9) ස'ෆං

 "චූ ෂුවැන්ජි!"

පසුපසින් ඇසුනු ගර්ජනාව හමුවේ ෂුවැන්ජි හට සිහි එලවා ගැනීමට හැකි විය, පිටුපස හැරුණු ඈ හට දැක ගැනීමට හැකි වූයේ දෑත් වල බොහෝ දෑ එල්ලාගෙන, ගෝනි අතැතිව සිටින මිනිසුන් දුසිම් ගනනක් පිරිවරාගෙන සිටින යූ ස' ෆං සහ ජොං මින් යෑන් වය.

"අහ්, ඔබලා... සියලු දේ මිලදී ගත්තාද?"  ඈ විමතියෙන් මෙන් විමසන්නට වූවාය.

බිම වැටී ඇති මී පැණි මෙන්ම භාවිතයට ගත නොහැකි, කළ සහ භාජන දෙස බලා ජොං මින් යෑන් ඇගෙන් ප්‍රශ්න කරන්නට විය, "ඔබ කුමක්ද කරන්නේ?" දෙවියනේ! මං දැනගෙන හිටියා මේ ළදරුවට කිසිවක් හරියාකාරව කරගන්න බැහැ කියලා! ඇය ගැන කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකියි!

ෂුවැන්ජි තම දෑත් දිගු කර සුසුම්ලමින්, "එය මගේ වරදක් නොවේ," යැයි විශ්වාසයෙන් පැවසුවාය.

"ඔබ එවැන්නක් පැවසීමට තරම් නිර්භීත වන්නේ කෙසේද!" ජොං මින් යෑන් කෝපයට පත් විය.

"මම දැන්ම ගිහින් ඒවා නැවත මිලදී ගන්නම්" ඇය පැවසුවාය. ෂුවැන්ජි පිටත්ව යාමට හැරුණත්, ඈව යූ ස' ෆං විසින් නවතා ගත්තේය.

"මෙය...?" ඔහු විශාල වීදුරු ටැංකිය දෙස බැලුවේය, වෙස්මුහුණ තුලින් ඔහුගේ දෑස් දිදුලනු පෙණුනි. බොහෝ වේලාවකට පසුව ඔහු තම දෑත් දිගු කර ටැංකිය මෘදුව ස්පර්ශ කළේය, නමුත් එක් වරම දෂ්ටනයට ලක් වූවාක් මෙන් පිටුපසට ගියේය.

"ඔවුන් පවසන පරිදි මේ අසුරයෙක්... දිගු වරලක් සහිත අසුරයෙක්." ෂුවැන්ජි පැවසුවාය.

එය ඇසුණු ජොං මින් යෑන්, තම හිස හරවා ටැංකිය දෙස බැලූ කල්හි ඔහුට දක්නට ලැබුණේ තම වරලස සලමින් පිහිනන මනුෂ්‍යයෙකි. ඔහු කෙතරම් කම්පනයට පත් වූවාද කියතොත් අතිශයෝක්තියෙන් මෙන් කෑ ගසමින් වහාම පිටුපසට විය, "ඒ සත්‍ය වශයෙන්ම අසුරයෙක්! වරලසක් ඇති අසුරයෙක්!"

යූ ස' ෆං දිගු වේලාවක් තම හිස සොලවමින් මෙසේ මුමුණන්නට විය, " ඒ අසුරයෙක් නෙවෙයි... දියකිඳුරෙක්... දක්ෂිණ මුහුදෙන් ආ දියකිඳුරෙක්."

එය ඇසූ ෂුවැන්ජී ද තම අදහස් පළ කළාය, "මම දියකිඳුරන් පිළිබඳව දන්නවා. පැවසෙන ආකාරයට නම් ඔවුන් රෙදි වියන්නත් ගෙත්තම් කරන්නත් ඉතා දක්ෂයි, පුර පසළොස්වක රාත්‍රියන්හිදී ඔවුන්ගේ ගායනයන් අසන සියල්ලන්ම ඉන් මත් වෙනවා. එලෙසම ඔවුන් හඬනා විට ඔවුන්ගේ කඳුළු මුතු බවට පත් වෙනවා."

ඇය සියල්ල පැවසුවේ ඉතා බැරෑරුම් අයුරිනි. ඇගේ කතාව අවසන් වනවාත් සමගම නැවතත් තමාට ඉදිරිපසින් අත්පොළසන් හඬක් මෙන්ම කවුරුන් හෝ කෑ ගසනා හඬක්ද ශ්‍රවණය වුණි, ඒ සමගම සෙනග සියල්ලම එහි රැස්වන්නට වූහ.

