8) දියකිඳුරා

 ඔබට ලූතායි කඳුකරය වෙත පිවිසීමට අවැසි නම්, ඔබ පළමුව ලූතායි නගරය වෙත යා යුතුය. මෙය බොහෝ සංචාරකයන් සහ වෙළෙන්දන් අතර හුවමාරු වන ප්‍රසිද්ධ කියමනකි.

ලූතායි නගරය එහි කඩතොළු සහිත පාෂාණමය භූ දර්ශනය සඳහා පමණක්ම නොව, එහි නිෂ්පාදිත උසස් ප්‍රමිතියෙන් යුත් වයින් සහ ඇම්බර් පළතුරු වලටද මහත් ප්‍රසිද්ධියක් උසුලයි.

පවසන ආකාරයට නම් එහි වයින් නිෂ්පාදනය කරන්නේ ලූතායි කඳු පාමුල පමණක් දක්නට ලැබෙන පලතුරු වර්ගයකිනි. මුද්‍රා තැබූ වයින් බඳුන වසර කිහිපයක් සුරාගාරයක තැබීමෙන් අනතුරුව, එහි පෙණ ඉවත් කර ඔප දැමූ බඳුනකට වත් කරයි. වයින් වල වර්ණය ඇම්බර් වල පැහැයට සමානය, දීප්තිමත් තද කහ වර්ණයකි, එමෙන්ම කර්කශ පළතුරු සුවඳක් උසුලයි, එම නිසා පැරැන්නන් එය ප්‍රසිද්ධිය උදෙසාම ඇම්බර් වයින් ලෙස නම් කර ඇත.

කණ්ඩායම ලූතායි නගරයට පිවිසෙන විට දහවල පසුවී තිබුණි,  වීදිවල සිටියේද දෙතුන් දෙනෙකු පමණි, අතීතයේ පැවති සමෘද්ධිමත් දර්ශනයට වඩා බෙහෙවින්ම වෙනස් ය. ඊට හේතුව අසුරයන් විසින් මනුෂ්‍යයින්ව ආහාරයට ගැනීම හේතුවෙන් ඔවුන් බියෙන් ජීවත් වීම  යැයි ඔවුන් අනුමාන කළහ. පසුගිය කාලයේ වූ මුදල් හිඟකම හේතුවෙන් පදික වෙළෙන්දන් පවා වූයේ දුක්මුසු මුහුණෙනි.

වට පිට බැලූ ෂිඒ ලෙයි දොම්නස් සහගත දර්ශනය දැක සුසුම්ලන්නට විය, "අසුරයන් ගැටළු ඇති කරනවා, සාමාන්‍ය ජනතාවට සාමයෙන් යුතුව ජීවත් විය නොහැකියි."

ඔහුගේ පිටට තට්ටු කළ දොං ෆං චිංචි, "චූ සහෝදරයා, මුහුණ හකුලාගෙන කරදර වෙන්නේ ඇයි, අපි අද මෙතනට පැමිණිලා සිටින්නේ අසුරයන් තුරන් කිරීමට නොවේද?" යැයි විමසුවේය.

ඔවුන්ගේ කතා බහ අතරතුරේදී ඒ වන විටත් චූ යිං හොං පදික වෙලෙන්දෙකු මාර්ගයෙන් තොරතුරු රැස් කරගෙන සිනාමුසු මුහුණෙන් නැවත පැමිනෙමින් සිටියාය, "අයියණ්ඩි, කරදර වෙන්න එපා. මම එහායින් සිටින බාල සහෝදරයෙක්ගෙන් විමසුවා, ඔහු පැවසුවේ අසුරයින් දෙදෙනා සාමාන්‍යයෙන් රාත්‍රියේ දර්ශනය වන බව, දිවා කාලයේදී මිනිසුන්ට පහරදෙන්නේ කලාතුරකින්ලු. අපි ගිමන් හැරීමට තානායමක් සොයා ගෙන, රාත්‍රියේදී කඳුකරය වෙත යමු."

