7) කඳුකරය පහළට යාම
පසුදින, ඔවුන් පස් දෙනා ලූතායි කඳුකරය බලා පිටත් වූහ. අනෙකුත් නිකාය සතරෙන් පැමිණි ප්‍රභූවරුන් ආගන්තුකයින් වූ හෙයින් ඔවුන් සමුගෙන ඉවත්ව ගියහ.ඔවුන් රැඳී සිටියේ පුෂ්ප පළඳනා තරඟාවලිය නිළ වශයෙන් ආරම්භ වන තුරු සහ පුෂ්පයන් නෙළන තුරු පමණි.
ඔවුන් සියළු දෙනා පිටත් වූ පසු ශිෂ්‍යයන් සියළුම දෙනා කඳුකරයේ දොරටුව අසලට රැස් කළද ලින්ග් ලොං පමණක් එහි සිටියේ නැත. ඈට මළුවෙන් පිටවීමට තහනම් වන ලෙස ෂිඒ ලෙයි විසින් පැනවූ දඬුවම හේතුවෙන් ඇය සත්‍ය වශයෙන්ම පිටතට පැමිණියේ නැත. මෙයින් වඩාත්ම කම්පාවට පත් වන්නේ හ' දන් පිං ය. එක් අතකින්, ඇයට ඇගේ බාල දියණිය පිළිබඳව වද වීමට සිදුවී ඇත, අනෙක් අතට තමාගේ වැඩිමහල් දියණිය පිළිබඳවද ඇයට ඇත්තේ මහත් කණගාටුවකි, එමෙන්ම තරඟාවලියේ සියළු කටයුතු කලමනාකරණය කිරීමට ද ඈ හට සිදුව ඇත. යහපත් බිරිඳක් සහ මවක් වීම අතිශයින්ම දුෂ්කරය.
ෂුවැන්ජි සහ ජොං මින් යෑන් පියාසර කරන්නේ කෙසේදැයි නොදැන සිටි නිසා, චූ යිං හොං සහ දොංෆං චිංචි විසින් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් බැගින් රැගෙන ඔවුන්ගේ ඉදිරිපස තබාගනිමින් වේගෙයෙන් සහ ස්ථාවරව පියාසර කරන්නට වූහ. පෙරදී රහසේම පියාසර කිරීමට පුරුදු වූ නිසා ජොං මින් යෑන් හට එය අපහසු නොවීය, නමුත් මෙය ෂුවැන්ජි ගේ පළමු වතාව විය. බියෙන් තමාව දෑතින්ම බදා සිටින කුඩා දැරිය දුටු චූ යිං හොං ඒ පිළිබඳව කණගාටු වූවාය, ඈ ෂුවැන්ජිව මෙසේ සනසන්නට විය, "බියවන්නට එපා, හොං නැන්දණිය මෙහි සිටිනවා, මම ඔබව කෙලෙසකවත් වැටෙන්නට දෙන්නේ නැහැ."
ෂුවැන්ජි දෙස බැලූ චූ යිං හොං හට දැකගැනීමට හැකි වූයේ ඈ දෑස් පුළුල් කරගනිමින් තම පාද වලට යටින් පාවී යන මේඝයන් දෙස කුතුහලයෙන් යුතුව බලාසිටින ආකාරයයි, එම මුහුණෙහි බියක සලකුණක්වත් නොවීය.
ප්‍රධානීතුමාගේ දියණියන් දෙදෙනා ස්වභාවයෙන් මෙතරම් වෙනස් වීම පිළිබඳව ඇගේ සිතේ ඇති වූයේ පුදුමයකි. ලින්ග් ලොං ඈව හොඳින් දැන සිටියාය,තම සටන් කලාව පුහුණු වීමට අවශ්‍ය බව පවසමින් ඈට සෑම දිනකම කරදර කළාය. ඇය ක්‍රියාශීලී සහ ක්ෂණික බුද්ධියක් සහිත සටන් කලාව ප්‍රගුණ කිරීමට දක්ෂතා ඇති දැරියකි. හ' දන් පිං මීට පෙර ෂුවැන්ජි සමග සම්බන්ධ වී නොමැත, ෂුවැන්ජිගේ අලස බව නිසා ප්‍රධානීතුමා නිතරම කෝප ගන්නා බව ඈ අසා තිබුණාය, නමුත් ඈ සිතුවේ ෂුවැන්ජි යනු නොහික්මුණු සහ පිළිකුල් සහගත ගැහැණු ළමයෙකු බවයි.
මහත් උනන්දුවෙන් බලා සිටින ෂුවැන්ජිව දුටු චූ යිං හොං සිනාසෙමින් මෙසේ විමසීය, "ඔබ බිය නැතිද? මෙතරම් ඉහළින් පියාසර කරන ප්‍රථම වතාව."
ඈ දෙස බැලූ ෂුවැන්ජි, "ඔබ මාව වැටෙන්න දෙන්නේ නැහැ." යැයි පැවසීය.
ඇගේ බොළඳ සහ යල් පැන ගිය ආකල්ප වලින් ඉතා විනෝදයට පත් වූ චූ යිං හොං, ෂූවැන්ජි හට සරදම් කරන්නට වූවාය, "ඔබට එතරම් විශ්වාසද? මම ඔබේ පියාණන්වත් මෑණියන්වත් නොවේ."
ඊට පිළිතුරු නොදුන් ෂූවැන්ජි, තම පාද වලට පහතින් පෙනෙන හරිත වර්ණ කඳුකරයන් දෙසත් ශ්වේත වර්ණ මේඝයන්ගේ සුන්දරත්වය දෙසත් බලා සිටින්නට වූවාය.
චූ යිං හොං නිහඬවම ඇයව ප්‍රමාණීකරණය කරමින් සිටියාය, හදිසියේම ඈට සිහිවූයේ තම සහෝදර සහෝදරියන් සමග මත්පැන් පානයට ගිය අවස්ථාවන්හිදී බාල සොයුරු හුවාන් යැං ඕනෑවට වඩා මත්පැන් පානය කර, අත්පොලසන් දෙමින් සිනාසී, "ඔබ සියළු දෙනාම සැමවිටම පවසන්නේ චූ ප්‍රධානීතුමාගේ වැඩිමහල් දියණිය දුර්ලභ ගණයේ දක්ෂයෙක් බව. කිසිවෙකු හෝ දැක තිබෙනවාද ඒ කුඩා දැරිය, ෂුවැන්ජි? වෙනස්වීම් වලට අනුවර්තනය වීමට සහ ඇගේ අවිනෂ්ට දෑස් අති විශිෂ්ඨ බව සඳහන් කළ යුතුමයි!"
