවතියේ මේඝයන්ටත් වඩා ඉහළිනි, එහි පාෂාණ, කඩතොළු සහිත ඒවා විය, එම නිසා සාමාන්‍ය ජනතාව එය තරණය කිරීමට සිතන්නේවත් නැත.

"ඉහළට නඟින්න?" මේඝයන් සහ මීදුම තුළ සැඟව තිබූ පාෂාණමය පියගැටපෙළ දෙස බැලූ ජොං මින් යෑන් ගේ මුහුණ අඳුරු වී දෙපා වෙව්ලන්නට විය.

"ඇත්ත වශයෙන්ම නැහැ!, අපි පියාසර කරනවා!" ලින්ග් ලොං පැවසීය, "මම පියගැටපෙළ තරණය කරන්නේ නැහැ. එයට දිගු කාලයක් ගත වේවි."

"කවුද පියාසර කරන්නේ? ඔබ අවම වශයෙන් පියාසර කරන ආකාරයවත් දන්නවාද?"

ලින්ග් ලොං සිනාසෙන්නට වූවාය, තම ඇඟිල්ල මින් යෑන් ගේ නාසය දෙසට දිගු කරමින් ඈ මෙසේ පවසන්නට විය, "නොදන්නා ආකාරයට හැසිරෙන්න එපා! අනිවාර්‍යයෙන්ම ඒ ඔබයි! ඔබ සිතුවේ මම දුටුවේ නැති බවද හොර රහසේම පෙර දිනක කඳුකරය පිටුපස පියාසර කරන ආකාරය? මම කාටවත් පැවසුවේ නැහැ! ඔබ තවදුරටත් නොදන්නවා වාගේ හැසිරෙනවා නම් මම පියාණන් හට පවසනවා!"

ජොං මින් යෑන් ගේ මුහුණ රතු විය, "ඔබ ඇත්ත වශයෙන්ම මාව දැකලා... ඇදුරුතුමාට පවසන්න එපා! කාටවත්ම පවසන්න එපා, ඔබට තේරුණාද?"

"ඇයි ඔබ පියාණන් හට එය දැන ගැනීමට ඉඩ නොදෙන්නේ?" ලින්ග් ලොං පුදුමයට පත්ව ඇති සෙයකි, "ඔබ පියාසර කරන ආකාරය ප්‍රගුණ කරලා, එයින් අදහස් වෙන්නේ ඔබ සිව්වැනි අයියණ්ඩිටත්, ගගනාවතරණ ආයුධ දරන අනෙක් අයටත් වඩා විශිෂ්ඨ බවයි. පියාණන් මෙය ඇසූ විට සතුටු වේවි!"

"එලෙස ජනප්‍රිය වීමෙන් ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් නැහැ. ලැබෙන්නේ අවාසි රැසක් පමණයි. ඇදුරුතුමන් සතුටු වුනත් තවමත් පියාසර කිරීමට ඉගෙන නොගත් අනෙක් ජ්‍යේෂ්ඨ සහෝදරයින් පිළිබඳව කුමක් කිව හැකිද? ඒ පිළිබඳව ඔවුන්ට බැණ වදින විට ඔවුන් දෝෂාරෝපණය කරන්නේ කා හටද? ඔවුන්ගේ කෝපය මෙහෙයවෙන්නේ කා වෙතටද?" ජොං මින් යෑන් දැඩි ලෙස පැවසුවේය.

තමාට එය වැටහුණු බව හඟාමින් ලින්ග් ලොං හිස සැලීය. පසුව, "ඔබ නිවැරදියි... නමුත් මේ දේවල් බොහොම සංකීර්ණයි... වැඩිහිටියන් සෑමවිටම ඔපමණ සිතනවාද?" යනුවෙන් පැවසුවාය.