බිමට වැටීමට ආසන්නව සිටි ෂුවැන්ජිගේ අතින් කවුරුන් හෝ අදිනා ආකාරය ඇයට දැණුනි. හිස ඔසවා බැලූ ඈ හට දිස් වූයේ යූ ස' ෆං තමා ඉදිරිපසින් සිටගෙන සිටිනා ආකාරයයි, තම බාහුව දෑතින් අල්ලා ගත් ඔහු ඇසිපිය නොසලාම බලා සිටියේ වීදුරු ටැංකිය දෙසයි, ඔහු සිතන්නේ කුමක්ද යන්න පිළිබඳව ෂුවැන්ජි කල්පනා කරන්නට වූවාය.

අත්පොළසන් දෙමින් අනෙක් අයගේ අවධානය තමා වෙතට ගත් එක් මිනිසෙක් පිරිස ඇමතීමට පටන් ගත්තේය, " ගම් වැසියනි, මිත්‍රවරුනි, අපේ ප්‍රාදේශීය මහේස්ත්‍රාත්තුමාගේ නුවණට පින් සිදුවන්නට, සියළු වීරවරයන් සහ වීරවරියන් රැස් කොට මාසයක් මුළුල්ලේ සටන් වැද අවසානයේ  මනුෂ්‍යයින් ආහාරයට ගන්නා කඳුකරයේ සිටින අසුරයා අල්ලා ගැනීමට හැකිවුණා! මම ප්‍රධානීතුමාගෙන් ඉල්ලාසිටියා මේ අසුරයා මායාමය වීදුරු ටැංකියක සිරකර දින කිහිපයක් ඇතුළත අගනගරය වෙත යොමු කරන ලෙස. ඔබට ඌව විනාශ කිරීමට අවශ්‍ය නම්, ප්‍රමාද වීමට පෙර දැන්ම එය කිරීම සුදුසුයි!"

පිරිස මේ වදන් හමුවේ කලබලයට පත් වූ ස්වභාවයක් තිබුණි. මනුෂ්‍යයන්ව පීඩාවට පත් කරමින් අසුරයින් නිතරම ලූතායි කඳුකරයේ ගැවසුන හෙයින් ඔවුන්ගේ සිත් තුල අසුරයින් පිළිබඳව පැවතියේ දැඩි ක්‍රෝධයකි. අසුරයා අල්ලාගෙන ඇති බව ශ්‍රවණය වූ වහාම එය සත්‍යක්ද නැත්ද යන්න නොවිමසාම සමහරෙක් පොළොවෙන් රැගත් පාෂාණ ටැංකිය දෙසට විසිකරන්නට විය. පහරින් සැඟවීමට උත්සාහ දරමින් එහා මෙහා පිහිනූ දියකිඳුරාව දිස්වූයේ අතිශය අනුකම්පාසහගත ලෙසය.

"හහ්? තෙංගු සහ ගු රාජලියා යන අසුරයන් නෙවෙයිද ඔවුන්ව දඩයම් කළේ, එය දියකිඳුරා විසින් සිදු කළ එකක් නොවේ." දියකිඳුරා  විශාල පාෂාණයකින් ප්‍රහාරයට ලක්වනවාත් සමගම ජලය රත් පැහැ ගැන්වෙනු දුටු ෂුවැන්ජි වික්ෂිප්ත විය, දියකිඳුරාගේ කුමන ප්‍රදේශයට ප්‍රහාරය එල්ල වූවාද යන්න ෂුවැන්ජි දැන සිටියේද නැත. ඇයට එය බලා සිටිය නොහැකි විය.

"ඔහු බිල්ලක් පමණයි." යූ ස' ෆං දැඩිව පැවසුවේය, " අසුරයා හොල්මන් කරන්නේ මේ ප්‍රදේශයේ, ඒ වගේම යාම'න් [1] හට ඉහළ නිළධාරීන් සමග ගනුදෙනු කළ නොහැකියි, ඒ නිසා දැනට ඔවුන්ට සිදුකළ හැක්කේ අහඹු වශයෙන් යකැදුරෙක් සොයාගැනීම පමණයි."