පෙරදී ඈ සිතුවේ එය බීමතින් සිදුකළ කතාවක් හෙයින් එතරම් හදතට නොගතයුතු බවයි, නමුත්, "වෙනස්වීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැහැ,දෑස් යට කිසිදු දුහුවිල්ලක් නැහැ." යන වැකිය මතකයට නැගෙද්දී එය ඉතා යෝග්‍ය බව පෙනුනි.
සිනාසුණු චූ යිං හොං, ෂුවැන්ජිව තම ළමැදට තුරුළු කරගත්තාය, "හේ, විනෝදවෙන්න අවශ්‍යද?"
එසේ පැවසීමෙන් අනතුරුව, ඇය ෂුවැන්ජිගෙන් පිළිතුරක් ලැබෙන තුරු නොසිටම වම් පාදයෙන් අසිපත තද කළාය, ඒ සැනින් අසිපත මේඝයන් අතරින් රිංගා ගොස් ඉහළ අහසේ පියාසර කළේ තෝන් ලණුවෙන් නිදහස් වූ තුරඟෙකු මෙනි, හදිසියේම එය ගුවනේ සිට සෘජුවම පහළට වැටෙන්නට විය. එය බිමට කඩා වැඩීමට ආසන්න බව දුටු අසිපත මකරෙකු මෙන් සැහැල්ලුවෙන් ඉහළට නැග කඳු මුදුනෙහි වූ එල්ම් වෘක්ෂයෙහි මුදුනත් අභිබවා ඉහළට පියාසර කළේ අසිපත පසු කර යන පත්‍ර ගුවනෙහි ලෙළවමිනි.
එම වෘක්ෂය මත ගිමන් හරිමින් සිටි ලාර්ක් පක්ෂියාට නියමිත අවස්ථාවේදී ඉන් ඉවත් වීමට නොහැකි වූ හෙයින්, ක්ෂණිකව පියාපත් විහිදවූ ඌ චූ යිං හොංගේ සළුවෙහි ස්පර්ශ වුණි, චූ යිං හොං දක්ෂ ලෙස ඌඅ තම දෑතට ගත්තාය.
"මෙන්න, ඔබට. එය විනෝදයි නේද?" සිනාසෙමින් තම දෑතෙහි වූ ලාර්ක් පක්ෂියාව ෂුවැන්ජිගේ සළුවෙහි සැඟවූ ඈ වෘක්ෂයක මුදුනට ආසන්න වෙමින් පැවතුණු අසිපත පාලනය කරන්නට වූවාය. තියුණු අසිපත හමුවූ ශාක පත්‍ර දෙකඩ වී ගියේය. එය වෘක්ෂයක් මුදුනෙහි රළ බිඳී යන්නාක් මෙන් වූ අතර ඝන අතු සහ පත්‍ර සයුරෙහි රළ මෙන් විය.
සියළු දෑ නවමු බව ෂුවැන්ජි හට හැඟුණි.
පියාසර කරන අසිපත, ඉතා විශාල උසක සිට පහත බලන හැඟීම, බාධාවකින් තොරව සියළු දිශාවන් පිස හමායන මාරුතය, තම සළුව තුළ වූ ලාර්ක් ගේ මෘදු ස්පර්ශය, කුඩා ජීවියෙකුගේ සන්ත්‍රාසය සහ වෙව්ලීමේ හැඟීම දනවයි. ඇගේ ඉදිරිපස වූ සියල්ල විවෘත සහ පැහැදිලි විය, ඇගේ කෙස් කළඹෙහි තුඩු වලට පවා නිදහසෙහි රසය දැනෙන්නට විය. එය මුළු දිනය පුරාවටම ෂාඕයැන්ග් කඳුමුදුනෙහි පිටුපස වූ මළුවෙහි සිරවී සිටිනවාට වඩා හාත්පසින්ම වෙනස් හැඟීමක් ගෙන දුණි. තමා යමක් ඉගෙනගත් බව ඇයට හැඟුනද ඒ කුමක්දැයි පැවසීමට හැකියාවක් නොවීය.
එම නිසා චූ යිං හොං විසින් මෙලෙස විනෝද වීමට කැමැත්තක් තිබේදැයි විමසූ විට ඈ පසුබට නොවීම ඊට එකඟ වෙමින් හිස සලන්නට වූවාය. ඇගේ හිස අතගෑ චූ යිං හොං සිනාසී: "ඔබ එයට කැමතියි නම්, එය ඔබ විසින්ම පුහුණු කළ යුතුයි. ඔබ විසින්ම පියාසර කළ දිනෙක එහි සුන්දරත්වය ඔබට අවබෝධකරගත හැකි වේවි."
අවිඥානිකව හිස සැලූ ෂුවැන්ජිගේ හදවට ක්ෂණිකව දැනුණේ සටන් කලාව පුහුණු කිරීම එතරම් කරදරකාරී නොවන බවයි. ප්‍රථම වතාවට, තමා විසින්ම පියාසර කිරීමට පුහුණු විය යුතු යැයි සිතුවිල්ලක් ඇයට පහළ විය.
සත්‍ය වශයෙන්ම, තමා රාත්‍රියේදී භවනෙහි ගිමන් හරින විට, චූ යිං හොං විසි ෂිඒ ලෙයිව සොයාගොස් යමෙකු ඉල්ලා සිටි බව ඈ දැන සිටියේ නැත.
"ප්‍රධානීතුමා, ෂුවැන්ජී මා සමග යූයැන්ග් ශාලාවට රැගෙන ගොස් පුහුණුවීම් සිදු කිරීමට මට අවශ්‍යයි, ඔබ ඒ පිළිබඳව සිතන්නේ කුමක්ද?"
චූ යිං හොං ගේ ඉල්ලීම ෂිඒ ලෙයිව පුදුමයටත්,සන්තෝශයටත් පත් කළේය, ඔහු වඩාත්ම පුදුමයට පත් වූයේ ඈ විසින් ෂුවැන්ජිව තෝරා ගැනීම සම්බන්ධවයි. ඔහු සිතා සිටියේ, චූ යිං හොං තම ශිෂ්‍යයෙකු ලෙස ලින්ග් ලොං ව තෝරාගනු ඇති බවයි. ඔහු සතුටින් ඉපිලී ගියේ චූ යිං හොං දක්ෂ තැනැත්තියක් සහ බොහෝ දැනුමැති අයෙක් වීමත්, ෂුවැන්ජි අනිවාර්‍යයෙන්ම ඇගෙන් බොහෝ දේ පුහුණුවන බවත් ස්ථිර හෙයිනි.