ජොං මින් යෑන් සිනාසුණි, "මම ඊටත් වඩා බොහෝ දේ සිතුවා! එන්න, ඔය කතාව නවත්වන්න. අප කඳුමුදුනට යන්නේ සමාරම්භක අවස්ථාව බැලීමට නේද? අපි දැන්ම නොගියොත් ෂුවැන්ජිට රාත්‍රී ආහාරය ගෙන ගොස් දෙන්න බැරි වේවි."

ඔහු කන්දෙහි ප්‍රපාතය ආසන්නයටම ගියේය, අපේක්ෂා කළ පරිදිම එහි ශ්වේත වර්ණ ජේඩ් ඵලක පෝළිමක් විය. අඩක් පමණක් භාවිතා කළ ජේඩ් ඵලකයක් තෝරාගත් ඔහු තම පාදය මගින් ඊට කුඩා තෙරපුමක් එල්ල කළේය. එය ඔහු සමග අවිනිශ්චිත ලෙස පාවී ගියේ, ඔහු එම චලනය සම්පූර්ණයෙන්ම ප්‍රගුණ නොකළාක් මෙනි. කෑ ගසමින් සිනාසෙන ලින්ග් ලොං වෙත පැමිණීමට පෙර ඔහු දෙවරක් පියාසර කළේය, "ඉක්මන් කරන්න, කුඩා පූර්වජයා! මතක තබාගන්න, අපි ඉහළට ගිය විට ඔබට මෙලෙස කෑ ගැසිය නොහැකියි."

ලින්ග් ලොං සතුටින් පිනා ගොස් සිටියාය. ජොං මින් යෑන් සමග ක්‍රීඩා කිරීමට ඇය ප්‍රිය කළ හේතුවද මෙයයි, කුඩා සයවැන්නා තමයි හොඳම, ඔහු සෑම විටම ඇයට කීකරුව ඈ සමග කතා බහ කරයි.

කඳු මුදුනට පියාසර කරන අතරතුරේදී, යමක් හදිසියේම සිහි වූ ලින්ග් ලොං මින් යෑන්ගේ සළුවෙන් අල්ලාගෙන ළදරුවෙක් මෙන් මෙසේ පැවසුවාය, "කුඩා සයවැන්නා,ඔබ, නිකායේ ජීවිතය හසුරුවාගත නොහැකිව රහසින් පළාගිය තෙවන සහ පස් වන අයියණ්ඩි මෙන් නොවිය යුතුයි."

එය ඇසූ මින් යෑන් කෙතරම් තිගැස්සුණේද කිවහොත් ඔහු වැටෙන්නට ආසන්න වූ අතර යන්තම් තමාව ස්ථාවර කර ගැනීමට සමත් විය. ඔහු මුහුණ අඳුරු කරගෙන සිනාසෙන්නට වූයේය, "ඔබ කවදාද දුටුවේ මම අපහසුතා නිසා හඬාවැටෙමින් නිවෙස කරා යාමට අවශ්‍යතාවයෙන් පසුවුණ දිනයක්? ඒ ඇරත්,මගේ පවුල... මට නැවත යන්න නිවසක් නැහැ. මගේ දෙමව්පියන් වසංගතයෙන් මිය ගියා. ෂාඕයැන්ග් නිකාය මගේ නිවහන."

"එසේනම් අපි පොරොන්දු වෙමු." ලින්ග් ලොං තම කුඩා ඇඟිල්ල ඉදිරියට පා, විශාල අඳුරු පැහැ දෑස් සලමින් මෙසේ පැවසුවාය," කුඩා සයවැන්නා අප සමග සැමදාම ඉන්නවා, අපි කවදාවත් වෙන් වන්නේ නැහැ."

සිනාසුණු ජොං මින් යෑන් මෘදු ලෙස මෙසේ පැවසුවේය, "කුඩා ගැහැණු ළමුන් තමයි මෙසේ කරන්නේ, පිරිමි අපි අපගේ වචනය එලෙසම රකිනවා, පොරොන්දු නොවුණත්, අපි එය සිදු කරනවා."

