6) වෙස් මුහුණු
ෂුවැන්ජී ගේ නාමයද කුසපත් ඇදීමෙන් තේරීපත් වී ඇතිබව දැනගත් ජොං මින් යෑන් ගේ මුහුණ සුදුමැළි විය, ඔහු තම ඇදුරුතුමා දෙස හොරැහින් බැලුවේය. ඔහුගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවුණද, ඔහුගේ දෑස් තුළ කැළඹිලි කාරී ස්වභාවයක් පෙනෙන්නට තිබුණි.
මෙම කණ්ඩායම තුල සිටින්නේ ප්‍රධානීන් තිදෙනෙක් පමණක් සහ බාලවියැති දරුවන් දෙදෙනෙක් බව පිරිස දැනගැනීමෙන් අනතුරුව එහි සාකච්ඡා බොහෝමයක් විය. එපමණක් නොව පිරිසෙහි පස් දෙනාගෙන් සිව් දෙනෙක්ම ෂාඕයැන්ග් නිකායෙහි වූ බැවින් එය ෂාඕයැන්ග් නිකාය සඳහා සූදානම් කළ පුෂ්ප නෙළීමේ තරඟාවලියක් යැයි කිව හැකිය.
කෙසේවෙතත්, ෂුවැන්ජීගේ නම පවසන විට අනෙක් සියළු දෙනා හොඳින් සිටියද, එහි වඩාත්ම දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා වූයේ හ' දන් පිං ය. ඈ කම්පනයටත්, පුදුමයටත්, කෝපයටත් පත් වූවාය. කණිෂ්ඨයන් දෙදෙනා තෝරාගැනීම සම්බන්ධයෙන් ඇය කණස්සල්ලට පත් විය; එමෙන්ම උණ බඳුනෙහි ෂුවැන්ජිගේ නම දිස් වීම පිළිබඳවද ඈ විමතියට පත් වූවාය; ඇය කෝපයට පත් වූයේ සොං ප්‍රධානීතුමාගේ ප්‍රකෝපකරණය නොවන්නට මෙම කාරණය මේ දක්වා වර්ධනය නොවනු ඇතැයි සිතීමෙනි.
මෙතරම් දුර්වලව අසරණව සිටින ෂුවැන්ජි හට පුෂ්ප නෙළීමේ මෙහෙයුමකට යාමට සිදුවී ඇතැයි සිතන විට මවක් වශයෙන් ඇගේ හදවත රිදුම් දෙන්නට විය. ෂුවැන්ජිට හස ඉරියව්ව* [1] වත් සිදු කළ නොහැකියි. මෙය නම් මරණයේ මාවතක් බව පැහැදිලිය. ෂුවැන්ජිගේ නම එහි ඇතුළත් කළේ කවුද?
හ' දන් පිං හොඳින් නොවන බව දුටු චූ යිං හොං, ඇය වෙතට පියමන් කර මෘදුව වදන් තෙපලමින් ඇගේ සිත සනසන්නට විය, "පිං නැගණිය, කමක් නැහැ. මමයි ප්‍රධානීතුමායි අපේ දිවි කැප කර හෝ ෂුවැන්ජි ඇතුළු අනික් පිරිස ආරක්ෂා කරනවා, ඒ නිසා එම දරුවන් දෙදෙනාට අනතුරක් සිදුවන්නේ නැහැ."
කෙසේ වෙතත් අනෙක් පස වූ ලින්ග් ලොං කලබල වී සිටියාය, "ඒ නැගණිය වන්නේ කෙසේද? ඇය කිසිවක් දන්නේ නැහැ. ඇය එයට සහභාගී වන්නේ කෙසේද? ඇයි ඒ මම නොවුණේ? පියාණනි! මෑණියණි! මට ඇය වෙනුවට සහභාගී වෙන්න පුළුවන්! මට යන්න දෙන්න!"
ෂිඒ ලෙයිගේ මුහුණ අඳුරුවී ගොස් තිබුණි, ඔහු සෙමෙන් තම හිස සොලවමින් පහත් හඬකින් මෙසේ පැවසුවේය, "ඔබට යා නොහැකියි, ෂාඕයැන්ග් කඳුමුදුනේ රැඳී සිට පුහුණු වීම් කරන්න. මින් යෑන්-" ඔහු හැරුණේ සුදුමැලි වී සිටි තරුණයා දෙසටයි, "මින්ග්ෂියා ගුහාව වෙත ගොස් ෂුවැන්ජිව කැඳවන්න. ඇය මෙහි රැගෙන එන්න."
ඊට එකඟ වූ ජොං මින් යෑන්, වට පිට බලා ශාලාවෙන් පිටතට ගියේය.
ඔහුට එය අදහාගත නොහැකි විය.
ලින්ග් ලොං ගේ නම ෂුවැන්ජි ලෙස වෙනස් කිරීමට තම ඇදුරුතුමා ඔහුට බල කළේ කිමදැයි ඔහුට වටහා ගත නොහැකි විය. ඒ දෙදෙනාම ඔහුගේ දියණියන් වුවත්, ඔහු පක්ෂග්‍රාහී බව පෙනේ. මින් යෑන්, ලින්ග් ලොං ගේ සමීප මිතුරෙකු වුවත්, විකේන්ද්‍රික ෂුවැන්ජි හට අකමැති වුවත්, අඳුරෙහි පාෂාණමය යහන මත වෙව්ලමින් සිටින යුවතිය ගැන සිතනා විට ඔහුට ශෝකයක් ඇති විය. එසේ විය හැකිද... ෂුවැන්ජි මිය යාම වඩාත් සුදුසු යැයි ප්‍රධානීතුමාට හැඟෙන්නට ඇතිද!
ජොං මින් යෑන් හට ෂුවැන්ජි පිළිබඳව කෙතරම් කෝපයක් දැණුනාද කිවහොත් උණ පතුරු මත ඇගේ නම සටහන් කිරීම සම්බන්ධයෙන් ඔහුට පසුතැවිල්ලක් දැණූනි. තම ජීවිතය පරදුවට තැබීමට සිදුවුවද, ෂුවැන්ජිව රැක ගැනීමට හැකි සියළු දේ කරනා බවට ඔහු තමාටම පොරොන්දු විය. ඈ නොදැනුවත්වම මෙයට සම්බන්ධ වුවත්, ඔහුද අර්ධ වශයෙන් මෙයට වගකිව යුතුය.