"සැබෑම අසුරයන් පිළිබඳව කුමක්ද පැවසිය හැක්කේ?  අසුරයන් විනාශ කළ බවට ඔබ දැන්වීමක් පළ කළහොත් මිනිසුන් සියළු දෙනා කිසිදු බියකින් තොරව කඳුකරයට යාවි, නමුත් ඔවුන්ව ආහාර බවට පත් වේවි." ජොං මින් යෑන් ද හටද එය අදහාගත නොහැකි විය. ඔවුන් දෙදෙනා දිගු කාලයක් තිස්සේ ජීවත් වූයේ ෂාඕයැන්ග් කඳුමුදුනෙහිය, එමෙන්ම ඔවුන්ගේ අභිප්‍රාය වූයේ අමරණීයත්වය ළඟා කරගැනීම උදෙසා ධ්‍යාන වැඩීමයි, නමුත් ලොවෙහි පවත්නා නීති සහ ගනුදෙනු පිළිබඳව ඔවුන් හට වැඩි දැනුමක් තිබුණේ නැත.

යූ ස' ෆං මෙසේ පැවසුවේය, "ළඟ ඇති ගින්න නිවා දැමීමට ඈතින් ඇති ජලය භාවිතා කළ නොහැකියි.( මේ මොහොතේ වන හදිසි අවශ්‍යතාවයකට කෙතරම් යෝග්‍ය වන විසඳුම් තිබුනත් ඒවා භාවිතා කිරීමට නොහැකි තරම් බොහෝ දුරින් තිබීම යන්න මෙයින් අදහස් වේ.) දැනට ඔවුන්ට සිදුකල හැක්කේ ඉහළින් පැමිණෙන දෝෂාරෝපණ වළක්වා ගැනීමට කටයුතු කිරීමයි, නමුත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් එවිට ඔවුන්ට වෙනත් උපක්‍රමයක් භාවිතා කිරීමට සිදුවේවි."

ජොං මින් යෑන් තම හිස සැලීය. රුධිරයෙන් පිරී ගිය වීදුරු ටැංකියත්, සැඟව සිටීමට උත්සාහ කරනා දියකිඳුරාත් දුටු ජොං මින් යෑන් ශෝකයෙන් සුසුම්ලන්නට වූයේය, " මම හිතනවා අද රාත්‍රියේ අසුරයන් දඩයම් කිරීම සාර්ථක වේවි කියලා."

"මම මෙහි සිටිනා තාක්, එය හොඳින් සිදුවේවි," යූ ස' ෆං ගේ උදාරම් වදන් හමුවේ ජොං මින් යෑන් මහත් හඬින් නාස් පුඩු වලින් සුසුම් පිටකරන්නට විය.

ෂුවැන්ජි ඔහු දෙස දිලිසෙන දෙනෙතින් යුතුව ප්‍රසාදය දක්වන බැල්මක් හෙලා, "ඔබ විශිෂ්ටයි, බොහෝ දේවල් දන්නවා!" යැයි පැවසුවාය.

යූ ස' ෆං කහින්නට විය, ඔහුගේ මුහුණ ලැජ්ජාවෙන් රතුවීද නැත්ද යන්න එම වෙස් මුහුණ හරහා බැලීමෙන් ඔබට පැවසිය නොහැක.

"මම නිකම්... මම සැමවිටම එළිමහනේ සිටින නිසා මිනිසුන් බොහෝමයක් දකිනවා." එහි වූ ලුණු මල්ල දෑතින් ඔසවා ගත් ඔහු, "අපි යමු, අපි පළමුව මී පැණි ටිකක්, පන්දම් සහ අනෙකුත් අවශ්‍ය දෑ රැගෙන අවන්හල වෙත යමු." යැයි පැවසුවේය.

පසුව, තම සළුවෙහි අත සෙලවූ ඔහු පඬු රත් පැහැ පෙත්තක් ගෙන තම ඇඟිලි අතර රුවන්නට විය. කිසිවෙකුගේ අවධානය තමාට යොමු නොවන අවස්ථාවකදී ඔහු එය තම ඇඟිලි වලින් වීදුරු ටැංකිය වෙත දැමුවේය. කෙසේ වෙතත් දියකිඳුරාගේ ජීවිතය හෙට දිනය වන තුරු නොනැසී පවතීද යන්න රඳා පවතින්නේ ඔහුගේ දෛවය මතය.

නිශ්ශබ්දව ආපසු හැරුණු යූ ස' ෆං එම ස්ථානයෙන් පිටත්ව යන්නට විය.