ලින්ග් ලොං හට ප්‍රශ්න කිරීම හෝ පරස්පර විරෝධී වීම දරාගත නොහැකිය, එබැවින් ඇය නළල රැලි කරමින්, "මොනවා වුණත්! පොරොන්දු වෙන්න!" යැයි පැවසීය.

ජොං මින් යෑන් තම බාහු දිගු කරමින් මෙසේ පැවසුවේය, "මෙන්න, ඔබේ බාහුව දෙන්න. ඇඟිලි පොරොන්දු කුඩා ගැහැණු ළමුන්ගේ දෙයක්, ඒ නිසා මට එය කරන්න අවශ්‍ය නැහැ."

සිනාසුණු ලින්ග් ලොං තම බාහුව මින් යෑන්ගේ බාහුව සමග පටලා ගත්තාය. ඔවුන් දෙදෙනාටම යම් ළදරු බවක් දැනුණි, ලින්ග් ලොං මෙසේ පෑසුවාය, "ඔබ අනාගතයේදී මේ පොරොන්දුව කඩ කර කඳුකරය පහළට ගියහොත්, කුඩා සයවැන්නාගේ දත් සියල්ලම අහිමි වී ගොස් ඔහු දත් නැති පුද්ගලයෙක් බවට පත් වේවි!"

එම පොරොන්දුව ඉතා විනෝදජනක යැයි සිතමින් ඔවුන් දෙදෙනාම මහ හඬින් සිනාසෙන්නට වූහ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් දාහතර වියැති වූ අතර අනෙකා එකොළොස් වියැති විය. ඉතා අහිංසක වූ ඔවුන් දෙදෙනාටම විසල් ලොව පිළිබඳව මනා අවබෝධයක් නොවූ වා සේම "සදාකල්" යන්න ඔවුන් ගේ නෙත් අබියස වූ දෘෂ්ටිමායාවක් පමණක් විය. ඔවුන් ගේ සිත් තුළ, "සදාකල්" යන්න නුදුරේදීම පවත්වන පුෂ්ප පළඳනා තරඟාවලිය මෙන් විය.

එහි කලකිරීමක් හෝ ශෝකයක් නොවීය.

මේඝයන්ගෙන් පිරුණු කඳුමුදුන වෙත ඔවුන් ළඟා විය, කඳු මුදුනෙහි වූයේ හරිත පැහැ පළිඟු පාෂාණයන් ඔබ්බවන ලද වහළයක් සහිත ගොඩනැගිල්ලකි. වෘක්ෂයන් මතින් බඩ ගා ගිය ඔවුනට දක්නට ලැබුණේ ආරක්ෂකයන් විය හැකි වහළය මත සිටිනා ෂාඕයැන්ග් ශිෂ්‍යයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. කුසපත් ඇදීම මෙතරම් විධිමත් අයුරින් පවත්වනු ඇතැයි ලින්ග් ලොං කිසිසේත්ම අපේක්ෂා කළේ නැත. එයි විමතියට පත් වූ ඈ මෙසේ මුමුණන්නට විය, " මෙයයි අවසානය. මේ දේවල් සිදුවෙමින් පවතින ආකාරය, ඔබ හොරරහසේ බලන්නේ කෙසේද?"

එහි සිටි ආරක්ෂකයන් දෙස බැලූ මින් යෑන් තව දුරටත් හොරෙන් බලා සිටීම කළ නොහැකි බව වටහා ගත්තේය, හිස මදක් සලමින් කෙඳිරි ගෑ ඔහු ලින්ග් ලොං ගේ දෑත තදින් අල්ලාගෙන ඈට සංඥා කළේ තමා පසුපස පැමිණෙන ලෙසයි. පසුව කහින්නට වූ ඔහු පඳුරු අතරින් නැඟී සිට තම සළු වල වූ දුහුවිලි පිසදා විශාල ගොඩනැගිල්ල වෙත පියමැන්නේය. තම පපුව මත වූ හාවෙකු ඉතා වේගයෙන් පැනයන්නාක් මෙන් ලින්ග් ලොං හට දැනෙන්නට විය. ජොං මින් යෑන් සිදු කරන්නේ කුමක්දැයි ඇය දැන සිටියේ නැත, නමුත් එය කුතුහලය දනවන විනෝදකාමී අත්දැකීමක් විය. එම නිසා ඇය ඔහුට කීකරුව ඔහුව අනුගමනය කරමින් ඉදිරියට ඇදුනාය.