වහාම සිනාසුනු ඔහු, "එසේ සිදු වේ නම්, එය මගේ දියණියට භාග්‍යයක්. කෙසේවෙතත්, ෂුවැන්ජි කුඩා කාලයේ සිටම අලසයි, එම නිසා ඔබ ඇයව තවත් අධීක්ෂණය කරාවි යැයි මම අපේක්ෂා කරනවා. කිසිවෙක්ට අලස වී දක්ෂයෙක් විය නොහැකියි."
නමුත් චූ යිං හොං පවසා සිටියේ, "ප්‍රධානීතුමා, සමහර දරුවන්ට පුහුණු කිරීමට දැඩි පීඩනයක් අවශ්‍යයි, නමුත් සමහර දරුවන්ට කිසිසේත්ම පීඩනයක් එල්ල කළ නොහැකියි. සෑම අයෙක්ටම පුහුණුවීම් සිදු කිරීමේ ඔවුන්ගේම ක්‍රමවේදයක් තිබෙනවා. මම සිතනා ආකාරයට ෂුවැන්ජි ඉතා හොඳ අයෙක්. කාලයත් සමග ඈ අතිදක්ෂයෙක් බවට පත් වේවි." ලෙසයි.
තම නැගණිය සතුව බොහෝ අමුතු සහ විකාර රූපී අදහස් ඇති බව ෂිඒ ලෙයි දැන සිටියේය, ඔහු ඒවා සමග එකඟ නොවූවත්, එම අදහස් ප්‍රතික්ෂේප කළේ නැත. "කුඩා දැරියට පුහුණුවීම් සිදුකරවන්නේ මගේ නැගණිය.තම ඇදුරුතුමාට උපහාර දැක්වීමට මෙහි පැමිණෙන ලෙස මම ඇයට දන්වා සිටින්නම්."
චූ යිං හොං වහාම ඔහුව නැවතූයේ සිහනවක්ද සමගිනි, "හසිදියක් නැහැ. පුෂ්ප පළඳනා තරඟාවලිය අවසන් වන තුරු සිටිමු."
තමා මුළු හදවතින්ම මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව චූ යිංහොං දැන සිටියාය. ෂුවැන්ජි ස්වභාවයෙන් අලස බවක් පෙන්නුම් කලද අතිශයින් බුද්ධිමත් ය.එවැනි අයෙකුට කිසිවක් කිරීමට බල කළ නොහැකිය; ඇයට තමාගේම අදහස් ඇති අතර කල හැක්කේ ඇයට මඟ පෙන්වීම, පොළඹවා ගැනීම සහ සටන් කලාව ප්‍රගුණ කිරීමට ඇයව උනන්දු කරවීම පමණි. ෂුවැන්ජි තවමත් තරුණ දැරියකි, ඇය වයසින් තවත් වැඩි වූවා නම්, ඇයට ඉගැන්වීම මීටත් වඩා අපහසු කාරණාවක් වනු ඇත. ඔබ ඇයට තමාගේ ශිෂ්‍යයෙක් වන ලෙස බලපෑම් කළහොත් ඇගේ මුරණ්ඩු ස්වභාවය ඉස්මතු වන අතර, ඔබ ඇයට යන්නට දීම වඩාත් සුදුසුය.
චූ යිංහොං සහ ෂිඒ ලෙයි, ෂුවැන්ජිගේ ආධුනිකත්වය පිළිඹඳව ඉහළ මාලයේ සිට සාකච්ඡා කරමින් සිටින විට, ෂුවැන්ජි ඇතුළු අනෙක් තිදෙනා පහළ මාලයේ තේ පානය කරමින් සිටියහ. දොංෆං චිංචි එකවර කෑම දහයකට වඩා ඇණවුම් කළ අතර, පසුව ඔහු ජොං මින් යෑන් ගේ උරහිසට තට්ටු කර සිනාසෙමින්, " මේ පොඩ්ඩා නරකම නැහැ, මේ වන තෙක් නොමැරී සිටීමත් පහසු කාර්‍යයක් නොවේ." යැයි පැවසුවේය.
දොංෆං චිංචි ගේ අතුල් පහර හමුවේ,ජොං මින් යෑන් ගේ මුළු ශරීරයම මේසය මතට වැටුණු අතර ඔහුට චලනය වීමටවත් නොහැකි විය. ඔහුගේ අඳුරු පැහැයට හැරුණු මුහුණ දුටු ෂුවැන්ජි මෘදු හඬින් මෙසේ විමසීය, " කුමක්ද ගැටළුව? ඔබට අපහසුවක් දැනෙනවාද?"
ජොං මින් යෑන් තම හිස සැලීය, නමුත් ඔහු තවත් කිසිවක් පැවසීමට මත්තෙන්, දොංෆං චිංචි සිනාසෙමින්," ෆූයූ දිවයිනෙහි විශේෂ මකර චිත්‍ර සම්භ්‍රම පහරින් ගැලවී යාම ඔහුට අපහසුයි.ඔහුට වඩා වැඩිමහල් මගේ ශිෂ්‍යයිනුත්, මෙම ප්‍රයෝගය හමුවේ සිහි මූර්ජා වුණා. කුඩා දරුවන්ට මෙය පහසු දෙයක් නොවේ!" යැයි පැවසුවේය.
ෂුවැන්ජි තම ඇසිපිය සැලීය, නමුත් ඇයට කිසිවක් අවබෝධ වූ බවක් පෙනෙන්නට නොතිබුණි.
ජොං මින් යෑන් තම හඬ අවදි කරන්නට විය, "ෆූයූ දිවයිනෙහි ප්‍රධානීතුමා මාව ඉහළට පහළට වම්පසට සහ දකුණු පසට ඔසවා, අවසානයේ එකසිය අට වරක් කරකවන්නට වූවා, මට... වමනයට ආවා... මම මිය යමින් සිටියේ..."
ජොං මින් යෑන් දෙස අනුකම්පා සහගතව බැලූ ෂුවැන්ජි මෙසේ පැවසුවාය, " එසේ නම් ඔබ යනහට ගොස් විවේක ගත යුතුයි, හෙට දිනයේ අපට තව බොහෝ දුරක් ගමන් කිරීමට තිබෙනවා."