පිරිස හිස සලා ඊට එකඟත්වය දැක්වූහ. සියළු දෙනාම ඉදිරියට ඇදෙද්දී, ෂුවැන්ජි තවමත් සුළු ආහාර වෙළඳසැලක් අසල සිටිනු ජොං මින් යෑන් හට දැකගත හැකි විය, ඔහු ඇයව තල්ලු කර, "විකාර කරන්න එපා, අපි යමු." යැයි රහසින් පැවසුවේය.

"ඔහ්," යැයි ෂුවැන්ජි පැවසුවද කිසිදු ඉක්මන් බවක් ඇගෙන් පෙනෙන්නට තිබුණේ නැත. තම පසුම්බියෙන් තඹ කාසියක් ගත් ඈ, බඳුනෙහි තැම්බූ කේක් පෙන්වා, "ලොක්කා, මට මේවායින් දෙකක් දෙන්න." යැයි පවසීය.

නළල රැලි කරගත් ජොං මින් යෑන් ප්‍රශ්න කරන්නට විය, "ඇයි ඔබ මේ තැම්බූ කේක් ආහාරයට ගන්නේ? අපි තානායමේදී ආහර ගන්නවා! ඔබට පමණයි මේවා අවශ්‍ය!"

ෂුවැන්ජි තැම්බූ කේක් එක සහිත කඩදාසි බෑගය අතැතිව, ඉන් මදක් මුවට ගෙන රස්නය හේතුවෙන් කෙළ ගසන්නට වූවාය, "ආහාර වේලක් ගැනීම සහ සුළු ආහාර  ගැනීම කියන්නේ දෙකක්."

ඈ සමග බොහෝ සෙයින් උරණ වූ ජොං මින් යෑන් සතුව පැවසීමට කිසිවක් නොවීය, ඔහුට කළ හැකි වූයේ තම දෑස් හැකිළීම පමණි.

උණුසුම් වූ තැම්බූ කේක් ගෙඩිය පිඹමින් නිවා දමන්නට වූ ෂුවැන්ජිගේ නෙත ගැටුණේ ඈට ඉදිරියෙන් යන යූ ස' ෆං විටින් විට හැරි තමා දෙස බලනා ආකාරයයි, වෙස් මුහුණ තුලින් වුවත් ඔහුගේ දෑස් වල ඇති අකාරුණික බව පැහැදිලිව දැනෙන්නට විය. ඔහුටත් තැම්බූ කේක් අවශ්‍ය යැයි සිතා ෂුවැන්ජි තම අත වූ කේක් කැබැල්ල ඉහලට එසවීය, නමුත් ඈ දෙස පිලිකුල් බල්මක් හෙළූ ඔහු, නිහඬම වේගය අඩු කර නැවත ෂුවැන්ජිගේ දෙසට පැමිණ,"දුෂ්ට ගැහැණිය, ඌරෙක් වගේ කනවා." යැයි ඇගේ කනට කොඳුරන්නට විය.

කිසිදු හේතුවක් නැතිව ඇය නැවත වතාවක් දෝෂාරෝපණයට ලක් වූවාය, අවාසනාවකට මෙන් ඇගේ මුව තැම්බූ කේක් වලින් පිරී තිබූ නිසා ඇයට කතා කිරීමට නොහැකි විය, එම නිසා ඇය ඔහු දෙස නැවත බලන්නට වූයේ හිස් බැල්මකිනි.