තම හදවතෙහි වූ "අඳුරෙහි වෙව්ලන" අසරණ දැරිය සත්‍ය වශයෙන්ම, දිවා ආහාරය වෙනුවන් තව දුරටත් බලා සිටි නොහැකි නිසා එහිවූ සියළුම වියළි ආහාර, ආහාරයට ගෙන යහන මත ගුලි වී නිදා සිටින බව ඔහු දැන සිටියේ නැත.
මින් යෑන් ගේ ඝෝෂාකාරී පෑදවීම සහ කෑ ගැසීම, ෂුවැන්ජිව සුන්දර සිහින වලින් එළියට ඇද දැමීමට සමත් විය.ඇය දෑස් පිසදමමින් තුෂ්නිම්භූතව අසුන්ගෙන සිටියාය, නමුත් ඈට ඇසුණේ ඔහු කෑ ගසනා ශබ්දය පමණි, "ෂුවැන්ජි! ෂුවැන්ජි!මා සමග මෙහෙන් පිටවී යන්න එන්න."
මුලා වූ ආත්මයක වන් වූ ඔහුගේ හඬ ඇසීමෙන් ෂූවැන්ජි කලබලයට පත් විය, සිදුවන්නේ කුමක්දැයි බලා ගැනීමට ඈ වහාම ඉටිපන්දමක් දැල්වූවාය. නමුත් බෝට්ටුවෙන් පිටතට පැනගත් මින් යෑන් ෂුවැන්ජි වෙතට දුව විත් ඇයව අතින් ඇද යහනින් පිටතට ගැනීමට උත්සාහ කළේය, " යහන මතටම වී සිටින්න එපා! ඔබට කුමක් හෝ අමනාපයක් ඇත්නම් අද රාත්‍රියේ ඒ පිළිබඳව අපි කතා කරමු, ඔබට හැකියි මට බැණ වදින්නට, මම ඔබ හා නැවත ගැටෙන්නේ නැහැ. ඉක්මන් කරන්න! දැන් මා සමග එන්න!"
යම් කිසි අයහපත් දෙයක් සිදුවී ඇතැයි සිතූ ෂුවැන්ජි පියවර කිහිපයක් ඉදිරියට ගොස් එකතැන නැවතී, ප්‍රවේශමෙන් ප්‍රශ්න නගන්නට වූවාය, "පිටත කුමක්ද සිදුවෙන්නේ? අනෙක් සිව් නිකායන් ෂාඕයැන්ග් නිකායට පහර දීලාද?"
"Bah! ඔබට... ඔබට නොහැකිද විකාර කියවීම නවතාදමන්න..."ජොං මින් යෑන් ඇයට බැණ වැදීමට සූදානම් වුවත් කෙසේ හෝ එය නවතා ගත්තේ, "ඔබට පුෂ්ප නෙළීමේ මෙහෙයුමට යාමට සිදුවෙනවා. අපි ෂාඕයැන්ග් කඳු මුදුනට ගිය විට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට හැකිවේවි." යයි පැවසුවේය.
ෂුවැන්ජි පුදුමයට පත් විය,නමුත් ඔහුට ඇයව මෙතැනින් පිටතට ගෙනයාමට අවශ්‍යව ඇති බවක් පෙනෙන්නට තිබුණි, එය වඩාත් හොඳය, මන්ද යත් මෙම සීතල ගුහාව තුළට වී සිටීම ෂුවැන්ජි හට එපා වී තිබුණි. ජොං මින් යෑන් කෝපයට පත් ව තමාව මෙහි තනිකර දමා ගියහොත් යන බිය හේතුවෙන්ම ෂුවැන්ජි තවත් කිසිවක් නොපවසා නිහඬ වූවාය.
කෙසේ වෙතත්, කඳුමුදුනෙහි වූ පුෂ්ප පළඳනා ශාලාව තවමත් පැවතියේ ගැටුම් මධ්‍යයේය. කනස්සල්ලට පත් වූ හ' දන් පිං ක්ලාන්ත වූ අතර, චූ යිං හොං ඇයට උපස්ථාන කිරීමෙහි ලා කාර්‍යබහුල විය. ලින්ග් ලොං තවමත්, තම සහෝදරිය වෙනුවට තමාට යාමට අවසර දෙන ලෙස ඉල්ලා තම පියාට බලපෑම් කළද, ඔහු ඊට එකඟ වූයේ නැත.
ලින්ග් ලොං ගේ නම වෙනුවට ෂුවැන්ජිගේ නම සටහන් කරන ලෙස ජොං මින් යෑන්ට පවසන අවස්ථාවේම කළ යුත්තේ කුමක්දැයි කියා ඔහු තුළ ඔහුගේම සැලසුමක් විය.
තම දියණිය පිළිබඳව ඔහු නොදැන සිටින්නේ කෙසේද? ලින්ග් ලොං ඉතා කෙලිලොල් ය,කලබල ඇති කිරීමට ප්‍රිය කරයි,බොහෝවිට ඕනෑවටත් වඩා අභිලාෂයන්ගෙන් යුක්තය. ඇගේ නම සඳහන් කර ඇය තේරී පත් නොවූයේ නම් ගැටළුවක් නැත, නමුත් ඇය ජයග්‍රහණය කළහොත්, අසුරයා දකිනා අවස්ථාවේදී ඇය කිසිදු චලනයක් සිදු නොකරාවියැයි කිව හැක්කේ කාටද? මෙම දරුවාගේ චරිත ස්වභාවය සමඟ ඇය කීකරුව සැඟවී සිටින්නේ නැත. අසුරයෙකු හා සටන් වැදීමට තරම් ඈ තවමත් ලා බාල මෙන්ම ශක්තියද ප්‍රමාණවත් නොවීය, එම නිසා ඇය මිය යනු ඇත. ඇය මිය යන ආකාරය ඔහු කිසිවක් සිදු නොකර බලාසිටින්නේ කෙසේද!