තම හිස සැලූ ජොං මින් යෑන් ඇයට මෙලෙස පිළිතුරු ලබා දුණි, " අප මෙතරම් දුරක් පැමිණියා, මම මෙහි අසුන් ගෙන සිටින්නම්..."
දොංෆං චිංචි සිනාසෙන්නට විය, " ධෛර්‍යසම්පන්නයි! මම එයට බොහෝ සෙයින් කැමතියි! මේ තරම් දුරක් පැමිණීම පහසු කාර්‍යයක් නොවේ! චූ ප්‍රධානී තුමාගේ ශිෂ්‍යයන් බොහෝ වෙනස්, මගේ නිවට ශිෂ්‍යයන්ට වඩා බොහෝ විශිෂ්ටයි! ඇයි ඔබ මා සමග පැමිණිලා ෆූ යූ දිවයිනෙහි ශිෂ්‍යයෙක් වන්නේ නැත්තේ? මම චූ සහෝදරයා සමග කතා කරන්නම් ඒ පිළිබඳව."
නමුත් ඔහුට පිටුපසින් ෂිඒ ලෙයි ගේ සිනා හඬ ඇසුණි, " දොංෆං සහෝදරයා සරදම් කරන්න ඉතා කැමතියි, ෆූයූ දිවයිනේ ශිෂ්‍යයන් විශිෂ්‍ටයන් අතරිනුත් විශිෂ්ටයින්, අප කෙසේද ඔවුන් හා සසඳන්නේ?"
එසේ පවසමින්, චූ යිං හොං සමග ඉදිරියට පැමිණි ඔහු, සිනා පිරි මුවින් ම අසුන් ගෙන, "බොහෝ වේලා බලා සිටීමට සිදු වීම පිළිබඳ සමාවෙන්න" යැයි පැවසුවේය.
"චූ සහෝදරයා බොහෝ සෙයින් භාග්‍යවන්තයි. ෂාඕයැන්ග් නිකායෙහි බොහෝ දක්ෂයින් සිටිනවා, මට ඔබ පිළිබඳව ඇත්ත වශයෙන්ම ඊර්ෂ්‍යයි." දොංෆං චිංචි නැවතත් පැවසීය.
ෂිඒ ලෙයි සහ ඔහු ජීවිතයේ සිට මරණය දක්වාම බොහෝ සමීප සගයන් වූහ. මෙම පුද්ගලයා සෑම විටකදීම බොහෝ නරක ලෙසත්, ඉතා ඍජු ලෙසත් තම අදහස් ඉදිරිපත් කරයි. ඔහු බොහෝ කාලයක් තිස්සේ එයට ඇබ්බැහි වී ඇත. ෂිඒ ලෙයි සිනා සී මෙසේ පැවසුවේය, " ඔබ මොනවද මේ කියවන්නේ! තවමත් ඔබේ දිවයිනේ පුද්ගලයන් කිහිප දෙනෙක් සිටිනවානේ? ඔබට ආත්ම වර්ණනා කිරීමට පියැන් පියැන් සහ යූ නිං පමනක් ප්‍රමාණවත්. කලකට පෙර මට අසන්නට ලැබුණා, ඔවුන් ලන්තියැන්හි දරුණු අසුරයෙක් මරා දැමූ බව, ඔවුන් අනතුරට ලක් වූ බව ඇසීමෙන් මම මහත් කණගාටුවට පත් වුණා, ඔවුන් පුෂ්ප පලඳනා තරඟාවලියට සහභාගී වෙනවාද?"
දොංෆං චිංචි, තම විශිෂ්ටම ශිෂ්‍යයන් දෙදෙනා පිළිබඳව කතා කරනා විට ආඩම්බරයෙන් සුසුම් හෙලුවේය, "ඔවුන් කෙසේද පුෂ්ප පළඳනා තරඟාවලියට සහභාගී නොවී සිටින්නේ? අනාගතයේදී ඔවුන්ට ෆූ යූ දිවයින භාරගැනීමට හැකියි නම් එය මට බොහෝ සහනයක්."
එසේ පැවසීමෙන් අනතුරුව, සුදුමැලිව ගොස් සිටි ජොං මින් යෑන් ට තට්ටු කළ ඔහු, " මේ දරුවාත් නරකම නැහැ! මගේ මකර චිත්‍ර සම්භ්‍රම පහරට එරෙහිව යෞවනයෙක් නැගීසිටීමත් අරුමයක්. එය පහසු කාර්‍යයක් නොවේ! මීළඟ පුෂ්ප පළඳනා තරඟාවලියේදී ප්‍රසිද්ධියට පත්වන්නේ එවැනි අය! චූ, ඔබ ඔබේ සහෝදරයා සමග හඬා වැටෙනවා සේ රවටන්නට එපා!"
සියලු දෙනාම සිනා සෙන්නට වූහ, නමුත් එසැණම ඔවුන්ට ශබ්දයක් ඇසුණි, බැලූ විට ජොං මින් යෑන් සිහිසුන්ව ඇති බවක් පෙනී ගියේය.
චූ යිං හොං වහාම ඔහුව ඉහළ මාලයට රැගෙන යාමට සහය දී, විවේක ගන්නා ලෙස පවසා, ෂුවැන්ජි හට අවවාද කළේ ඔහුගේ කාමරය තුළ රැඳී සිට ඔහුව රැක බලාගන්නා ලෙසයි,එසේම පහත මාලයට යාමට පෙර ඔහුට වටිනා උපදෙස් කිහිපයක් ලබා දීමටද චූ යිං හොං අමතක නොකළාය.
පහළ මාලයේ සියළු දෙනාගේ සරදම්ද සිනා හඬවල්ද , වයින් වල සුගන්ධයද ෂුවැන්ජි හට අඩත්තේට්ටම් කරන්නට විය. ෂුවැන්ජි බොහෝ වේලාවක් තිස්සේ අසුනක අසුන් ගෙන සිටියේ, මහත් කුසගින්නකින් මෙන්ම පහලට ගොස් සියළු දෙනාගේ විනෝද ජනක කතා ඇසීමේ ආශාවකිනි. ජොං මින් යෑන් යහන මත සුවසේ නිදා ගෙන සිටියද, ඔහුගේ මුහුණ සුදුමැලිව ගොස් තිබූ අතර සැබවින්ම ඔහු අසිපත් සටන් ක්‍රමයට බිය වන්නට ඇත.