***

ඔවුන් නැවතත් අවන්හල වෙත යන විට ගුවන අඳුරු පැහැයට හැරී තිබුණු අතර රක්ත වර්ණ ආලෝක ධාරාවන් සියළු දෙනාගේ මුහුණු මත ප්‍රතිබිම්බිත වී තිබුණි.

ෂුවැන්ජිගේ තෙත් වුණු හිසකෙස් සහ තවමත් ජල බිඳු බේරෙමින් පවතින සළුව දුටු චූ යිං හොං විමතියට පත් විය," මේ දරුවා, ඔබ මී පැණි මිලදී ගන්න ගංගාවක් වෙතද ගියේ? ඔබ කෙසේද මේ ආකාරයට තෙමුණේ."

ෂුවැන්ජි තම හිස සැලුවාය, " වීදියේදී මම දුටුවා..."

තම වාක්‍ය අවසන් කිරීමට පෙර, යූ ස' ෆං ඈ හට බාධා කළේය: "ඇය වටපිටාව පිළිබඳ අවධානයක් නැතිව ගමන් කරන විටදී භාජන සේදූ ජල ප්‍රහාරයකට ලක් වුණා."

නැහැ! ෂුවැන්ජි ඔහු දෙස විමතියෙන් බලා සිටියාය. ඔහු මුසා පවසනවා!

"ඇය ආත්මයක් නැති අයෙක් හා සමානයි." යූ ස' ෆං කිසිදු වෙනසක් නොදක්වමින් පැවසුවේය.

"ඇය ගමන් කළේ අවසිහියෙන්."

තර්ක කිරීමට පසුබට වූ ෂුවැන්ජි, තම ඇසි පිය සලන්නට වූවාය, නමුත් චූ යිං හොං ඇගේ හිස පිරිමදිමින් සුසුම්ලන්නට විය, "දරුවො, වටපිටාවේ සිදුවන දේවල් පිළිබඳව පොඩි අවධානයක් හරි යොමුකරන්න. අපි පිටත් වීමට පෙර තානායමක් සොයාගෙන ඇඳුම් මාරු කරගමු."

බොහෝ වේලාවක් නිහඬව සිටි ෂුවැන්ජි අවසානයේ, "ඔහ්" යැයි පවසමින් යූ ස' ෆං ගේ මුසාව නොබිඳලීමට තීරණය කළාය.

ඈ පිටත් වීමට සූදානම් වන විට ඈ සමීපයට පැමිණි යූ ස' ෆං ඇයට මෙසේ කොඳුරන්නට විය, "දියකිඳුරා සම්බන්ධ කිසිවක් ඔවුන්ට පවසන්න එපා."

"ඇයි?" ෂුවැන්ජි මහත් කුතුහලයට පත්ව සිටියාය.

"මේ වැඩිහිටියෝ, ඔවුන් එවැනි දේවල් වලට කැමති නැහැ, ඔවුන් වෙනස්, අපිට ඔහුව මුදා ගැනීමට නොහැකි වේවි." යූ ස' ෆං නැවතත් කොඳුරන්නට වූයේය.

"හහ්? ඔබ අදහස් කළේ ඔබ ඔහුව මුදාගැනීමට යන බවද?"

ඔහු තම හිස සැලුවේය, "මට මගේම ක්‍රම තියනවා, මදක් බලාගෙන ඉන්න."

සිනාසුණු ෂුවැන්ජි ඔහුගේ පැකිලෙන වදන් අනුකරණය කරමින් මෙසේ පැවසුවාය, "හොඳයි,හොඳයි,හොඳයි!"

යූ ස' ෆං ඇගේ හිසට වැලමිටෙන් පහර දුන්නේය, එම පහර හමුවේ මද වේලාවක් යනතුරු ෂුවැන්ජිගේ මුවින් කිසිදු වදනක් පිට නොවුණි. නැවතත් සිනාසුනු ඔහු තම සළුව ගසමින් ආපසු හැරුණේ වැඩිහිටියන් අනුගමනය කරමින් අවන්හලින් පිටවයාමටයි.

එකනෙකාව දැනහැඳිනගැනීම ආරම්භ වූ අවස්ථාවේ මෙන් මොහු පීඩාකාරි අයෙක් නොවන බව වටහා ගත් ෂුවැන්ජි ඔහුව ඇමතුවාය, "ස' ෆං, ඔබේ වයස කීයද?"