නමුත් ෂුවැන්ජි ඊට වෙනස් ය. ඇය ප්‍රශ්න වලට බියයි, සියල්ලෙන්ම සැඟව සිටීමට කැමතියි, අලසයි, අනතුරු කරා යන්නේ නැහැ. ඔහු, ෂුවැන්ජිගේ නම උණ පතුරෙහි සඳහන් කරන ලෙස ජොං මින් යෑන් හට අණ කළත්, සත්‍ය වශයෙන්ම ඇය තේරී පත් වනු දැකීමට අවශ්‍ය නොවුණි, නමුත් ඇගේ නම තේරී පත් වී ඇති නිසා, ලින්ග් ලොංට සාපේක්ෂව වඩාත්ම සුදුසු තේරීම ෂුවැන්ජිය. අවම වශයෙන් ඈ සැඟව සිටිනු ඇත, තම ජීවිතය ආතුරේ හෙළා ගැනීමට ඉක්මන් නොවනු ඇත. එවිට ඇගේ ජීවිතය බේරාගැනීමට හැකිවනවා මෙන්ම ඔහුට බාධාවකින් තොරව සටන් වැදීමටද හැකිවනු ඇත.
අනෙක් අතට ෂුවැන්ජි අලසයි, දියුණු වීමට අපේක්ෂා නොකරයි, එම නිසා ඇයව වෙළඳසැල වෙත ගෙනගොස් මඳක් උනන්දු කරවූවානම් අගනේය.
මද වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව, ලින්ග් ලොං ගේ නාමය වෙනුවට ෂුවැන්ජි ගේ නම සඳහන් කරන ලෙස මින් යෑන් හට අණ කිරීමට ඔහු තීරණය කර තිබුණි. මෙම අවස්ථාවේදී, අවසන් තීරණය ගෙන තිබූ අතර, පසුතැවීමට කිසිදු ඉඩක් තිබුණේ නැත.
ලින්ග් ලොං තම උත්සාහය අතහැරීමට සූදානම් නැති බව දුටු ඔහු,නළල රැලි කරගනිමින්, "ඔබ කුසපත් අදිනා ස්ථානයට පැමිණීම පිළිබඳව තවම මම සොයා බැලුවේ නැහැ! ඔබ කෙසේද මෙතරම් මුරණ්ඩු වීමට තරම් එඩිතර වන්නේ! අද රාත්‍රියේ සිට,ඔබට මළුවෙන් පිටවීම තහනම්, ඔබ ඔබේ පුහුණුවීම් නිවසේ සිට සිදුකළ යුතුයි!" යැයි පැවසුවේය.
දෑස් කඳුලින් පුරවාගෙන හඬන්නට වූ ලින්ග් ලොං දෙසට සිනාමුසු මුහුණින් පැමිණි චූ යිං හොං ඇයව සනසාලන්නට විය, "මේ වගේ හොඳ දවසක ඔබ හඬන්නේ ඇයි? සතුටින් හිඳ තරඟාවලිය හොඳින් රස විඳින්න! හොං නැන්දණිය ඔබ වෙනුවෙන් විශාලම සහ කඩවසම්ම අසුරයා අල්ලාගෙන එන්නම්!"
ඇයට ඇහුම්කන් නොදුන් ලින්ග් ලොං මුහුණ හකුළුවා ගනිමින් හඬන්නට විය. චූ යින් හොං ඇයට පෙරැත්ත කරමින් මෘදුව මෙසේ පැවසීය, "ඉක්මන් කරන්න! ඔබේ මෑණියන් පිළිබඳව බලන්න! ඇය බොහෝම කනස්සල්ලෙන්! ඔබට තව දුරටත් මෑණියන් අවශ්‍ය නැතිද?"
හ' දන් පිං දෙසට දිව ගිය ලින්ග් ලොං ඇගේ බාහු තම ගෙල වටා යොමා ගනිමින් තම දුක්ගැනවිල්ල පිළිබඳව පවසන්නට වූයේ හඬා වැටෙමිනි, ඒ අතරම ඈ තවත් ප්‍රශ්න ඇති කිරීමටද එඩිතර නොවූවාය.
එම අවස්ථාවේදී, බොළඳ මුහුණක් සහ වශීකෘත ඉරියව්වකින් පැමිණි ධ්‍යානවේදියෙක්, "චූ ප්‍රධානීතුමා, මෙම පුෂ්ප නෙළීමේ මෙහෙයුම අසාමාන්‍යයි,කණිෂ්ඨයන් දෙදෙනෙක් එහි ගෙන යාම පහසු නැහැ, කුසපත් ඇදීම නැවත සිදුනොකරන්නේ මන්ද?අසුරයින් දරුණුයි,ඔවුන්ට එරෙහිව පූර්වාරක්ෂාවක් නොගතහොත් මොවුන්ගේ ජීවිත පිළිබඳව මට බියක් දැනෙනවා." යැයි පැවසීය.
ඒ, දියැං ජිං නිම්නයේ හෙංසොං ප්‍රධානී බව දැනගත් චූ ලෙයි, තම ආචාරය දක්වා මෙසේ පිළිතුරු ලබා දුන්නේය, "ස්තූතියි, ප්‍රධානීතුමා, ඔබගේ කරුණාවට. කුසපත් ඇදීම දෙවියන් විසින් තීරණය කළ එකක් විය යුතුයි, එබැවින් එය නැවත සිදුකිරීම අර්ථ විරහිතයි.මම විශ්වාස කරනවා අප තිදෙනෙක්ට අසුරයෙක් මර්ධනය කිරීම එතරම් අපහසු කාර්‍යයක් නොවේවි කියා."
ඔහු ආඩම්බරකාර චරිතයක් බව හෙංසොං දැන සිටියේය, විශේෂයෙන්ම සොං ප්‍රධානී සමග එහි ඇතිවූ ආරවුලෙන් අනතුරුව ඔහුට එය වඩාත් පැහැදිලි විය. මේ අවස්ථාවේදී, නැවත කුසපත් ඇදීමට ඉල්ලා සිටියත් එය ප්‍රතික්ෂේප වනු ඇත. සුසුම්ලන්නට වූ ඔහු, "ෂාඕයැන්ග් නිකාය සහ ෆූ යූ දිවයින යන ද්විත්වයම ලොව ප්‍රධාන නිකායන් දෙකක්. මම එය සරලව ගන්නට සිතුවේ නැහැ. නමුත් මෙම කාරණාව වැදගත්, මේ දුර්වල ධ්‍යානවේදීන්ට යමක් පවසනවා හැරෙන්නට වෙන තේරීමක් නැහැ. මේ අවස්ථාවේදී ඔබලාට ගනුදෙනු කිරීමට සිදුවන්නේ කුමනාකාරයේ අසුරයින් සමගද යන්න චූ ප්‍රධානීතුමා දැනුවත්ද?" යැයි විමසීය.