ෂුවැන්ජි හට මහත් කුසගින්නක් දැනුනි, ඇගේ දෑස් අඳුරු පැහැ වන්නට විය, එමෙන්ම ඔවුන් දෙදෙනාට චූ යිං හොං විසින් තබා ගිය ආහාර මේසය මත දක්නට ලැබුණි. ජොං මින් යෑන් අවදි වන තුරු බලා නොසිටි ඈ ආහාර ගැනීම ආරම්භ කළාය.
තමා ආහාර ගන්නා අතරවාරයේදී කිසියම් අයෙක් තමා දෙස බ්ලා සිටින බවක් ඇයට හැඟුණි. හැරී බලන විට ඇයට දැක ගැනීමට හැකි වූයේ දෑස් පුළුල් කරගෙන තමා දෙස බලා සිටින ජොං මින් යෑන් වය. මුවේ තිබූ ආහාර ගිල දැමූ ඈ දෙගිඩියාවෙන් මෙන් මෙසේ ඔහුගෙන් විමසුවාය, "ඔබට.. ආහාර ගැනීමට අවශ්‍යද?"
මුහුණ රත් පැහැයට හැරුණු ජොං මින් යෑන් තම හිස සොලවමින්, "මට කරකැවිල්ලයි, ඔබට එය ආහාරයට ගන්න පුළුවන්." යැයි පැවසීය.
"ඔහ්" යැයි පැවසූ ෂුවැන්ජි නැවතත් ආහාර ගන්නට වූවාය.
ආහාර වලින් බොහෝ ප්‍රමාණයක් ෂුවැන්ජි විසින් අවසන් කර ඇති බව දුටු ජොං මින් යෑන් තම හඬ අවදි කළේය, "අර... ඔබට පුළුවන්ද අර සූපය බී අවසන් කරන්න..."
ඔහුට සත්‍ය වශයෙන්ම කුසගිනි වී ඇති බව ෂුවැන්ජි හට අවසානයේ අවබෝධ විය, සුසුම්ලූ ඈ, "ඇයි ඔබ පැවසුවේ නැත්තේ? මෙහි තව ආහාර තිබෙනවා, බය වෙන්න එපා, ඇවිත් ආහාරයට ගන්න."
ජොං මින් යෑන් හට කෙතරම් කරකැවිල්ලද කියතොත් තමා වටා වූ සියල්ල ඔහු විසි කර දැමීය, එසේම ඔහු දැන් කුසගින්නෙන් පිඩා විඳින්නේය, ඇඳ ඇතිරිලි ඉවත් කළ ඔහු යහනින් නැගී සිටියේය. නමුත් ඔහුට තමාගේ පාද පුළුන් මෙන් දැණුනි, බිම පා තබා ඇවිදීමට තරම්වත් ශක්තියක් ඔහු සතුව නොවීය. ඔහුට දිවාතරු පෙනෙන්නාක් මෙන් විය, ක්ෂණිකව නැවත හැරී ඔහු යහන මත වැතිරුණේ, "මට කුසගිනි නැහැ, මම ආහාර ගන්නේ නැහැ" යනුවෙන් පවසමිනි.
එසේ පවසනවාත් සමගම එය හිතමතාම වෙනත් තාලයකට හැරුණේ, ඔහුගේ කුසින් නැගුණු ශබ්දය හේතුවෙනි.
ඔහු ගල් ගැසුණි.
ෂුවැන්ජි තුෂ්ණිම්භූත විය.
මද වේලාවකට පසුව යහන අසලට ගිය ඈ, ඔහුව තල්ලු කරමින් මෙසේ පැවසුවාය, " මේ, ඔබේ ආහාර ගන්න"
ජොං මින් යෑන් තමා නිදි ලෙස අඟවමින් ඈව මගහැරියේය.
ඔහුව නැවත නැවතත් තල්ලු කරමින්, "අපි ආහාර ගමු, අපිට හෙට දිනයේ බොහෝ දුරක් යාමට තිබෙනවා." යැයි පැවසුවාය.
ජොං මින් යෑන් බොහෝ කෝපයට පත් විය, ඔහු යහන මත අසුන් ගත්තේය, "නැහැ!"
ඔහු හැරී බලන විට ඔහුට දැකගැනීමට හැකි වූයේ ෂුවැන්ජි බත් සහිත සුප් සහ ඒ මත වූ කොළ පැහැ එළවළු සමග ආහාර බඳුනක් සඟවා සිටින ආකාරයයි. යහනෙහි කොනක අසුන් ගත් ෂුවැන්ජි, හැන්දකින් බත් කළවම් කරමින් මෙසේ පැවසුවාය, " මම ඔබට කවන්නම්, ඔබේ කට අරින්න." හැන්දට සුප් පුරවාගත් ඈ ඔහුගේ මුව දෙසට එය දික් කළාය.
ඔහු හැන්ද දෙස බලා සිටියේ වටකුරු ඇස්වලින් මහත් කෝපයකින් යුත් අසුරයෙක් මෙනි.
"කට අරින්න" ෂුවැන්ජි දරුවෙක්ව පොළඹවනා ආකාරයක් පෙනෙන්නට තිබුණි.
ජොං මින් යෑන් ගේ මුහුණ ලැජ්ජාවෙන් සහ කෝපයෙන් රතුවී ගියේ කුඩා දැරියක් විසින් තමාට ආහාර සපයන තැනකට තමා පහත් වී තිබීම පිළිබඳව සිහිවීමෙනි. ඊටත් වඩා කණගාටුවට කාරණය නම්, ආහාර වල සුවඳට ඔහු මහත් සෙයින් ආකර්ෂණය වී තමාව පාලනය කරගත නොහැකිව බත් පිඬ ගිල දැමීමට මුව අයාගෙන සිටීමයි.
"ම්ම්ම්, රසවත්."
නමුත් ගැටලුව එය නොවේ!
ෂුවැන්ජි කෙරෙහි වූ තම කෝපය නිවා දමමින් දරුණු ලෙස ඈ දෙස බලා සිටි මින් යෑන් ඔවුන් කෙරෙහි අමනාපයකින් මෙන් දරුණු ලෙස තම බත් පත ගිල දමන්නට විය.
"එය හොඳයිද?" ෂුවැන්ජි කෙතරම් උදාසීනද යත් ඇය මින් යෑන් ගේ ඉතා දරුණු බැල්මවත් නොදැක්කා සේ ඇසුවාය.