ක්ෂණයෙන් ඔහුගේ මනෝභාවයන් යහපත් අතට හැරුණු බවක් පෙන්නුම් කෙරුණි, සැහැල්ලුවෙන් සිනාසෙමින්, ෂිඒ ලෙයිව අල්ලා ගැනීමට ඔහු පය ඉක්මන් කරන්නට විය, ඔහුගේ අත අල්ලාගත් යූ ස' ෆං මෙසේ පැවසුවේය, " චූ ප්‍රධානීතුමා, මම බොහෝ දක්ෂ අයෙක් නොවේ, නමුත් මම ලූතායි නගරයේ කාලයක් තිස්සේ ජීවත් වුණා, ඔබට ප්‍රශ්නයක් නැතිනම් මේ කණිෂ්ටයා, ජ්‍යේෂ්ඨයින්ට මාර්ගය පෙන්වීමට සූදානම්."

චූ ලෙයි පිළිතුරු ලබා දීමට පෙර, ඔහුට එහා පසින් ගමන් කළ චූ යිං හොං සිනාසුණි: "එසේ නම් අපි එය ඔබට භාර කරනවා, ඔබේ නම..."

"කණිෂ්ඨ යූ ස' ෆං."

"හොඳයි, ස' ෆං." ඇය පැවසීය, "එසේ නම් අපිව නගරයේ විශිෂ්ටම අවන්හල වෙත රැගෙන යන්න. අපි සුප්‍රසිද්ධ ඇම්බර් පළතුරේ රස බලමු."

"එසේයි, ජ්‍යේෂ්ඨයිනි, කරුණාකර මාව අනුගමනය කරන්න."

හහ්? අපි තානායමට යන්නේ නැතිද? තැම්බූ කේක් අවසන් කිරීමට සමත් වූ ෂුවැන්ජි හට අවබෝධ වූයේ ඔවුන් සියළු දෙනා කහ පැහැති ධජයක් සහිත අවන්හලකට ඇතුළු වූ බවයි. ඇගේ සිහිමඳ ගතිය දුටු ජොං මින් යෑන් ඇතුළතින් සුසුම්ලන්නට විය. ගමන අතරතුරේදී කුඩා නැගණියගේ ආරාක්ෂාව පිළිබඳව වග කියනා බවට තම ඇදුරුතුමාට වූ පොරොන්දුව සිහියට නගා ගත් ඔහුට පැවසීමට ඉතිරිව තිබුණේ, "ඔබට ලින්ග් ලොං හට මෙන් අඩක දක්ෂතාවයක්වත් තිබුණේ නම්, ඔබව බලා ගැනීමට මට මෙතරම් වෙහෙස වීමට සිදුවන්නේ නැහැ." යන්න පමණි.

ෂුවැන්ජි මද සිනහවක් පෑවා මිස කිසිවක් පැවසුවේ නැත.

පිටත මෙන් නිස්කලංක වාතාවරණයක් ඇතැයි සිතමින් ඇතුළු වූ සියලු දෙනාම මවිතයට පත් කරමින් අවන්හල පාරිභෝගිකයන් ගෙන් පිරී තිබුණු අතර මිනිසුන්ගේ ඇතුල්වීම් සහ පිටවීම් හමුවේ එහි සජීවී බවක් ගැබ්වී තිබුණි.

අවන්හල් සේවකයෙකු සමග පිළිසඳරෙහි යෙදුණු යූ ස' ෆං සියළු දෙනාවම රැගෙන දෙවන මාලයට ගියේය. ඉක්මනින්ම පහත මාලයට ගිය ඔහු නගරයෙහි දඩයක්කරුවෙකු වූ මැදි වියෙහි මිනිසෙක් කැඳවාගෙන ආවේ පැමිණ ඇති පිරිස අසුරයින්ගෙන් නගරය මුදා ගැනීමට මෙහි සිටින බව පවසමිනි. ඔවුන් අසුරයන් තුරන් කිරීමට පැමිණි බව ශ්‍රවණය වීමෙන් පසු කන්ද තරණය කරනා මාර්ගය පෙන්වීමට ඔහු එකඟ විය.