"ඒ තියැන්ගු* [2] නොවේද?" ෂිඒ ලෙයි පිළිතුරු ලබා දුණි. "එකවරම ඌ ලූතායි කන්දෙන් මතු වී මිනිසුන් විශාල ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබෙනවා. මෙවර අප ඌව අල්ලාගෙන ස්වර්ගයේ යුක්තිය ඉටුකරනවා."
හෙංසොං ඊට පිළිතුරු ලබා දුන්නේ බැරෑරුම් මුහුණක් මවා ගනිමිනි, "තියැන්ගු ඔවුන්ගෙන් එකෙක්. මගේ දැනුමට අනුව නම්, එහි දැන් ගූ දියාඕ* [3] නම් තවත් අසුරයෙක් සිටිනවා, ඌට අඩි පහක් පමණ විශාල පියාපත් හිමියි, රාත්‍රියේ හඬන ළදරුවෙකු මෙන් හඬනවා, සාමාන්‍යයෙන් ඌ දිය යට සැඟව සිටින්නේ, ඉක්මනින්ම මිනිසුන් ආහාරයට ගෙන නැවත තම වාසස්ථානය කරා යනවා. ලූතායි කඳුකර වැසියන් බොහෝ දඩයම්කරුවන්ට සහ ධ්‍යානවේදීන්ට ආරාධනා කළා, එක් වරක ඔවුන් තියැන්ගු අල්ලා ගැනීමට සමත් වුණා, නමුත් ඌ මධ්‍යම රාත්‍රියේදී පැන ගියා, එදින පටන් ඌ ගූ දියාඕ සමග එක්ව දඩයම් කිරීමට පටන් ගත්තා. ඌ දැන් මිනිසුන් සියයකට නොඅඩු ප්‍රමාණයක් ආහාරයට ගෙන තිබෙනවා, එමෙන්ම ඔවුන්ව යටත් කරගැනීමට කිසිවෙකුට නොහැකි වී තිබෙනවා. දැන්, සත්‍ය වශයෙන්ම පුෂ්ප නෙළීමේ මෙහෙයුමට සහභාගී වන්නේ පුද්ගලයින් තිදෙනෙක් පමණයි, ඒ පුද්ගලයින් තිදෙනාට විශාල අසුරයින් දෙදෙනෙක් යටත් කරගැනීමට සිදුවී තියනවා. චූ ප්‍රධානීතුමා, දෙවරක් සිතන්න!"
ෂිඒ ලෙයි, හෙංසොං ගේ වදන් ඇසුණු වහාම කළයුත්තේ කුමක්දැයි නැවත සිතාබලන්නට විය. කෙසේවෙතත්, අනෙක් පසින් උපහාසාත්මක ලෙස කාන්තාවකගේත් නොවන පුරුෂයකුගේත් නොවන කටහඬකින් මෙසේ ඇසුණි, "ඉතාම පරීක්ෂාකාරී! මම කල්පනා කළේ එම අසුරයා කෙතරම් බලවත්ද කියලා, නමුත් දැන් බලන විට ඒ කුඩා තියැන්ගූ කෙනෙක් සහ ගූ දියාඕ කෙනෙක්. මට විශ්වාස කළ නොහැකියි අප නැවතත් කුසපත් ඇදීමක් සිදුකළ යුතු බව! හාස්‍යජනකයි! ඉතාම හාස්‍යජනකයි!"
ඔවුන් ඒ දෙස බලනා විට ඔවුනට දැක ගැනීමට හැකි වූයේ එම තැනැත්තා ලී ස' මාළිගයේ උප ප්‍රධානී බවයි. ලී ස' මාළිගය නිර්මාණය කර වැඩි කළක් ගතවී නැත, නමුත් දශක කිහිපයක් තුළ එය ආදිමය හරිත වංශ නිකාය අභිබවා පංච මහා නිකායන්ගෙන් එකක් බවට පත් විය. ආරම්භයේ සිටම ඔවුන්ට පැවතියේ සාමාන්‍ය ජනයා සිදු කරනා ආකාරයට වඩා වෙනස් වූ ඔවුන්ගේම ධ්‍යානවේදී ක්‍රමයකි. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් රටාව පවා බිය උපදවන සුළු විය. කෙතරම් මහළු හෝ තරුණ වුවත්, ඒ සියළු දෙනා නිල් පැහැ සළු වලින් සැරසී සිටි අතර සුර වෙස්මුහුණකින් තම මුහුණු ආවරණය කර ගත් අයවලුන් විය, එම නිසා ඔවුන් අතරින් කාන්තාවන් සහ පුරුෂයන් වෙන් කරගැනීමටත්, කණිෂ්ඨයන් සහ ජ්‍යේෂ්ඨයන් වෙන් කරගැනීමටත් නොහැකි විය.
ලී ස' මාළිගයේ පුද්ගලයන්ට මේ ආකාරයේ මනෝභාවයන් ඇති බව සියළු දෙනා දැන සිටියහ, නමුත් සත්‍ය වශයෙන්ම ද්වේශ සහගත නැත. එම නිසා පැවසූ දෙයට අමනාප නොවූ ඔවුන් සිනාසෙන්නට විය. අනෙක් අතට, ලින්ග් ලොං හට දැකගැනීමට හැකිවූයේ ඔවුන් සියළු දෙනා වෙස්මුහුණු පැළඳ සිටින ආකාරයයි, සමහරක් දිගු ඒවා වූ අතර සමහරක් කෙටි විය, ඒ අතර සමහරක් බොහෝ බියකරු විය. එම නිසා ඈ තම මවගේ පිටුපසට වී එබිකම් කරන්නට විය.
හෙංසොං ප්‍රධානීතුමා මෙසේ විමසීය, "උප ප්‍රධානීතුමා එසේ පවසනවා නම්, ඒ සමග ගනුදෙනු කිරීමට ඔහු සතුව මාර්ගයක් තිබිය යුතුයි. මම බලාපොරොත්තු වෙනවා ඔබ අපව දැනුවත් කරාවි යැයි කියා."
අමුතු ලෙස සිනාසුණු උප ප්‍රධානී, "මම කෙසේද ඔබලාව දැනුවත් කරන්නේ! ප්‍රධානීතුමා සරදම් කරනවා! මම කුඩා කාලයේදී, ඔය හා සමාන දරුණු අසුරයින් සමග කටයුතු කරන්නේ කෙසේදැයි අසා තිබෙනවා, හෙංසොං ප්‍රධානී සහ චූ ප්‍රධානීත් ඒ පිළිබඳව අසා දැනුවත් ඇති කියා මම සිතුවා, එම නිසා මම එය නොපවසා සිටියේ. කෙසේහෝ, ඔබ දෙදෙනා එය අසා නැතිනම්, මම මසුරු නොවී පවසන්නම්." යැයි ප්‍රකාශ කළේය.