ඔහු කෙතරම් තිගැස්සුණේද යත්, පෙරටත් ඔහු කතා කිරීමේදී ගොත ගසන්නට විය, "ඔබ... ඔබ මට කතා කළේ, ඔබ මට කතා කලේ කුමක් කියලාද?!"

ෂුවැන්ජිගේ මුහුණෙහි සිනාවක් ඇඳී ගියේය, "ස' ෆං, ඔබේ නම ස' ෆං නේ? මම එය වැරදියට පැවසුවේ නැහැ."

ගැටළුව එය නොවේ! ඔහුගේ මුව ගොළු විය. මෙසේ පැවසීමට ඔහුට දිනයෙන් භාගයක් පමණ ගත විය, "ඔබ, ඔබ මගෙන් මේ පිළිබඳව විමසන්නේ ඇයි?"

"අපි සගයන් නොවේද? මට විමසන්න නොහැකිද?"

මද වේලාවක් නිහඬව සිටි ඔහු මෙසේ පිළිතුරු ලබා දුන්නේය, "හොඳයි, එසේ නම් ඔබ මුලින්ම පවසන්න."

"මම චූ ෂුවැන්ජි, එකොළොස්වියැතියි," ඇය පැවසුවේ ඉමහත් සතුටකිනි.

"කුඩා දරුවෙක්." ඔහු ඇයට සරදම් කළේය.

"ඔබත් කුඩා දරුවෙක්නේ." ෂුවැන්ජි සිනාසුනි, "ඔබ වැඩිහිටියෙක් නෙවෙයි."

ඔහු මහත් හඬින් තම නාස් පුඩු වලින් සුසුම් පිට කරන්නට විය, "කවුරුන්ද එසේ පැවසුවේ? මම දහතුන්වියැතියි, මම වැඩිහිටියෙක් වෙලා බොහෝ කලක් ගතවෙනවා."

දහතුන් වියැති වුවත්, ඔහු වැඩිහිටියෙකුද නැත්ද යන්න පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැත. තම වැඩිමහල් ශිෂ්‍ය සහෝදරයා දහඅට වියැති බවත්, ජොං මින් යෑන් ද ඔහුට වඩා වැඩිමහල් බවත් ඈ ස' ෆං හට පැවසුවේ නැත.

"ඇයි ඔබ වෙස් මුහුණක් දාගෙන ඉන්නේ, ස' ෆං? එය එපා වෙන්නේ නැත්ද?" ෂුවැන්ජි තම දෑත් වෙස් මුහුණ වෙත යොමු කර එය ස්පර්ශ කිරීමට සැලසුණත්, ස' ෆං දැඩිව ඇගේ අත පසෙකට තල්ලු කර දැමුවේය.

"එය ඔබට අදාල කාරණයක් නෙවෙයි, එය ස්පර්ශ කරන්න එපා."

තමාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනා විට දිගින් දිගටම කතා කිරීම දුෂ්කර යැයි සිතූ ෂුවැන්ජි සන්සුන්ව තම දෑත් ඉවත් කර ගත්තාය.

තම වදන් එතරම් යහපත් නොවන බව ඔහුට සිතෙන්නට ඇත, එබැවින් මොහොතකට නැවතී, "මේ වෙස්මුහුණ කිසිවෙක්ට ස්පර්ශ කළ නොහැකියි, කිසිවෙක්ට ගලවා ඉවත් කිරීමටද නොහැකියි." යැයි පවසා සිටියේය. එමෙන්ම මදක් සිතා බැලීමෙන් අනතුරුව තම කතාවට, "මෙය ලී ස' මාළිගයේ නීතියක්" යන්නද එක් කළේය.

ෂුවැන්ජි තම දෙවුර හකුලන්නට වූවාය, "මම තවම දැකලා නැහැ ඔබේ පෙනුම මොනවගේද කියලා. හදිසියේවත් අනාගතයේදී අපව මාර්ගයකදී හමුවුණොත් ඔබ මාව හඳුනාගනීවි, නමුත් මම ඔබව දන්නේ නෑ, එය කෙතරම් ලැජ්ජාසහගතද?"

ඔහු බොහෝ වේලාවක් යනතුරු කිසිවක් පැවසුවේ නැත, නමුත් ඔහුගේ දෙසවන් ක්‍රමයෙන් රත් පැහැයට හැරුණි. මද වේලාවකට පසුව ඔහු, "මම ඔබව දන්නවා, එපමණයි වැදගත්" යනුවෙන් ඇගේ කනට කොඳුරා සිටියේය.