"මේ වැන්ග් මාමණ්ඩි, ඔහු වසර දහයකටත් වඩා නගරයේ සිටින දඩයක්කරුවෙක්. ඔහු තම දෑසින්ම අසුරයින් දැක තිබෙනවා, වගේම පසුගිය ඝාතන කිහිපය වන විට එහි සිට තිබෙනවා, එය අපිට උපකාරයක් වේවි."

යූ ස' ෆං කතාව අවසන් කර දඩයක්කරු දෙසට හැරී ඔහු යමක් පැවසීමට පෙර තම හිස සැලුවේය, "කෙසේ වෙතත්, කිසිවෙක් අසුරයන් මරා දැමීම පිළිබඳව මේ දිනවල කතා වන්නේ නැහැ. පසුගිය වතාවන් කිහිපයම ඉතාම ඝෝෂාකාරී, සියළු දෙනා කනගාටුවට පත් කරමින් මිනිසුන් බොහෝ ප්‍රමාණයක් මරණයට පත් වුණා. දඩයක්කරුවන් වන අපිට තවමත් දිවා කාලයේදී කඳුකරය වෙත පිවිසිය හැකියි, නමුත් ඒ පෙදෙස පසුකර යන වෙළෙන්දන්ට යා හැකි වෙනත් මාර්ගයක් නොමැති නිසා ඔවුන් කණස්සල්ලෙන්. තනි වෙළෙන්දෙක් ඇරලවීමට කණ්ඩායම් දුසිම් ගණනක් යා යුතුයි, එසේඑ නොවුණහොත් ඔවුන් රකුසාගේ මුඛයට යෑමක් සිදුවන්නේ. නගරයේ සිටින බොහෝ දෙනෙක්ට තම ගම්බිම් බලා යෑමට නොහැකියි,  සලාක ඉක්මනින්  අවසන් වී මිනිසුන් මරණයට පත් වේවි."

චූ යිං හොං ඊට සැහැල්ලුවෙන් මෙසේ පිළිතුරු ලබා දුන්නාය, " බය වෙන්න එපා, අපි මෙහි පැමිණියේ අසුරයින් තුරන් කර නගරයට සාමය උදා කිරීමට, මෙය විශාල ගැටළුවක්, අපට ඔබගේ උපදෙස් අවශ්‍යයි."

"මම නිවට පුද්ගලයෙක්, එම නිසා මම දන්නේ නැහැ ඔබට කුමක් පිළිබඳවද මගෙන් උපදෙස් අවශ්‍ය කියලා. කෙසේ වෙතත්, ඔබ මෙහි පැමිණියේ අසුරයන් තුරන් කර නගර වැසියන්ට උපකාර කිරීමට, එම නිසා මට කළ හැකි යමක් තිබේ නම් පවසන්න, උපචාරනුකූල වෙන්න එපා."

ෂිඒ ලෙයි ඔහුගෙන් මෙසේ විමසුවේය, "ඔබට හැකිද රාත්‍රියේදී අපිට මග පෙන්වීමට, අසුරයන් නිතරම දර්ශනය වන්නේ කොහේද? ඔවුන්ගේ වාසස්ථානය කොහේද?"

"ඔවුන් සාමාන්‍යයෙන් දර්ශනය වන්නේ මධ්‍යම රාත්‍රියේදී, මැදියම් රැය පසුවූ විට ඔවුන් නැවත වාසස්ථාන කරා යනවා. ඔවුන් නිතර ගැවසුණු ස්ථාන කිහිපයක් තියනවා, නමුත් ඒ ස්ථාන සියල්ලම ජලාශ්‍රිත ප්‍රදේශ, එම නිසා ඒ මහළු පක්ෂියා ඉතා බලසම්පන්නයි. ජලය යට සැඟව සිටීමත් ජලය යටට මිනිසුන්ව ඇදගෙනයාමත් නිසා ඌ සුවිශේෂියි, තෙංගු ගේ වාසස්ථානය තියෙන්නේ කඳුකරය පිටුපස, ඒ මහළු නිවටයා බොහෝ නුවණක්කාරයි, ඌ වාසස්ථානය දිනපතා වෙනස් කරනවා."