ඔවුන් ඉක්මනින්, චතුර ලෙස සහ මිලේච්ඡ ලෙස කතා කළද බොහෝ උපායශීලී විය, එම නිසා ඔවුන් අනිවාර්‍යයෙන්ම කාන්තාවන් විය යුතුය. ඔවුන්ගේ හැඩැරුව සැලකූ විට, ඔවුන්ට පුළුල් උරහිස්, පටු ඉණක් සහ ඉදිරියට නෙරා ආ ස්වරාලයක් සහිතය, එම නිසා අනිවාර්‍යයෙන්ම ඔවුන් පුරුෂයින් විය යුතුය. එවන් ආගන්තුක පුද්ගලයින් පිරිසක් ලින්ග් ලොං මීට පෙර කිසිදිනක දැක තිබුණේ නැත, එනිසාම ගොළු වූ ඈ ඔවුන් දෙස බලා සිටින්නට වූවාය.
උප ප්‍රධානීගේ වදන් ඇසූ ප්‍රධානීවරුන් දෙදෙනාම එකිනෙකාගේ මුහුණු දෙස බලන්නට වූයේ ඔවුනට කරගත හැකි කිසිවක් නොවූ හෙයිනි, "කරුණාකර අපව දැනුවත් කරන්න, උප ප්‍රධානීතුමා."
උප ප්‍රධානීතුමා තවත් පසුබට නොවී මෙසේ පැවසුවේය, "තියැන්ගූ විනාකිරි වලට බියයි, එම නිසා උගේ හිසට විනාකිරි බඳුනක් ඉසීමෙන් ඔබලාට ඌව සිහි මූර්ජා කළ හැකියි. ගූ දියාඕ සාමාන්‍යයෙන් සැඟව සිටින්නේ ජලයේ, ඔබ කළ යුත්තේ මිනිසෙකු ලෙස පෙනෙනා ආකාරයට ගෝනි කිහිපයක් සකසා ඒවාට ලුණු පුරවා ජලයට විසි කිරීමයි. ඌ මෙය දුටු විට එයට පහර දේවි. නමුත් ලුණු දියර උගේ දෑස් වලට විශ සහිතයි, ඌට කිසිවක් දැකිය නොහැකියි. ඌ ජලයෙන් මතුපිටට පැමිණුනු විට අල්ලා ගත හැකියි."
හෙංසොං ප්‍රධානී වැනි දැනුමැති අයෙක් පවා මෙවන් උපාය මාර්ගයක් පිළිබඳව ඇසූ පළමු අවස්ථාව මෙය වූ අතර, එය සැක සහිත වුවද, තර්කයෙහි වරදක් නොවීය.
උප ප්‍රධානීතුමා තවත් කරුණු එකතු කළේය, "ගූ දියාඕ ඉතා කපටියි, අල්ලාගැනීමට අපහසුයි. දියෙන් පිටට පැමිණි විටත් ඌ අල්ලාගැනීමට නොහැකිවේ යැයි ඔබට සිතෙනවානම්, රාත්‍රියේදී පන්දමක් සූදානම් කරගෙන ඌගේ වාසස්ථානයට යන්න. උගේ දෑස් සුව වීමට දින තුනකට වඩා ගතවේවි, ඌ තම තුවාලයන් සුවකරගැනීම සඳහා ගුහාවේ රැඳී සිටීවි. ඔබ කළ යුත්තේ පන්දමක් ඌ දෙසට විසි කර පැන යා හැකි නොවන සේ ගුහාවට ඇතුල්වන ස්ථානය මුද්‍රා තැබීම පමණයි. එවිට ඔබට ඌව අල්ලාගත හැකියි."
ෂිඒ ලෙයි, උප ප්‍රධානී තුමාට ආචාර දක්වමින්, "ස්තූතියි, උප ප්‍රධානීතුමනි. මම ඔබට බොහෝම කෘතඥ වෙනවා!"යැයි පැවසුවේය.
කිහිප වරක් සිනාසුණු උප ප්‍රධානී තම කතාව නැවැත්වීය.
එම අවස්ථාවේදී ම ජොං මින් යෑන්, ෂුවැන්ජිව නැවත කැඳවාගෙන පැමිණියේය. එම කුඩා දැරියගෙන් පෙනුණේ අලස බවකි. ඇගේ හිස පීරා තිබුණේද නැත, තැනින් තැන කෙස් මතුවී තිබුණි. ඇය නිදා සිටියදී බලහත්කාරයෙන් අවදිකරගෙන පැමිණි නිසා ඇගේ ඉරියව්ව තවමත් නිදිබර විය. ඇතුලට පැමිණි ඈ කිසිවෙකු දෙස නොබලාම තම දෑස් පිසදමන්නට වූවාය, ෂිඒ ලෙයි තමා ඉදිරිපස සිටිනා බව හදිසියේම වටහා ගත් ඈ තිගැස්සී, ක්ෂණිකව ජොං මින් යෑන් සමගම දණ නවා ආචාර දක්වන්නට විය, "සුබ දිනයක් ඇදුරුතුමනි."
ඇගේ අලස පෙනුමට ෂිඒ ලෙයි කැමැත්තක් දැක්වූයේ නැතත්, ඔහු ඈව දින කිහිපයකින් දැක තිබුණේ නැත, ඇය වෙතින් සුදුමැලි සහ සිහින් බවක් පෙනෙන්නට තිබුණි, එබැවින් ඇය මින්ග්ෂියා ගුහාවේදී බොහෝ සෙයින් පීඩා විඳ තිබිය යුතුය. ඔහුගේ සිතට මදක් පීඩාකාරී ස්වභාවයක් දැණුනු අතර කෝපය පහව යන්නට විය, එම නිසා ඔහු, ඔවුන්ව මෘදු ලෙස ආමන්ත්‍රණය කළේය, "නැගී සිටින්න.ෂුවැන්ජි, අද දින සිට ඔබ මින්ග්ෂියා ගුහාවේ රැඳී සිටිය යුතු නැහැ. හෙට දින ඔබ අප සමග පුෂ්ප නෙළීම සඳහා කඳුමුදුනෙන් පහළට යනවා. ඉක්මන් කර සවස් යාමයේදී ඔබට අවශ්‍ය දෑ සූදානම් කරගන්න, වැටහුණාද?"