අනපේක්ෂිත ලෙස, මින් යෑන් පියගැට පෙළට පා තැබීමට සැරසෙත්ම, නිකාය ශිෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන්ව නවතාගෙන මෙසේ පැවසූහ, " ඇදුරුතුමා පැවසුවා කුසපත් ඇදීම අනෙකුත් නිකාය නායකයන් සමග පවත්වන නිසා ඊට කිසිසේත්ම බාධා සිදු නොවිය යුතු බව."

සංසුන් වූ ජොං මින් යෑන් කිසිදු හදීසියක් නොපෙන්වා සිනාසෙමින් මෙසේ පැවසීය, "ඔබලා දෙදෙනා ජ'න් නිකායේ ජ්‍යේෂ්ඨයින් දෙදෙනෙක් නේද? අපට යූ යැං ශාලාවේ යිං හොං ප්‍රධානීගෙන් අණක් ලැබුණා එම මැතිණියට පණිවිඩයක් ලබා දෙන ලෙසට."

එය යිං හොං ප්‍රධානී සම්බන්ධ කාරණාවක් බවට දැනගත් ඔවුන් දෙදෙනාගේ මුහුණ අඳුරු විය. ෂාඕයැන්ග් නිකායෙහි විවිධ අංගයන්ගෙන් සමන්විත ශාඛා හතක් විය. එයින් චූ යිං හොං ප්‍රධානත්වය දරන යූ යැං ශාලාව නීති සම්පාදනය කිරීම සහ ඒවා බලාත්මක කිරීම සිදුකරයි.අනෙකුත් ශිෂ්‍යයන් නීති කඩකරන්නේදැයි බැලීම සඳහා ශ්වේත වර්ණ ඇඳුමක් සහ හරිත පැහැ ඉණ පටියක් බැඳ මුලු දිනය පුරාවටම ෂාඕයැන්ග් හි අභ්‍යන්තර කඳුකරයේ මුර සංචාරයේ යෙදෙන්නේ යූ යැං ශාලාවේ ශිෂ්‍යයන් ය. චූ යිං හොං සිනාසෙන ව්‍යාඝ්‍රයෙක් මෙන් විය. මෙම වසරේදී වයස තිස් හතක් සපිරෙන ඇගේ සමවයස් වූවන් අතරින් බාලම තැනැත්තා වූයේ ඇයයි, නමුත් නිකාය ප්‍රධානියා පවා ඇයට සවන් දීමට පැකිලෙන්නේ නැත.

පළමුවැන්න නම්, ඇගේ සැමියා දඬුවම් භාරව  සිටිනා ජ'න්ෂියා ශාලාවේ ප්‍රධානීතුමාය. දෙවැන්න, ඇය මෘදු සහ කාරුණික බව පෙනුනත් සත්‍ය වශයෙන්ම ඇය සමග කටයුතු කිරීම අපහසුය. නීති කඩ කරන ඕනෑම අයෙකුට ලෝහ මුහුණතකින් ඉක්මනින්ම දඬුවම් ලැබෙනු ඇත. ඔබ ඇය ඉදිරියට ගොස් ඇගෙන් සමාව අයැදූ විට ඈ සිනාසී ඊට එකඟ වුවහොත් ඔබට තවත් දස වතාවක් දඬුවම් ලැබීමට සිදුවනු ඇත.