මෙය ඇසීමෙන් පසු ෂිඒ ලෙයි මදක් කල්පනාවට වැටුණි. චූ යිං හොං තම හඬ අවදි කළාය, " ඔවුන් සොයා ගැනීමට බොහෝ කල් ගතවේයැයි ප්‍රධානීතුමා කනස්සල්ලෙන්ද?"

ඔහු තම හිස සැලීය, "මම කිසිදාක සිතුවේ නෑ ඒ ගු රාජාලියන් මෙතරම් කපටි යැයි කියා, ඔවුන්ගේ දෑස් වලට මම ලුණු වතුරෙන් පහර දුන්නත්, මම දන්නේ නැහැ ඔවුන්ගේ වාසස්ථානය සොයාගෙන ඔවුන්ව තුරන් කළ හැකිවේදැයි කියලා."

චූ යිං හොං සිනාසුණි, "මට අදහසක් තියනවා. ඔවුන් බොහෝ රහසිගතව හැසිරෙන නිසා, ඔවුන්ව සොයාගැනීමට අපිට බොහෝ කාලයක් ගත වේවි, ඉතින් ඇයි අපි ඔවුන්ව ඔවුන් විසින්ම පිටතට නොගන්නේ?"

ඇය අත්පුඩි ගසා එහි නිකරුණේ කාලය ගත කළ දරුවන් තිදෙනා කැඳවා තම අණ ලබා දුන්නාය, "ෂුවැන්ජි,  ගිහින් කළ තුනක්, මී පැණි බඳුනක් සහ ටර්පන්ටයින් පන්දම් තුනක් මිලදී ගන්න. මින් යෑන් සහ ස' ෆං, පිරිමි ළමයින් දෙදෙනා එකතු වී වෙලඳසැලට ගොස් ඔබට හැකි තරම් ලුණු සහ විනාකිරි මිලට ගෙන රාත්‍රියේදී එය කඳුකරයට ගෙන යාමට තරම් නිර්භීත තරුණයන් කිහිප දෙනෙකු සොයා ගන්න."

ඉන් පසු ඇය තම පසුම්බියෙන් මුදල් නෝට්ටු මිටියක් ගෙන එය එකිනෙකා අතර බෙදා දී මෙසේ උපදෙස් දුන්නාය, "මම මෙහි එනවිට මුදල් හුවමාරු කරන්නෙකු දුටුවා, ඉතින් මට අවශ්‍ය ඔබලා මුදල්නෝට්ටු හුවමාරු කරගෙන වෙළඳසැලට ගොස් පැවසූ දෑ මිලදී ගැනීම. මුදල් ගණනය කරලා තියන්නේ, එම නිසා සොරකම් කරන්න එපා!"

ඒ සමග ඈ සිනාසුණි.

ඇගේ ශ්‍රම බෙදීම සහ ආත්මවිශ්වාසය දුටු දොංෆං චිංචි, "චූ වීරවරිය සතුව දක්ෂ සැලසුමක් තියනවා වගේ?" යැයි පුදුමයෙන් පැවසීය.

චූ යිං හොං සිනාසුනි, "එතරම් දක්ෂ නැහැ,මම හිතුවේ තෙංගු කියන්නේ කෑදර කමට බොහෝ ප්‍රසිද්ධ අවතාරයක් නිසා ඌව සොයන්නේ නැතිව, දියේ මස් පුච්චලා සුවඳ දැනෙන්නට හැර මුලා කිරීම සුදුසුයි කියලා. ගු රාජලියා හඹා ගියත් නොගියත් අපිට පළමුව එක් අසුරයෙක් විනාශ කළ හැකියි."