ඔහු පැවසුවේ සියළුම දරුවන් පිටතට ගොස් සෙල්ලමෙහි යෙදීමට කැමති නිසා ඒ පිළිබඳව ඔවුන් ඉතා සතුටු විය යුතු බවයි. නමුත් ෂුවැන්ජි එයින් තුෂ්නිම්භූත වන බව දැනසිටියේ කවුරුන්ද?, ඇය මෙසේ මුමුණන්නට වූවාය, "හහ්?, මමත් යනවාද? ඇයි මම... මට නොයා සිටිය හැකිද?"
ෂිඒ ලෙයි ඊට මෙලෙස පිළිතුරු ලබා දුණි, "ඔබට කඳුකරයෙන් පහළට ගොස් නවමු ස්ථාන දැක බලා ගැනීමට අවශ්‍ය නැතිද?"
ඇය ක්ෂණිකව තම හිස සැලුවාය, "මට අවශ්‍ය නැහැ."
මෙම කුඩා දැරියගේ සාමාන්‍ය හැසිරීම සම්බන්ධව ෂිඒ ලෙයි හට සිහිවූයේ ඉන් පසුවය. ඇගේ සහෝදරිය සහ අනෙකුත් ජ්‍යේෂ්ඨයින් කඳු මුදුනෙන් පහළට ගොස් බොහෝ ස්ථාන වල සැරිසරා ඇති අතර, ඔවුන්ට ඇයව එහි රැගෙන යාමට අවශ්‍ය වූ සෑම අවස්ථාවකදීම ඇගේ එකම පිළිතුර වූයේ, "කම්මැලියි, මට යාමට අවශ්‍ය නැහැ." යන්නයි. ෂිඒ ලෙයි තම නළල රැලි කරගනිමින්, "ඔබට එහි යාමට අවශ්‍ය නැති වුවත්, එසේ සිදු කළ නොහැකියි. ඔබ මේ ආකාරයට දිගින් දිගටම අලස වීමට පුරුදු වුණොත්, ඔබට ඔබේ මුළු ජීවිත කාලයම මින්ග්ෂියා ගුහාවේ ගත කිරීමට සිදුවේවි." යැයි පැවසුවේය.
තම මුළු ජීවිත කාලයම මින්ග්ෂියා ගුහාවේ ජීවත් වීමට සිදුවන බව ඇසුණු වහාම ෂුවැන්ජි බියෙන් තම හිස සොලවමින් එකඟ වූවාය.ආදරයෙන් සහ සෙනෙහසින් පිරිපුන් ෂිඒ ලෙයි ඈ හට අතින් සංඥා කර පිටත්ව යන ලෙස පැවසුවේ, පුෂ්ප පළඳනා තරඟාවලියට අදාල කරුණු අනෙකුත් අය සමග සාකච්ඡා කිරීමටයි.
ශාලාවේ කෙළවරට ගිය ෂුවැන්ජි හට දැකගත හැකිවූයේ ලින්ග් ලොං තම මව සමග සුරතල් වන ආකාරයයි. ඇගේ පැමිණීම දුටු ලින්ග් ලොං ඈ වෙත දිව ගොස් ඇගේ අත අල්ලාගත්තාය, "හොඳ නැගණිය, ඔබ පිටතට පැමිණිලා, එය දුෂ්කර විය යුතුයි, එසේ නොවේද?"
ෂුවැන්ජි තම හිස සලමින් මෙසේ පිළිතුරු දුන්නාය, "මුලදී එය දුෂ්කරයි, නමුත් පසුව මම ඊට පුරුදු වුණා. සෑම දිනකම, මම සිදුකළේ නිදාගැනීම සහ ආහාර ගැනීම පමණයි, එය සුළු දෙයක්.
ෂුවැන්ජි පිටතට පැමිණෙනු දුටු හ' දන් පිං කඳුළු සලන්නට විය. එය කෙතරම් භයානකද යන්න ෂුවැන්ජී හට පැවසීමට ඇයට අවැසි නොවුණි, ඇය ෂුවැන්ජිගේ හිස අතගාමින් නිහඬව සුසුම්ලන්නට වූයේ ෂිඒ ලෙයි හට දැඩි හදවතක් ඇති බවට දොස් පවරමිනි.
ලින්ග් ලොං, ෂුවැන්ජි සමග බොහෝ වේලාවක් ආදරණීයව කතා බහ කරන්නට වූවාය. යමක් හදිසියේම සිහිපත් වූ ඈ, ෂුවැන්ජිගේ දෑත ගෙන යමක් කොඳුරන්නට විය, "ෂුවැන්ජි, ඔබට කන්ද පහළට යාමට අවශ්‍ය නැතිනම්, ඒ බව අපේ පියාණන්ට පවසන්න. එවිට ඔබ වෙනුවට මා හට යා හැකියි."
ෂුවැන්ජි තම හිස සලන්නට වූවාය, "නැහැ,නැහැ,නැහැ. පියාණන් පැවසුවා මම එහි නොගියහොත් මගේ ඉතිරි ජීවිත කාලයම මින්ග්ෂියා ගුහාවේ ගත කිරීමට සිදුවන බව! එවැනි ස්ථානයක මගේ ඉතිරි ජීවිත කාලය ගත කිරීමට මට අවශ්‍ය නැහැ, එහි සීතලයි, එමෙන්ම දැඩි අන්ධකාරයෙන් පිරී පවතින්නේ, දින කිහිපයක සිට මගේ සිරුරට වේදනයි."
මෙය ඇසූ ලින්ග් ලොං, ෂුවැන්ජිගේ පාදය තදින් පාගා, අත ගසා දමා දිව ගියාය.
තම සොයුරිය හට කුමන අවස්ථාවේදී තමා කරදරයක් සිදු කළේද යන්න ෂුවැන්ජි දැන සිටියේ නැත. නමුත් ලින්ග් ලොං පිටුපස යාමට අපොහොසත් වූ ඈ හට කළ හැකි වූයේ තුෂ්ණිම්භූතව කෙළවරෙහි අසුන් ගැනීමට පමණි.