ෂාඕයැන්ග් නිකාය සහ නන්ෂාන් ෂුවැන්‍යුවාන් නිකාය අතර යම් කිසි ගැටළුවක් ඇති වූ විට, ඒවා නිරාකරණය කිරීම පිළිබඳව ඔවුන් සියළු දෙනාම විශ්වාසය තැබුවේ ඈ මතයි. මෙම කාන්තාව හමුවේ නන්ෂාන් ෂුවැන්‍යුවාන් නිකායෙහි ජ්‍යේෂ්ඨයින් බොහෝ දෙනෙකු නිරුත්තර විය. අවසන් වශයෙන් ෂුවැන්‍යුවාන් නිකායෙහි ප්‍රධානී වන ජ' ෂි ෂාඕයැන්ග් නිකායෙහි පෙර ප්‍රධානීතුමාගෙන් සමාව ඇයදීමට පවා පැමිණියේය. දෙපිරිසම එකිනෙකා සමග යහපත් සබඳතාවක් ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වූහ. එවන් කාන්තාවක් එකල නිකාය ප්‍රධානියාගෙන් බොහෝ පැසසුමට ලක්වූ අතර ඇය මීළඟ නිකාය ප්‍රධානී ලෙස නිර්දේශ කරන පිරිසද බොහෝමයක් විය. සාකච්ඡා වට ප්‍රමාණයකින් අනතුරුව නිකාය ප්‍රධානී තනතුර දක්ෂ යිං හොං හට වෙනුවට ස්ථාවර සහ පසුගාමී ෂිඒ ලෙයි හට ලබා දීමට තීරණය විය. වාසනාවකට මෙන් ඇයට කිසිදු වෙනත් අභිලාෂයක් නොවීය, ඇය තමා ලද විවේකී ජීවිතයෙන් සෑහීමකට පත්වූ අතර පසුව යූ යැං ශාලාවේ ප්‍රධානී තනතුරට පත් විය.අදටත් පැරණි ශිෂ්‍යයන් පවසන්නේ ඇය පිටව ගියහොත් ෂාඕයැන්ග් කඳු මුදුනෙහි මිනිසුන්ගෙන් තුනෙන් එකක්වත් ඇයව අනුගමනය කරන බවයි. එම නිසා ඇයගේ බලය සුළුපටු නොවන බව අවිවාදාත්මකය.

පණිවිඩය එවා ඇත්තේ එබඳු බලගතු යිං හොං ප්‍රධානී නිසාත්, නිකාය ප්‍රධානියාගේ බිරිඳ ඇය හා ඉතා හොඳ සබඳතාවක් ඇති නිසාත් නිකාය සිසුන් දෙදෙනා ඔවුන් නතර කිර්‍ර්මට එඩිතර නොවී ඔවුන්ට යන්නට ඉඩ හැරීය.

මෙතරම් පහසුවෙන් ඇතුල් වීමට ඉඩ ලැබේයයි අපේක්ෂා නොකළ ලින්ග් ලොං හට ජොං මින් යෑන් පිළිබඳ වූ පැහැදීම තවත් වැඩි විය. මෙම පුද්ගලයා බොරුවක් පවසන විටදී පවා කිසිදු බියකින් තොරව හැසිරෙන්නේය. ඔහු තවමත් බැරෑරුම් පෙනුමක් මවාගෙන සිටියත් ඔහුගේ දෑස් දඟකාරබවකින් පිරීගොස් තිබුණි.

ලින්ග් ලොං ඔහුගේ දෑත මිරිකා ඔහුට ප්‍රශංසා කිරීමට සැරසෙත්ම, පෙර ශිෂ්‍යයන් දෙදෙනාගේ හඬ නැවත වතාවක් ඔවුන්ට ඇසුණි, "විනාඩියක් ඉන්න."

තමන් පැවසූ බොරුව හසුවී ඇතැයි සිතූ ලින්ග් ලොං සහ මින් යෑන් බියටත් විමතියටත් පත් වී තම මුහුණු ආපසු හරවා ගත්හ.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)