තින්ත සහ තමා සතුවූ මිටියෙන් කඩදාසියක් ගත් ඈ, වැන්ග් ගේ උපදෙස් අනුව සරල සිතියමක් අඳින්නට වූවාය. රාත්‍රියේ ඇම්බර් පානය කරනා අතරතුරේදී ඔවුන් තිදෙනා සැලසුම පිළිබඳව සාකච්ඡා කළහ.

දරුවන් තිදෙනා ඒ වන විටත් පහළ මාලයට ගොස් මුදල් හුවමාරු කරන්නා හමුවී මුදල් මාරු කරගෙන විසිර ගොස් තිබුණි. උදෑසන චූ යිං හොං අණකළ  පරිදි සියල්ල මිලදී ගත් ෂුවැන්ජි ඒවා දෑතින් ඔසවා ගෙන නැවත ආවේ බොහෝ අපහසුවෙනි.

අතරමගදී ඈ හට විශාල පිපිරුම් හඬක්ද යම් අයෙක් කෑ ගසනා හඬක්ද ඇසුණි, "එන්න ඇවිත් බලන්න! ජීවමාන රාක්ෂයෙක්! ඉක්මන් කරන්න,ඉක්මන් කරන්න! ජීවමාන රාක්ෂයෙක්!"

ධ්‍යානවේදී නිකායකින් පැවත එන ෂුවැන්ජි කුඩා කාලයේ සිටම සියළු අසුරයින්ගේ ලැයිස්තුව මතකයේ තබා ගෙන සිටියත්, ඈ මින් පෙර සියැසින් අසුරයෙකු දැක තිබුණේ නැත. පාරේ යන පදිකයින් කිහිපදෙනෙකුත් ඒ දෙසට යොමු වනු දුටු ඈ හට භාණ්ඩ සියල්ලම අත දරාගෙන ඉදිරියට යාමට ඇති ආශාව මැඩලිය නොහැකිව, තම ගෙල දිගු කරමින් සෙනග දෙස බැලීමට උත්සාහ කළාය.

ප්‍රමාණයෙන් කුඩා වූ ඈ හට දැකගත හැකි වූයේ මිනිසෙකුගේ හිසට උඩින් වූ ඔපදැමූ දාරයක් පමණි.  ලෝකඩ කොන් සහිත ජලයෙන් පිරවූ මිනිසෙකු පමණ උස විශාල මත්ස්‍ය ටැංකියකි. ජලය තුල ඇත්තේ කුමක්දැයි ඈ දැන සිටියේ නැත, නමුත් එය උමතුවෙන් මෙන් ආලෝළනය වෙයි, ජලය සෑම තැනකම විසුරුවයි, එය වටා වූ මිනිසුන් වරෙක කෑ ගසති, වරෙක සුසුම්ලති, නමුත් කිසිවෙක් ඒ අසලට යාමට තරම් නිර්භීත වූයේ නැත.

" වාව්, එය සත්‍ය වශයෙන්ම වල්ගයක්... මත්ස්‍යයෙකුගේ වල්ගයක්... ඔහ්, ඒ පිරිමි සත්වයෙක්!"

"ඌ මේ දෙස බලනවා! මේ බලන්න!"

පිරිස එක්වරම කලබල වී පසුපසට ගියහ. ඇය සම්පූර්නයෙන්ම වියවුල් බවට පත්ව සිටියාය, තම දෑත්වල වූ සියල්ල පාහේ අතහැරී තිබුණි, එමෙන්ම ඇය වටා වූ පිරිස ඇයව ඉදිරියට තල්ලු කරන්නාක් මෙන් විය, එම නිසා ඈ එය මගහැරීමට උත්සාහ කළාය, පිටුපසින් පැමිනි හදිසි තල්ලුවත් සමග ඈ අත වූ පැණි බඳුන බිම වැටී ශබ්දයක් නගමින් පිපිරී ගියේය.