ඇය කෙටි නින්දකට අවතීර්ණය වෙමින් සිටියාය, මෙම අවස්ථාවෙ ඇයට කතා කිරීම සැලකිය යුතු තරම් දෙයක් නොවේ, ඇය නිදන්නට වූයේ තම මවට හේත්තු වෙමිනි, ඇගේ හිස පහතට වැටුණද නැවතත් ඇය නින්දට වැටෙයි. අඩ නින්ද අතරතුරේදී තම පාදය යට යමක් චලනය වන බවක් ඇයට දැනුණි, ඒ පිළිබඳ සැලකිලිමත් නොවූ ඈ තම දෑස් වසා ගනිමින් නිදා ගැනීමට සූදානම් වූවාය. නමුත් එය ඇගේ පාදය දිගේ ඉහළට නගින්නට වූ අතර එය ගිම්හානයේදී වූ සිහින් සේදයක් මෙන් සිසිල් සහ මෘදු විය.
තව දුරටත් දෑස් පියා සිටීමට නොහැකි වූ ඈ හට දැකගත හැකි වූයේ රිදී-ශ්වේත පැහැ සර්පයෙක් දණ මත වැතිර සිටින ආකාරයයි, ඌ දඟලන්නට වූ අතර ඌගේ ත්‍රිකෝණාකාර හිස දෙපසට වැනෙමින් තිබුණි,එය ඉතා සැහැල්ලු සහ හුරුබුහුටි හැඟීමක් ගෙන දෙන්නට විය. ෂුවැන්ජි කෙතරම් කම්පනයට පත් වූවාද කිවහොත් ඈ ඉක්මනින්ම තම මවට හඬ ගසන්නට වූවාය, නමුත් ඈ හැරී බලන විට කිසිවෙකු එහි සිටියේ නැත. වැඩිහිටියන් සියළු දෙනාම පුෂ්ප නෙළීමේ සහ පුෂ්ප පළඳනා තරඟාවලිය සම්බන්ධව සාකාච්ඡාවක නිරත වෙමින් සිටියහ.
ඇය ඌව විසිකිරීමට සූදානම් වන අවස්ථාවේදී ඇගේ හිසට ඉහළින් දැඩි කටහඬක් ඇසුණි, "ඌව අල්ලන්න එපා, ඌ ඔබට දෂ්ඨ කරාවි, ඌ ඉතා විෂ සහිතයි."
ෂුවැන්ජි ඒ වන විටත් එම සර්පයාව තදින් අල්ලාගෙන සිටියාය, නමුත් එම හඬ හමුවේ හැරී බැලූ ඈ හට දැකගන්නට ලැබුණේ ඈට ඉදිරිපස සිටගෙන සිටින ඈ හා සමානම උසක් ඇති පුද්ගලයෙකි, ඔහු නිල් පැහැ සළුවකින් සැරසී සිටි අතර, සිහින් සිරුරකින් හෙබි විය, එමෙන්ම සුර වෙස් මුහුණකින් තම මුහුණ ආවරණය කරගෙන සිටියේය.
ඔවුන් පැමිණියේ කොහි සිටදැයි ඈ දැන සිටියේ නැත, එම නිසා ඈ වෙස් මුහුණ දෙස ඇසි පිය නොහෙලා බලා සිටින්නට වූවාය. නොසැලකිලිමත් ලෙස රිදී පැහැ සර්පයාව තදින් අල්ලාගෙන සිටින නිසා ඌ මිය යාමට ආසන්නව සිටිනු දුටු ඔහු, "ඌට යන්න දෙන්න!" යැයි පැවසුවේය.
"ඌ ඔබේද?" ඇය තම අත වූ කුඩා සර්පයා දෙස බලන විට ඌ මිය යාමට ආසන්නව සිටින්නක් මෙන් පෙණුනි, එම නිසා ඈ ඉක්මනින්ම ඌව එම පුද්ගලයා දෙසට විසි කළාය, "ආ මෙන්න."
එම පුද්ගලයා ඉක්මනින්ම කුඩා සර්පයාව දෑතට ගෙන හොඳින් පරීක්ෂා කළේය, වාසනාවකට මෙන් ඌ තවමත් ජීවතුන් අතර විය. ඌව ප්‍රවේසමෙන් තම කුඩා මල්ලට දැමූ ඔහු ආපසු හැරී, " ඇයි ඔබ - ඌව තදින් අල්ලාගෙන සිටියේ?"
ඔවුන්ට භාෂාව එතරම් හුරු නැති බවත්, ඔවුන් නිතරම වචන තුනක් එකවර භාවිතා කරන බවත්, ඔවුන් මධ්‍යම තැනිතලාවෙන් පැමිණි අය නොවිය යුතු බවත් ෂුවැන්ජි හට පැහැදිලි විය, එබැවින් ඇය ඔවුන්ගේ උච්චාරණය අනුකරණය කිරීමට තීරණය කළාය, "ඌ ඉහළට නැග්ග නිසා - මගේ සිරුර දිගේ. මම සිතුවා අනිවාර්‍යයෙන්ම - ඌ මට දෂ්ඨ කරයි කියා."
එම පුද්ගලයා ඊට පිළිතුරු ලබා දුන්නේ මෙසේය, "එය මගේ වරදක් - කුඩා යින් හුආ - ගැන පරීක්ෂාවෙන් සිටීමට නොහැකි වීම. නමුත් ඔබටත්, - ඌව මරා දැමිය නොහැකියි. ඔබ දුෂ්ට කාන්තාවක්!"
කිසිදු හේතුවක් නොමැතිව දුෂ්ට කාන්තාවක් ලෙස දෝෂාරෝපණයට ලක් වීමට සිදු වීම සම්බන්ධයෙන් ෂුවැන්ජි විමතියට පත් විය. ඇගේ චරිත ස්වභාවය අලස වීමත්, මෙම කාරණාව සම්බන්ධව තව දුරටත් කිසිදු ශක්තියක් වැය කිරීමට ඈ හට අවශ්‍ය නොවීමත් වාසනාවකි, එම නිසා තමාට බැණ වැදුණු විට ඇය එය නොසලකා හැර, උරහිස් අකුලා දමන්නට වූවාය. නමුත්, එහි වූයේ ලින්ග් ලොං නම් මීට බොහෝ වේලාවකට පෙර සටන ආරම්භ වීමට ඉඩ තිබුණි.
ඇගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව දුටු එම පුද්ගලයා හට ලැජ්ජාවක් දැනෙන්නට විය, ඔහු ඇගෙන්, " ඇයි - ඔවුන් ඔබට - පුෂ්ප නෙළීමට යාමට අවසර දෙන්නේ?" යැයි විමසා සිටියේය.