එයින් අදහස් කළේ කුමක්ද? ෂුවැන්ජි හට කිසිවක් වැටහුණේ නැත.

ඔවුන්ගේ කතාවට නිහඬව සවන් දුන් ජොං මින් යෑන්, "මම අසා ඇති ආකාරයට ලී ස' මාළිගයේ වැසියන්ට තම වෙස් මුහුණ දහ අට වියැති වූ පසු ගලවා ඉවත් කළ හැකියි, නමුත් වැදගත් අවස්ථාවන්හිදී ඔවුන් එය පැළඳිය යුතුයි. එසේ නේද?" යැයි පැවසුවේය.

යූ ස' ෆං ශිතල ලෙස එයට පිළිතුරු ලබාදුණි, "එසේ නම් ඔබ ඒ පිළිබඳව දන්නවා. ඔව් එය සත්‍යක්, එයයි නීතිය. මට ඒ පිළිබඳව තවත් කතා කිරීමට අවශ්‍ය නැහැ."

ස' ෆං කෙතරම් උඩඟුද යන්න දුටු විට ඔහු කෙරෙහි ඇතිවූ පිළිකුල් සහගත හැඟීම වළකා ගැනීමට ජොං මින් යෑන් අසමත් විය. ඔහුගේ පුළුල් දැනුම හේතුවෙන් ඔහුව අගය කලද, තමා තරම් කිසිවක් දන්නා අයෙක් නැති බව හුවා දැක්වීම කෝපය උපදවන කාරණාවක් විය.

ස' ෆං, ෂුවැන්ජි සමග උඩඟු ස්වරයෙන් කතා බහෙහි යෙදීම ශ්‍රවණය වූ වහාම ජොං මින් යෑන් කලබලයට පත් විය. ෂුවැන්ජි යනු සිහි කල්පනාව අවම තැනැත්තියකි. ඇය කිසිවක් තකන්නේ නැත, නමුත් ඔහු එසේ නොවේ! ලී ස' මාලිගයේ අයට ෂාඕයැන්ග්හි අයට වඩා ආඩම්බර ලෙස ක්‍රියා කිරීමට ඔබ ඉඩදෙන්නේ කෙසේද?

"මම කොහොමත් ඒ පිළිබඳව උනන්දු නැහැ!" එසේ පවසා තම හිස හැරවූ ඔහු තවදුරටත් ඔහු හා කතා බහෙහි යෙදීමට කටයුතු කළේ නැත.

ඔහු යූ ස' ෆං ව කෙතරම් දරුණු ලෙස අවහිර කළේද යත් ,ගෙල දැඩි කර ගත් ස' ෆං හට කිසිවක් පවසාගත නොහැකිව ගොළු විය.

ෂුවැන්ජි අසරණව ඔවුන් දෙදෙනා දෙස බලා සිටියාය. කුමක් හෝ පැවසීමට අවශ්‍ය වුවත් පවසන්නේ කුමක්දැයි සිතා ගැනීමට ඇයට අපහසු විය, එම නිසා චූ යිං හොං දෙසට ඇදී ගිය ඈ , රාත්‍රියේ අසුරයන් දඩයම් කිරීමේ මෙහෙයුම පිළිබඳව වැඩිහිටියන්ගේ සාකච්ඡාවට සවන් දුන්නාය.

********************

[1] යාම'න් (සරල චීන බස:衙; සාම්ප්‍රදායික චීන බස:  衙門; පින්යින්: yámén) : චීන අධිරාජ්‍යයේ ප්‍රාදේශීය නිළධාරියෙකුගේ හෝ මුලාදෑනි තැනගේ කාර්‍යාලයයි. එය මුලාදෑනී තැන විසින් මෙහෙයවන ඕනෑම රාජ්‍ය මට්ටමක රජයේ කාර්‍යාලයක් හෝ ආයතනයක් විය හැක. එය ප්‍රධාන අමාත්‍යංශ හයෙන්ද එකකි. නමුත් ප්‍රාන්ත මහේස්ත්‍රාත් තනතුරද හොබවයි. මෙම පදය සියවස් ගණනාවක් පුරාවට චීනයේ බහුලව භාවිතා වූ නමුත්, චිං රාශවංශ සමයේදී ඉංග්‍රීසි භාශාවෙන් භාවිතා වන්නට විය.


Comments

Popular posts from this blog

කදාමිණ කන්‍යාවිය (The Glass Maiden)