ඈව නොසලකා හැරි ජොං මින් යෑන් තම මුව ආහාර වලින් පුරවා ගෙන ඒවා හපමින් සිටියේය. ආහාර වල සිත් ප්‍රමෝද කිරීමේ හැකියාව අති විශිෂ්ටයි. සත්‍ය වශයෙන්ම මෙම තරුණිය දැන් මුදු මොළොක් සහ හුරතල් බව ඔහුට හැඟුණි, ඒ ඇගේ කුසගිනි නිවී තෘප්තිමත්ව සිටින නිසා විය යුතුය.
ඇගේ සුපැහැදිලි මුහුණ මත වක්‍ර සෙවනැලි ද්විත්වයක් තබමින් කුඩා විදුලි පංකා දෙකක් මෙන් වූ සිහින් සහ ඝන ඇසි පිය ඉතා දිගු බව ඔහුට පෙනී ගියේය.ඇගේ ඇහි බැම අඩ සඳක් මෙන් වක්‍රව ඇති අතර එය විවෘත මනසක් ඇති අයකුගේ ඇහි බැමක හැඩය බව පැවසේ. එය සත්‍යක්, ඇයට මෙලොව කරදර වීමට තරම් කිසිවක් නැත, සෑම විටම කිසිවකට අවධානය යොමු නොකරයි.
ෂුවැන්ජි සහ ලින්ග් ලොං නිවුන් සහෝදරියන්. ඔවුන් පෙනුමෙන් එක හා සමානයි, නමුත් ලින්ග් ලොං, ෂුවැන්ජිට වඩා දීප්‍තිමත් සහ ප්‍රියමනාප තැනැත්තියක්. ඔහුට පෙරදී ෂුවැන්ජි පිළිබඳව කිසිම හැඟීමක් තිබුණේ නැත. තම අනෙකුත් සහෝදරයන් එක් දිනක නිකායෙහි සහෝදරියන් පිළිබඳව අදහස් දක්වනු ඔහුට ඇසුණේ නැතිනම්, ඇය පිළිබඳව ඔහුගේ දැනුම ශුන්‍ය වනු ඇත.
එම සහෝදරයන් පැවසූ ආකාරයට ලින්ග් ලොං රෝස මලක් වැනිය, දීප්තිමත් සහ ආකර්ෂණීය බවින් ඉහළය, ඇය තවත් වැඩෙන විට අතිශය රූමත් වනු ඇත.
මීළඟට ඔවුන් කතා බහ කළේ ප්‍රසිද්ධ සුරූපිනියන් කිහිපදෙනෙකු පිළිබඳවය. අවසානයේ, ෂුවැන්ජි පිළිබඳව කතා කළ තැනැත්තා කවුරුන්ද යන්න දන්නේ නැත, ඔහු පවසා සිටියේ, " එයයි අලංකාරය, එවැනි විශිෂ්ට පෞරුෂයක් ඇති, මට විශ්වාසයි අපට එය තව වසර දෙකකට පසුව දැක බලා ගැනීමට හැකි වේවි. ඔබලා පැවසූ කිසිම කරුනක් විශිෂ්ට යැයි කිව නොහැකි නමුත්, සැබෑ සුන්දරත්වය විශිෂ්ට බව ඔබ දැන ගත යුතුයි. ලින්ග් ලොං සහෝදරිය රෝස මලක්, ෂුවැන්ජි සහෝදරිය චමත්කාරය නිපදවීමට ප්‍රවේශමෙන් අත්හදා බැලිය යුතු කදාමිණ කන්‍යාවියක්."
කදාමිණ කන්‍යාවියක්!
ඇගේ සුපැහැදිලි කම්මුල් දුටු විට එම නාමය ඇයට සුදුසුම නාමය බව පළමු වතාවට ජොං මින් යෑන් හට හැඟී ගියේය. සත්‍ය වශයෙන්ම, ඇගේ අලසබව සහ කෙලිලොන් ස්වභාවය වෙනස් කළ හැකි නම් මහත් අගනේය.
අවසන් බත් පිඬ මින් යෑන් ගේ මුවට දැමූ ෂුවැන්ජි හට හදිසියේම දක්නට ලැබුණේ ඔහුගේ මුහුණ ලේ බිඳුවක් මෙන් රත් පැහැ ගැන්වී ඇති ආකාරයයි, එම නිසා ඇය ඔහුගෙන් මෙසේ විමසුවාය, " ඔබට අසනීප ගතියක් දැනෙනවාද? උණ රෝගය වගේද? මම පියාණන්ට පවසන්නම් ඉහලට පැමිණිලා ඔබව පරීක්ෂා කරන්න කියලා!"
ආහාර බඳුන තැබූ ඈ පහළ මාලයට පිටව යන්නට සූදානම් වූයේ උපකාරයක් අපේක්ෂාවෙනි, නමුත් මින් යෑන් ඇගේ අතගින් ඇද වහාම, "එපා!" යනුවෙන් පැවසුවේය.
ඔහුගේ දෑත් පෑස්සූ යකඩ මෙන් උණුසුම් වූ අතර , කම්පනයට පත් වූ ෂුවැන්ජි ඔහු වෙත හිස් බැල්මක් හෙළීය.
ජොං මින් යෑන් ක්ෂණිකව අත පිටුපසට ගෙන තම හිස ආවරණය කරගනිමින් නින්දට ගියේ, "මම හොඳින්, පහළට ගොස් ඇදුරුතුමාට මා පිළිබඳව කරදර වීමට ඉඩ හරින්න එපා." යැයි පවසුවේය.
ඔහුගේ මනෝභාවයන් වෙනස් කිරීමේ ස්වභාවය පිළිබදව දැන සිටි ෂුවැන්ජි, කිසිවක් නොපවසාම පහත මාලයට යාමට පෙර ඉටිපන්දම් ආලෝකමත් කලාය.
නිසැකවම, මීළඟ දිනයේදී, ජොං මින් යෑන් කිසිවක් සිදු නොවූ ආකරයට, පෙරටත් වඩා දැඩි ලෙස ඈ හට සලකන්නට වූවාය, ෂිඒ ලෙයිගේ පැමිණීම නොවන්නට ඔහු ඈ හට ආචාර කරන්නේවත් නැත.