ක්ෂණිකව තම දෑස් විවර කළ ඈ, "හහ්? ඔබ දැන් වචන තුනක් පැවසුවේ නැහැ!ඔබ වචන දෙකක් භාවිතා කරමිනුත් කතා කරනවා!" යැයි පැවසුවාය.
එම පුද්ගලයාට, ඈ සමඟ කිසිසේත්ම සන්නිවේදනය කළ නොහැකි බව හැඟී ගිය අතර , ඇය හිතාමතාම නිවටයෙකු මෙන් පෙනී සිටියාය. ඔහු තම වෙස් මුහුණ පෙන්වමින්, කෝපයෙන් මෙසේ පැවසුවේය, "ඔබ සිතන්නේ - මම කවුරුන් කියාද? ඔබ නිර්භීත වන්නේ කෙසේද, මට සරදම් කිරීමට!"
"ඔහ්, ඔබ කවුද?" ෂුවැන්ජි නොසැලකිලිමත් ලෙස විමසා සිටියාය.
එම පුද්ගලයා ඊට පිළිතුරු ලබා දුන්නේ දැඩි කෝපයෙනි, "වෙස් මුහුණ දෙස බලන්න!"
එයින් වික්ෂිප්ත වූ ෂුවැන්ජි ඔහුගේ වෙස්මුහුණ දෙස බලන්නට වූවාය.
ඈව උපහාසයට ලක් කළ එම පුද්ගලයා, "දැන් ඔබ දන්නවානේ? මට පවසන්න, ඔබ ඒ පිළිබඳව කුමක්ද සිතන්නේ?"
ලී ස' මාළිගයෙහි වෙස් මුහුණ ඉතා ප්‍රසිද්ධ සහ බිය ගෙන දෙන සුළු විය,කිසිවෙක් හෝ ඒ පිළිබඳව නොදැන සිටී යැයි ඔහු කිසිසේත්ම විශ්වාස කළේ නැත.
ෂුවැන්ජි ඒ දෙස බොහෝ වේලාවක් ඉතා බැරෑරුම් ලෙස බලා සිටියාය, පසුව ඈ ප්‍රවේශමෙන් සහ ඉක්මනින්ම මෙසේ පවසා සිටියාය, "එය විරූපියි."
පිහි පහරක් - තමාගේම රුධිර වාහිනී පුපුරා යන ශබ්දය ඔහුට ඇසුණි, "ඔබ...මට එය දෙන්න, සිහියේ තබා ගන්න!" ඇගේ නාසය දෙසට දිගු වී තිබුණු ඇඟිලි වෙව්ලන්නට විය, කෝපයෙන් කටහඬද වෙනස් වන්නට විය, "ඔබ... ඔබේ නම කුමක්ද?! නම!"
තම හිස සලමින් ඈ ඔහුට පැවසීමට සූදානම් වූයේ, අවසරයක් නොමැතිව ආගන්තුකයින් හට තම නම දැනගැනීමට ඉඩ නොතැබිය යුතු බව ඇගේ මව පවසා ඇති බවයි, ඇගේ ඉදිරිපස වූ පුද්ගලයෙක් ආගන්තුක අක්ෂරයක් පවසමින් කෑ ගසන්නට විය. එම පුද්ගලයා ක්ෂණිකව පිටත් වීමට සැරසුණත්, නැවත හැරී, "මගේ නම යූ ස' ෆං ! චූ ෂුවැන්ජි! මට ඔබේ නම මතකයි! ඔබ එය අරම්භ කළා, බලා සිටින්න!"
ඔහු නිල් පැහැ සළු පැළඳ සිටි පුද්ගලයන් සමග ශාලාවෙන් පිටව යනු බලා සිටි ෂුවැන්ජි ව්‍යාකූල වූයේ ඔහු මෙතරම් කෝපයට පත් වූයේ මන්දැයි වටහා ගැනීමට නොහැකි වූ හෙයිනි.
එය ආගන්තුකයි, ඇය වෙස්මුහුණ ගැන සිතන්නේ කුමද කියා විමසා සිටියේද ඔහුයි, එමෙන්ම ඇය පවසා සිටියේ සත්‍යයි...
මෙම සියළු පුද්ගලයින් සහ පිටත සියළු දෑ සත්‍ය වශයෙන්ම කරදරකාරියි.
****************************
[1] : හස ඉරියව්ව - ( සමහර අවස්ථාවන්හිදී අශ්වාරෝහක ඉරියව්ව ලෙසද හැඳින්වේ) ආසියානු සටන් කලාවේ පොදු ඉරියව්වක් වන එය අශ්වයෙකු පැදවීමේදී සිටිනා ආකාරය යන්නෙන් නම් ලබා ඇත. චීන භාෂාවෙන් mǎbù (馬步) ලෙසත්, ජපන් භාෂාවෙන් kiba-dachi (騎馬立ち) ලෙසත්, කොරියානු භාෂාවෙන් juchum seogi (주춤 서기) හෝ annun seogi ලෙසත් හඳුන්වයි. මෙය සටන් සඳහා පමණක් නොව සටන් අභ්‍යාස සහ ආකෘති සඳහා ද භාවිතා කළ හැක. එය බහුලව භාවිතා වන්නේ පහරවල් පුහුණු කිරීමට හෝ පාද සහ පිටුපස ශක්තිමත් කිරීමටය.
[2] : Tiangou - (ජපන් භාෂාවෙන් : 天狗 (tengu), සාහිත්‍ය. "දිව්‍යමය සුනඛයා" හෝ "දිව්‍යමය මුරභටයා" ) චීන සහ ජපන් ආගම් වල දක්නට ලැබෙන ජනප්‍රවාද ගත සත්ව විශේෂයකි. ඔවුන්ව yōkai ( අධිස්වභාවික ජීවීන් වර්ගයක්) ලෙස හෝ Shinto kami (දෙවියන් වර්ගයක් ) ලෙස සැලකේ. මුලින්ම සිතා සිටියේ තියැන්ගූ ගොදුරු සොයා යන පක්ෂීන් ලෙස වුවත් සාම්ප්‍රදායිකව ඔවුන් මානව සහ පක්ෂි ගති ලක්ෂණ පෙන්නුම් කරයි.
[3] ගූ දියාඕ - අසුර රාජාලියා
****************************
Comments
Post a Comment