"අහ්." ගල් ගැසුණු ඈ කළයුත්තේ කුමක්දැයි කිසිවක් සිතාගත නොහැකිව පොළොව මත වූ පැණී දෙස බලා සිටියාය.

දෙගිඩියාවෙන් සිටි ඈ හට තම හිසට උඩින් විශාල කැලතිලි හඬක් ඇසුනත්, තම හිස ඔසවා ඒ දෙස බැලීමට පෙරම, වීදුරු ටැංකියෙන් පිටතට ආ ජලයෙන් තෙමී යන්නට විය.

අද දිනයේ අවාසනාවන්ත තාරකාවක් ඇගේ හිස උඩින් පියාසර කලාවත්ද?

ෂුවැන්ජි නිහඬවම තම මුහුණෙහි වූ ජල බිඳු පිසදමන්නට වූවත්, තම දෑස් කොනකින් ඇයට දිස් වූයේ තමා අසල වූ වීදුරු ටැංකියේ විශාල ශ්වේත වර්ණ මත්ස්‍යයෙක් නර්තනයේ යෙදෙමින් සිටිනා ආකරයයි.

ඇය පිටුපස හැරී බැලූ විට ඇගේ නෙත ගැටුණේ සුදුමැලි වූ මුහුනකි. ෂුවැන්ජි කෙතරම් කම්පනයට පත් වූවාද කියතොත් තම දෑතෙහි වූ කිසිවක් ඈ හට තව දුරටත් රඳවා ගත නොහැකි වූ අතර සියල්ල මී පැණි මතට වැටුණි.

ටැංකිය තුල දරුණු ලෙස දඟලමින් සිටියේ සත්‍ය වශයෙන්ම මනුෂ්‍යයෙකි.. නැත, සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙකු නොවේ.ඔහුගේ සිරුරේ ඉහළ කොටස සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ මෙන් විය, පුළුල් උරබාහු, සිහින් ඉඟක් සහ ඇල්ගී මෙන් ජලය මත පාවෙන කාල වර්ණ කේශ කලාපයක් ඔහුට හිමිව තිබුණි. සුදුමැලිව ගිය මුහුණ ඔහුගේ දිගු කේශ කලාපය තුල සැගව ගොස් තිබුණි. ඔහුගේ දෑස් තාරකාවක් මෙන් දැවෙන බවක් පෙනෙන්නට විය.

ඉනෙන් පහළට, දිගු මත්ස්‍ය වල්ගයක් විය. එහි කොරපොතු රිදීවන් පැහැ වූ අතර, පෙඳ සැහැල්ලූ වේල් පටක් මෙන් විය, එහි කුඩා චලනයක් පවා ජලය තුළ දිය බුබුලු බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සමත් විය.

හදිසියේම, ඔහු ඇයව දැක සෙමෙන් ඈ වෙතට පිහිනා විත්, වීදුරු ටැංකිය මත දෑත් තබා, තම කේශ කලාපය අතරේ සැඟවුනු දෑස් වලින් නිහඬවම ඈ දෙස බලා සිටියේය.

ඔහු නොනවත්වාම ඈ දෙස එලෙස බලා සිටියේය.

බොහෝ කලක සිට ඇයව හඳුනන්නාක් මෙන්, ඔහු නිහඬව එලෙසම ඈ දෙස බලා සිටින්නට විය. ගණනය කළ නොහැකි තරමේ රහස් සහ වචන දහස් ගණනක් එම බැල්මේ සැඟව තිබුණි.

තුෂ්ණිම්භූත වූ ෂුවැන්ජි ගේ හදවතෙහි හුරුපුරුදු සහ ව්‍යාකූල හැඟීම් ගොන්නක් ඇතිවූ අතර තමා වටා වූ සියල්ල අමතක කර ඈ ඔහු දෙස අසිහියෙන් මෙන් බලා සිටියාය.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)