මින් යෑන්, ෆූයූ දිවයිනේ ප්‍රධානීතුමා නැවතත් තමාට එරෙහිව මකර චිත්ත සම්භ්‍රමය භාවිතා කරාවියැයි බියෙන් සිටිනා බව සිතූ ෂුවැන්ජි එය බරපතල ලෙස සැලකුවේ නැත. චූ යිං හොං ලූතායී කඳුකරයේ අසුරයන්ගේ සිද්ධිය පිළිබඳව කතා බහ කරමින් සිටි අතර ෂුවැන්ජිගේ සම්පූර්ණ අවධානය ඒ දෙසට යොමුවී තිබුණි.
"මේ දින දෙක තුලදී පමණක්, ලූතායි කඳුකරයේදී පුද්ගලයින් පස් දෙනෙක් ආහාරයට ගෙන. මම හිතන්නේ නැහැ ඒ අසුරයන් දෙදෙනා එතරම් බලවත් කියලා." චූ යිං හොං අද දින උදෑසන ලැබුනු මේසය මත වූ තොරතුරු බෙදා හරින විට වැඩිහිටියන් තිදෙනාගේ මුව ගොළු විය.
වැඩිහිටියන් තිදෙනාම නිහඬය. බොහෝ වේලාවකට පසුව දොං ෆං චිංචි තම හඬ අවදි කළේය, "අප එහි ඉක්මනින් යා යුතුයි, එසේ නොවුණහොත් තවත් බොහෝ පුද්ගලයන් ප්‍රමාණයක් ආහාර බවට පත් වේවි."
සුසුම්ළූ ෂිඒ ලෙයි, "මම හිතන්නේ නැහැ අපට ජංතායි කඳුකරය වෙත යා හැකිවෙයි කියලා, අපි බස්නාහිර දෙස ලූතායි කඳුකරය දෙසට පිටත් වෙමු. යිං හොං... ඔබට මීළඟ වතාවේදී ඔබේ නැන්දනිය වෙත යා හැකියි." යැයි පවසා සිටියේය.
චූ යිං හොං එයට හිස සලමින් එකඟ වූවාය, " එය නිවැරදියි, අසුරයන් තුරන් කිරීමයි වැදගත්."
ඉන්පසුව ශ්‍රම බෙදීම පිළිබඳව සාකච්ඡා කල ඔවුන් උදෑසන ආහාරය රැගෙන පිටත්ව යාමට සූදානම් වන විට, නීල වර්න වස්ත්‍ර හැඳි ආගන්තුකයන් පිරිසක් තානයමෙහි දොරකඩින් සෙමෙන් සෙමෙන් ඇතුළට යන ආකාරය දුටුවහ. අසුර වෙස් මුහුණු පැළඳ සිටි ඔවුන් ලී ස' මාළිගයෙන් විය.
එම වස්ත්‍රයන් දුටු ෂුවැන්ජි හට දැණුනේ ඈ මීට පෙර ඒවා කොහෙදී හෝ දැක ඇති බවයි.
ලී ස' මාළිගයේ පිරිස හමුවීම අපේක්ෂා නොකළ සියළු දෙනා මහත් විමතියට පත්ව සිටියහ. කෙසේ වෙතත්, ආහන්තුකයින් ඇතුළු වූ වහාම, සේවකයින් කොනෙහි වූ මේස සහ අසුන් තම අතෙහි වූ තුවා වලින් පිස දමා ශ්වේත වර්ණ පෝසිලේන් තේ පැන් කට්ටලයක්, නීල වංශ වයින් කට්ටලයක්, ශ්වේත වර්ණ ජේඩ් භාජන දෙකක් සහ රිදී චොප්ස්ටික්ස් යුගලක් මේසය මතින් තැබීය. මෙම අසාමාන්‍ය හැසිරීම එහි සිටි සියලු දෙනාම ඔවුන් කෙරෙහි අවධානය යොමු කරවීමට සමත් විය, නමුත් ඔවුන් එය ගණනකට ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.
මද වේලාවකට පසු, යම් අයෙක්, " මාලිගයේ උප ප්‍රධානී තුමා මෙහි පැමිණිලා." යැයි පැවසීය.
ඔවුන්ට දැකගැනීමට හැකි වූයේ නීල වර්ණ වස්ත්‍ර හැඳ සිටි පුදගලයින් සිව් දෙනෙක් දොරටුවෙන් පිටත උණ බම්බු වලින් සැදූ සුවපහසු අසුනක් මත වූ පුද්ගලයෙක්ව රැගෙන එන ආකාරයයි. ඔහු සිහින් සිරුරක් සහ දිගු කේශ කලාපයක් හිමි අයෙක් විය. ඒ ලී ස' මාලිගයේ උප ප්‍රධානී තුමා, තානායමේ වූ පිරිසට අසුරයන් අල්ලාගන්නා ලෙස ෂාඕයැන්ග් හිදී උපදෙස් ලබා දුන්නේ ඔහුයි.
ඔහුට ආචාර කිරීමට යාමට සැරසෙත්ම පිරිසට දැක ගැනීමට හැකි වූයේ නීල වර්ණ වස්ත්‍රයෙන් හැඩ වූ දරුවන් දෙදෙනෙක් ඔවුන් දෙසට එන ආකාරයයි, " චූ ප්‍රධානී තුමා, දොං ෆං ප්‍රධානීතුමා, චූ යිං හොං මැතිණිය, ජොං ෂියාඕ ෂියාඕ, චූ මෙනවිය. උප ප්‍රධානීතුමා ඔබ සියළුදෙනාට කතා කිරීමට කැමතියි."
අණදෙන ආකාරයකට ඔවුන් පස් දෙනාටම ආරාධනා කර තිබුණි.
පිරිස දරුවන් දෙදෙනා පසුපසින් ගමන් කළ අතර උප ප්‍රධානී තුමා ඒ වන විටත් මේසය අසල ඔවුන් එන තුරු බලා සිටියේය. ඔවුන්ගේ පැමිණීම දැක, තම දෑත් නවා සිනාසුණු ඔහු, " මම අශිෂ්ටයි. ඔබ සැම මෙහි දී මුණගැසේ යැයි මම බලාපොරොත්තු වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ නිහඬව ආපසු යන්න." යැයි පැවසුවේය.
ෂිඒ ලෙයි ඔහුට ආචාර කරමින් මෙසේ විමසීය, " උප ප්‍රධානීතුමාට හදිසි යමක් සිදු කිරීමට තිබෙනවා වගේ?"
උප ප්‍රධානීතුමා සුසුමක් හෙළා එයට පිළිතුරු ලබා දුණි, "හරි නම්, මම පුෂ්ප පළඳනා තරඟාවලිය සම්බන්ධව ෂාඕයැන්ග් නිකායට සහය ලබා දිය යුතුයි, නමුත් මට ඊයේ දිනයේදී මාළිගාවෙන් හදිසි පණිවිඩයක් ලැබුණා, දැන් මට පෞද්ගලික කාරණා කිහිපයක් පිළිබඳව කටයුතු කිරීමට එහි යා යුතුව තිබෙනවා. මාලිගය දැනටත් ඔබේ බිරිඳගෙන් මේ පිළිබඳව සමාව ඉල්ලා තිබෙනවා, එම නිසා මම සිතනවා ඔබ ඒ පිළිබඳව තකන්නේ නැතිවෙයි කියලා. මාලිගයේ කාර්‍යයන් අවසන් වූ වහාම ප්‍රමාදයකින් තොරව පිරිස නැවත ෂාඕයැන්ග් කඳුකරය වෙත පැමිණේවි."
සැමදෙනාම, "එයට කමක් නැහැ, මාලිගයේ කාර්‍යයන් වැදගත්. " යැයි පැවසූහ.
ඔවුන් හාස්‍යයෙන් පිරි කතා බහ හුවමාරු කරගන්නා අතරවාරයේදී උප ප්‍රධානීතුමා උත්සාහ කළේ සියළු දෙනාවම තමා සමග මත්පැන් පානයට රඳවා තබා ගැනීමටයි. නමුත් අහසෙහි වර්ණය දුටු චූ යිං හොං නැගී සිට සිනාමුසු මුහුණින් මෙසේ පැවසුවාය, "අප ලූතායි කඳුකරයේ අසුරයන් විනාශ කිරීමට ඉක්මනින් පිටත් වීමට සිටියේ, එම නිසා මම හිතනවා උප ප්‍රධානීතුමා සමග විනෝද වීමට එකතුවීමට අපට නොහැකි වෙයි කියලා. ඉදිරියේදී එන පුෂ්ප පළඳනා තරඟාවලියේදී, අපි අනිවාර්‍යයෙන් ඔබතුමා සමග වයින් පානය කරනවා."
එය ඇසීමෙන් අනතුරුව උප ප්‍රධානීතුමා ඔවුන්ට එහි රැඳී සිටීමට බලපෑම් නොකළ අතර සිනාමුසු මිහුණින්, "හොඳයි! මාළිගය සම්බන්ධ වැදගත් කාරණය නොවන්නට මටත් ඔබලා හා සම්බන්ධ වෙන්න තිබුණා. අපි මෙසේ කරමු. අපේ යූ ස' ෆං අසුරයන් දමනයෙහි වඩාත් දක්ෂයි. ඔබලා ඔහුව රැගෙන යන්න, එය පුෂ්පයන් නෙළිම තවත් පහසු කරාවි. ඔබලාව මන්දගාමී කිරීමට මට අවශ්‍ය නැහැ."
ෂිඒ ලෙයි හට එය ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වුවත්, උප ප්‍රධානීතුමා සෑමවිටම කෝපයෙන් සිටින අයෙක් නිසා ඔහුගේ යහපත් චේතනාවන් ප්‍රතික්ෂේප කලහොත් එය අමනෝඥ ක්‍රියාවක් වන බව ඔහුට සිතුණි, එම නිසා ඔහු එකඟ විය.
උප ප්‍රධානීතුමා අත්පොලසන් දී, "ස' ෆං, ඔබ චූ ප්‍රධානීතුමා සහ අනෙක් අය සමග අසුරයන් ඇල්ලීමට සහභාගී වන්න. එයින් පසුව, ඔබට ඍජුවම ෂාඕයැන්ග් කඳුකරය වෙත යා හැකියි, මාළිගයට පැමිණීමට අවශ්‍ය නැහැ." යනුවෙන් පැවසීය.
එලෙස පවසත්ම, සිහින් සිරුරක් ඇති නීල වර්ණ වස්ත්‍ර හැඳගත් තරුණයෙක් කොහිදෝ සිට පැමිණ උප ප්‍රධානී තුමා ඉදිරියේ දණ නවා, "එසේයි." පවසා ඔහුගේ අණ පිළිගත්තේය.
ඒ නමෙහි හුරු පුරුදු බවක් ෂුවැන්ජි හට දැනුණි. ස' ෆං... ස' ෆං... මම මේ නම හරියටම කොහේදිද මීට පෙර අසා තිබෙන්නේ? ඇය මහත් අපහසුවෙන් එය මතකයට නගා ගැනීමට උත්සාහ කළාය, නමුත් හදිසියේම ඇගේ නෙත ගැටුනේ තම පියාට ආචාර කරනා තරුණයෙකි, ඔහුගේ මුහුණ අසුර වෙස්මුහුණකින් වැසී තිබුණු අතර රන් වන් පැහැ සම් බෑගයක් ද ඉනෙහි පැළඳ සිටි පුෂ්පයක්ද ඇයට දක්නට ලැබුණි. ඔහුගේ හැඩරුව මතකය නැගුණු ඈ හට ඔහු වෙත ඇඟිල්ල දිගු කිරීම නවතා ගත නොහැකි විය, "ඒ ඔබ!"
උප ප්‍රධානීතුමා සිනාසුණි, "චූ මෙනවිය මේ අයහපත් තැනැත්තාව හඳුනනවාද? ඔහු ඔබව මීට පෙරදී තරහ ගන්වන්න ඇති. මේ නීචයා ට තියන්නේ පුදුමාකර තරහවක්, එම නිසා මෙනවිය ඔහු පිළිබඳව සිතන්න එපා."
ෂුවැන්ජි තම හිස සොලවා, "නැහැ, කොහෙත්ම නැහැ..." යනුවෙන් පැවසුවාය.
ස' ෆං ඇයට මදක් ආචාර කර හිස වැනුවා මිසක කිසිවක් පැවසුවේ නැත. ඔහුගේ දැඩි සහ විනීත පෙනුම පසුගිය වතාව වඩා කෙතරම් වෙනස්ද යත් ෂුවැන්ජි හට සිතුණේ ඇය වැරදි පුද්ගලයෙකු තම මතකයේ තබා ගත් බවකි.
උප ප්‍රධානීතුමා සමග තවත් මද අචාරශීලී කතා බහකින් අනතුරුව සියළු දෙනාම තානයමෙන් පිටවී අසිපත් රැගෙන ලූතායි කඳුකරය දෙසට පියාසර කරන්නට වූහ.
Comments
Post a Comment